Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙවරප්පෙරුම එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි..!

එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ආසනයේ ප්‍රධාන සංවිධායක වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම බුලත්සිංහල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (21දා) සවස කීවේය.

සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවූ බවද පාලිත තෙවරප්පෙරුම මහතා කීවේය. නියෝජ්‍ය ඇමැතිවරයකු, ක්‍රියාකාරී මහජන නියෝජිතයකු ලෙස බුලත්සිංහල ආසනය මුල් කරගෙන පසුගිය කාලය තුළ සුවිශේෂ වැඩ කොටසක් ඉටු කළ අතර ගංවතුර, නාය යෑම් වැනි ස්වාභාවික විපත්වලදී ජීවිතය නොතකා කටයුතු කළද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බුලත්සිංහල සහ මදුරාවල ප්‍රාදේශීය සභා දෙකම එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම ලැජ්ජාවට කරුණකි.

එසේම පසුගිය කාලය තුළ තම සේවය ජාතිකව හා ජාත්‍යන්තරව පිළිගැනීමට හා ඇගැයීමට ලක්විය. නමුත් බුලත්සිංහල ජනතාව එය ප්‍රතික්ෂේප කිරීම නිසා තවදුරටත් එහි ආසන සංවිධායක ලෙස කටයුතු කළ නොහැකිය.

මෙම ඉල්ලා අස්වීමට දෙවැනි කාරණය බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පාක්ෂික ක්‍රියාකාරිකයන්ට සිදුවූ බරපතළ අසාධාරණය පිළිබඳ දින 5ක් මහමඟ උපවාස කළත් මෙතෙක් පොලිසියෙන් සාධාරණය ඉටු නොවීම නිසා තවදුරටත් එවැනි ආසනයක සංවිධායක ලෙස කටයුතු කළ නොහැකි බව නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

2002 වසරේ මතුගම ප්‍රාදේශීය සභාවට පත්ව පළාත් සභා මන්ත්‍රිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් ජනතාවට අති විශාල සේවයක් කළද එක්සත් ජාතික පක්ෂය තමා නියෝජනය කළ මතුගම ආසනයෙන් ඉවත් කර කෝටිපති ව්‍යාපාරිකයකුට ලබාදී දැඩි අසාධාරණයක් සිදුකළ බවද තෙවරප්පෙරුම මහතා කියයි.

ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වී නියෝජ්‍ය ඇමැති ධුරයේ සිටීම නුසුදුසු නම් අමාත්‍ය ධුරයද භාරදීමට සූදානම් බව පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

The post තෙවරප්පෙරුම එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();