දෝලනය වන වේග පන්දුවට මුහුණ දීම ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ මහත් අභියෝගයකි. එංගලන්තය මේ කාරණය රෝස පැහැති පන්දුවෙන් ඊයේ ඕක්ලන්ඩ්හි පළමු සැඳෑ වරුවේදී ම අවබෝධ කර ගත්තේය. ඒ, ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුතී හමුවේ එංගලන්තය ලකුණු 58කට දැවී යාමෙනි.
මනා සම්බන්ධතාවකින් යුතුව පන්දු යැවීම පසුගිය වසර කිහිපය තිස්සේ ම නවසීලන්තයේ ශක්තිය වී තිබිණි. අලුත් පන්දුවේ අතිදක්ෂයන් දෙදෙනෙකු හේතුවෙන් එංගලන්තයට පහසුවෙන් ලකුණු රැස් කිරීමේ කිසිම අවස්ථාවක් උදා නොවිණි.
මෙය එංගලන්තයෙන් වාර්තා වූ හය වැනියට අඩු ම ටෙස්ට් ඉනිම වෙයි. බෝල්ට් ලකුණු 32කට කඩුලු 6ක්ද, සවුතී ලකුණු 25කට කඩුලු 4ක්ද ලබා ගත්හ. දිවා රාත්‍රියේ ක්‍රීඩා කෙරෙණ ටෙස්ට් තරගයේ ඊයේ එංගලන්ත පළමු ඉනිම විස්සයි20 ඉනිමකට (ඕවර 20.4) සීමා විය.
එංගලන්තය විනාශ කිරීමට නවසීලන්තයට වෙනත් කිසිම පන්දු යවන්නෙකු අවශ්‍ය නොවූ අතර අංක 9 පිතිකරු ක්‍රෙග් ඔවර්ටන් පන්දු 25කින් ලබා ගත් ලකුණු 33 නොවන්නට එංගලන්තය ඉතිහාසයේ ඔවුන්ගේ අඩුම මුළු ලකුණු සංඛ්‍යාවට වැටීමට ඉඩ තිබිණි. 1887 වසරේ සිඩ්නිහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 45 එංගලන්තයෙන් වාර්තා වූ අඩුම ටෙස්ට් මුළු ලකුණු සංඛ්‍යාව වෙයි.
ඊයේ පළමු දිනයට තරගය නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 175ක් රැස්කර තිබිණි.
ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින නවසීලන්තය, එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 117ක් ඉදිරියෙන් පසුවෙයි. නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 91ක් හා හෙන්රි නොකෝල්ස් නොදැවී ලකුණු 24ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටිති.

0 Comments