මල්වතු-අස්ගිරි සහ රාමක්ඤ මහනිකායේ මහනාහිමිවරු ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවල පැසසුමට
නොසන්සුන්කාරී පිරිසකගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් රට අර්බුදයට පත්ව තිබෙන අවස්ථාවක එහි බැරෑරුම්කම නිවැරැදිව වටහා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ සියලු පක්ෂ ජාති, ආගම් හා දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා පොදු එකඟතාවකට පැමිණ ජාතික සමඟිය ගොඩනැන්වීම පිණිස පෙරමුණ ගැනීම මල්වතු, අස්ගිරි හා රාමක්ඤ මහනිකායේ මහනාහිමිවරු ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවන්හි පැසසුමට හේතුවී ඇත.
ජාතික ප්‍රශ්නවල දී දේශපාලන පක්ෂ එකඟතාවකට නොපැමිණ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් රට දිනෙන් දින ආපස්සට ගමන් කළ බව පෙන්වා දෙන මහා සංඝරත්නය ජාතික සංහිඳියාව ගොඩ නැන්වීම පිණිස පර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම රටේ අනාගත සුබ සිද්ධියට හේතුවනු ඇති බව ද පෙන්වා දෙති.
මහනුවර ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු කතා නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ සියලු පක්ෂවල විවිධ ජාතීන්ට අයත් නියෝජිත පිරිසක් පසුගිය දා (09) මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට හා රාමඤ්ඤ මහ නිකායේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් හූරිකඩුව ශ්‍රී විද්‍යාලංකාර පිරිවෙණ වෙත ගොස් ආශීර්වාද ලබාගත් අවස්ථාවේ මහ සංඝරත්නය මේ බව පැවැසූහ.
මහනුවර ඇති වූ ආකාරයේ නොසන්සුන්තාවක් යළි මෙරට ඇති නොවීම පිණිස ගත හැකි ස්ථිරසාර වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් කතානායක ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම මහනුවරට පැමිණි අතර, ඔවුන්
ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හා ප්‍රජා නියෝජිතයන් ද හමුවී සාකච්ඡා කළහ. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස විසින් එල්ල කළ ප්‍රහාරවලින් විනාශයට පත් වූ ආගමික ස්ථාන, නිවාස හා ව්‍යාපාරික ස්ථාන නැරැඹීමට ද ඔවුහු ගියහ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ප්‍රථම වතාවට ජාතික ප්‍රශ්නයක දී එකඟතාවකට පැමිණ කටයුතු කිරීම රටේ අනාගතය පැත්තෙන් කල්පනා කිරීමේ දී ඉතාම සුබ නිමිත්තක් බවත් මේ එකඟතාව රැක ගනිමින් ඉදිරි ගමනක් යෑම හැමගේ අපේක්ෂාව බවත් මෙහි දී කරු ජයසූරිය මහතා කීය.
ඇති වූ ගිනි නිවා දමා රටේ නැවත මේ ආකාරයේ ගිනි දැල් ඇති නොවීම පිණිස ස්ථිර ක්‍රියාමාර්ගයට අවතීරණ වීම මේ ගමනේ අරමුණ වූ බව ද මෙහි දී කතානායකවරයා පැවැසුවේය.
මෙහි දී අදහස් දැක් වූ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි පසුගිය දා මහනුවර ඇති වූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් රට ජත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වූ බවත්, මේ හේතුවෙන් ඉදිරියේ දී ආර්ථික වශයෙන් යම් යම් අර්බුද රටේ ඇති විය හැකි බවත් කීහ.
පවතින අර්බුදකාරී වාතාවරණය වටහා ගනිමින් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල විවිධ ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීවරු පොදු එකඟතාවකට පැමිණ අදාළ ගැටලුවට විසඳුම් සෙවීමට උනන්දුවීම අගය කරන බව ද මහනාහිමියෝ
පැවැසූහ.
දේශපාලනික වශයෙන් මොනතරම් වාද භේද පැවැතියත් ඒ සියල්ල පසෙක තබා සියලු පක්ෂ මේ අවස්ථාවේ එකට එකතු වීම අගය කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ ප්‍රකාශ කළහ.
අනාගතයේ මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්වීම පිණිස සියලු ජාතීන් නියෝජනය වන ආගමික නායකයන්ගේ ද සහභාගීත්වය ඇති විද්වත් කමිටුවක් ස්ථාපිත කර එමගින් විසඳුම් සෙවිය යුතු බව ද උන්වහන්සේ කීහ.
අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් මේ හමුව සඳහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, ආචාර්ය ගොඩගම මංගල, නියෝජ්‍යය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහභාගී වූහ.
ඡායාරූප- ගාමිණී රණසිංහ

0 Comments