Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොහාන් පීරිස්-නවාස් විනිසුරුවරුන්ට පැවරූ නඩුවේ අතුරු තහනමට එරෙහි රිට් පෙත්සමක්

Author(s): 
නෙල්කා මැදගෙදර

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. නවාස් මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් ඊවා වනසුන්දර ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි සභාපතිවරයා, එහි සාමාජිකයන් සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙළේය.

මහේස්ත්‍රාත් අධිකරණයෙහි පවතින එම නඩු විභාගයට එරෙහිව මොහාන් පීරිස් මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙහි සභාපතිනිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය මෙහිදී පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇතැයි පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

මෙම නඩු පැවරීමට අදාළ නඩු ගොනුව සම්බන්ධයෙන් වැඩබලන නීතිපති ලෙස සිටියදී බලධාරියා ලෙස ක්‍රියා කළ ඊවා වනසුන්දර මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස විනිසුරු මඬුල්ලෙහි අසුන් ගනිමින් මෙම රිට් පෙත්සම විභාගයට ගෙන නියෝග ලබාදීම දෝෂ සහගත බවට පෙත්සම මගින් පෙන්වාදී තිබේ. එමගින් ඇය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවට පෙන්වා දී තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි සභාපති ටී. බී. වීරසූරිය, එහි කොමසාරිස්වරුන්, එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙහි පෙත්සම්කරුවෝ වෙති.

නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මොහාන් පීරිස් මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියදී ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි නිලධාරින් කිහිපදෙනකුට විරුද්ධව නීතිමය පියවර නොගැනීමට උපදෙස් දීමෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් පනතෙහි දූෂණය නමැති වරද කර ඇති බවට ඔවුන් දෙදෙනා සහ තවත් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි නඩු පවරන ලදී.

එලෙස නඩු පැවරීමට එරෙහිව මොහාන් පීරිස් මහතා, විනිසුරු ඒ. එච්. එම්. නවාස් මහතා, ලංකා විදුලි පෞද්ගලික සමාගමෙහි එම්. එම්. සී. ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වෙන් වෙන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සම් ගොනු කර සිටියහ.

මොහාන් පීරිස් මහතා ගොනුකළ එම රිට් පෙත්සම සලකා බැලූ ඊවා වනසුන්දර ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් ඉකුත් පෙබරවාරි 26 දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.

එහිදී විනිසුරු මඬුල්ලෙහි සභාපතිනිය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බැවින් එම රිට් පෙත්සම පස්දෙනකු හෝ ඊට වැඩි සාමාජික සංඛ්‍යාවක් සහිත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙහි නැවත කැඳවන ලෙස මෙම පෙත්සම මගින් අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා මගින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();