Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්ෂයරෝගය ඇතුළු බැක්ටීරියා රෝගවලින් ආරක්ෂාවීමට විදෙස් සංචාරකයන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුයි

Author(s): 
සිතාරා සේනානි

ක්ෂයරෝග කාරක බැක්ටීරියාව ඇතුළු දරුණු ගණයේ බැක්ටීරියාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට නම් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් මෙන්ම විදේශ ගත වන හා නැවත සියරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ද අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ යුතු බව මහනුවර ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා පවසයි.

'ශ්‍රී ලාංකියන් රැකියා සඳහා විදේශ ගත වීමේ දී ඔවුන් මෙරටදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. එසේ ඔවුන් විදේශගත වූ පසු ඒ රට තුළ දීත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරනවා. යම් රෝගී තත්ත්වයකින් නොපෙළුණත්, යම් සැක සහිත තත්ත්වයක් තුළදී ඔවුන් නැවත හරවා එවනවා. නමුත් දකුණු ආසියාව ඇතුළු රටවල් රැසකින් දෛනිකව ශ්‍රී ලංකාව සංචාරකයන් පැමිණියත් එවැනි වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම ලාංකිකයන් අති විශාල පිරිසක් දෛනිකව දඹදිව සංචාරය කර නැවත පැමිණෙනවා. ඒත් ඒ අය පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නැහැ. ඉන්දියාව ක්ෂය රෝග ප්‍රතිරෝධීන් විශාල වශයෙන් සිටින රටක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දඹදිව සංචාරකයන් සම්බන්ධයෙන් එවැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කළ යුතුම දෙයක්' යැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ඩී. මැදගෙදර මහතා මේ බව පැවසුවේ මේ මස 24 වැනිදාට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය. ක්ෂය රෝගය වැළඳී ඇති බවට නිසි පරිදි දැනුවත් කිරීමෙන් පසුවත් යම් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටින්නේ නම් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කිරීමට පවා ශ්‍රී ලංකාවේ දී හැකියාව පවතින බවත්, සමාජයේ පොදු යහපත වෙනුවෙන් පසුගිය වසරේ එවැනි පුද්ගලයන් දෙදෙනකු සිරභාරයට පත් කිරීමට සලස්වා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තමන් කටයුතු කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණුවට පත්ව ඇතත් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මෙතෙක් අවස්ථාව ලැබී නැතැයි ද, එහෙයින් 2030 වසර වන විට සමාජයෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් ම තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම, ක්ෂය රෝගය සර්වාංග රෝගයක් බවත් එය නියපොතු හා කෙස්වලට හැර ශරීරයේ සෑම කොටසකම ඇතිවී ඒවාට හානි පැමිණවීමට හැකියාව ඇති රෝගයක් බවත්, ඇතැම්විට රෝග කාරක බැක්ටීරියාව ශරීරගතවී රෝගය වැළඳීමට වසර 20ක පමණ කාලයක් ගත විය හැකි බවත් කීය.

ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සී. කුලතුංග මහතා-

'ක්ෂයරෝගය නිමා වන ලෝකයක් සඳහා නායකයන් ' යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාවයි. මෙහිදී නායකයන් ලෙස සැලකෙන්නේ මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන දේශපාලනඥයන්, ගමේ ප්‍රජා නායකයන්, මාධ්‍යවේදීන් ආදී රෝග මර්දනය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කරන්න පුළුවන් පිරිසයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩයත් මේ සඳහා කටයුතු කරනවා. ක්ෂය රෝගය වැළඳීම අදටත් සමහරුන් සලකන්නේ නින්දාවක් ලෙසයි. ඒත් ක්ෂය රෝගය කියන්නේ වෙනත් රෝග වගේම සාමාන්‍ය රෝගයක්. හුස්ම ගන්නා ඕනෑම අයකුට එය වැළඳෙන්න පුළුවන්. ඒත් මේ රෝගය 100%ක් සුව කරන්න පුළුවන් රෝගයක් නිසා එය නින්දාවට කරුණක් හෝ බියවීමට කරුණක් ලෙස සැලකිය යුතු නෑ. මේ සම්බන්ධයෙන් සමාජයේ තිබෙන දුර්මත වළක්වා ක්ෂය රෝගය අපේ රටෙන් තුරන් කිරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ප්‍රජා නායකත්වයට පුළුවන් කම තිබෙනවා. මෙවර ක්ෂය රෝග නිවාරණ දිනයේ අරමුණත් එයයි.

ක්ෂය රෝගයට අවුරුදු පන්දහසක පමණ ඉතිහාසයක් තිබෙනවා. එතරම් කලක් ගතවී ඇතත් එම රෝගය තවමත් පවතින්නේ පාලනය කරන්න බැරි තත්ත්වයක. ඒ නිසා තමයි අපි ලෝක ක්ෂය රෝග දිනයේදී මේ ගැන ජනතාව දැනුවත් කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. මෙවර ලෝක ක්ෂය රෝග දිනයේදීත් එවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්න කටයුතු යොදා තිබෙනවා. මෙම රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැනුවත් කිරීම සඳහා ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී ලබන සිකුරාදා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත්, කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රජා නායකයන් දැනුවත් කිරීමටත් අප සංගමය කටයුතු යොදා තිබෙනවා. එයට අමතරව රට පුරා සෑම දිස්ත්‍රික්කයක ම ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් එදින පැවැත්වෙනවා.

ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සම ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය නිරංජන් දිසානායක, විශේෂඥ වෛද්‍ය බී. සමරසේකර මහත්වරු ද අදහස් දැක්වූහ.

ඡායාරූපය- සිරිපාල හල්ව

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();