ඉන්දියා ජනපති
සාමය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවී ඇති බව ඉන්දියා ජනපති රාම් නාත් කෝවින්ඩ් මහතා පැවසීය.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු දෙරට අතර පැවති ආර්ථික, සංස්කෘතික හා වෙළෙඳ සබඳතාවලට නව ජවයක් ලැබුණ බව ද ඉන්දියා ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ් මහතා අතර අද (10) පස්වරුවේ ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හි දී පැවැත්වුණු හමුවේදී ඉන්දීය ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
පරිසරය සුරුකීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගෙන ඇති පියවර මෙහිදී අගය කළ ඉන්දීය ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව මේ වන විටත් සූර්යබල ශක්තියට අනුගතව සිටින බව තමා දැනගත්තේ පසුව බව ද ප්‍රකාශ කර සිටියේය.
මුළු මහත් ලෝකයම බලශක්ති අර්බුදයකට සහ ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳ බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ මෙවැනි සමුළු පැවැත්වීම ඉතාමත් කාලෝචිත බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
වසර තිහක යුදමය කාලසීමාවේ දී සහ ඉන්පසුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වලදීත් නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග හා සංස්කෘතික කටයුතු වලදිත් ලබාදුන් සහයට ස්තූතිය පළ කිරීමට ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමටත් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටත් පුළුල් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව මෙහිදී පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ විවිධ කලහකාරී තත්ත්වයන් ඇති කරමින් සංහිඳියාව පලුදු කිරීමට කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් සඳහන් කළේය.
කෙසේ නමුත් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පැවති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති බව ද ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේය.
ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා කළ ආරාධනය පිළිගත් ඉන්දීය ජනාධිපතිවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බව ද සඳහන් කළේය.
මේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉන්දීය ජනාධිපති ලේකම් බරන් ලාල්, ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

0 Comments