අධිකරණයෙන් නියෝගයක්
ජාඇල ඒකල පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගෑස් කාන්දුවක් නිසා එහි සේවක සේවිකාවන් ඊයේ සහ පෙරේදා (19, 20 දිනවල) රෝගාතුරවීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් කර්මාන්ත ශාලාව දින 14 ක් වසා තබන ලෙස මීගමු අධිකරණයෙන් නියෝග ලැබී ඇත.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 04 වනදා වන තෙක් කර්මාන්තශාලාව වසා තැබෙනු ඇත.
මේ නියෝගය එලෙස පැවතියද ආයතන බලධාරීන් පවසා සිටින්නේ සති දෙකක කාලයක් කර්මාන්තශාලාව වසා තැබීම පාඩුවක් බැවින් 23 දා මෝසමක් මඟින් එම නඩුව කැඳවා රස පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර කර්මාන්තශාලාව යළි විවෘත කරන බවයි.
ජාඇල පොලිස් වසමේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක පාලක නිලධාරීන්ට ජාඇල පොලිසිය විසින් ලබාදෙන ලද උපදෙස් පිළිනොගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්තශාලාවේ ගෑස් කාන්දුවකින් පෙරේදා (19) සහ ඊයේ (20) ගෑස් ආඝ්‍රාහණයවීමෙන් සේවිකාවෝ පිරිසක් රෝගාතුර වී රෝහල්ගත කර තිබේ.
සේවකයන් 1200 ක පමණ පිරිසක් සිටින එම කර්මාන්තශාලාවේ සුළඟ සමනය කරන යන්ත්‍රයක් සඳහා යොදා තිබූ ගෑස් බටයක කාන්දුවක් ඇතිවී තිබුණේ පෙරේදා (19) රාත්‍රී 11.30 ට පමණය. එම අවස්ථාවේ ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ තිබූ ජාඇල පොලිසිය එම ගෑස් කාන්දුවට අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකර අවසන් වන තෙක් කර්මාන්තශාලාව වසා දමන ලෙසට පොලිසිය උපදෙස් ලබා දී තිබුණි.
එහෙත් එම නියෝගය නොතකා ඊයේ (20) දින එම කර්මාන්තශාලාව විවෘත කර සුපුරුදු පරිදි වැඩකටයුතු ආරම්භ කර සුළු මොහොතකින් ගෑස් කාන්දුව යළි ඇතිවීමත් සමඟ පිටත වාතයට ඒවා මුසුවීමෙන් සේවය කරමින් සිටි සේවකයින් හට ආඝ්‍රාහණය වීමෙන් ඔවුන් රෝගාතුර වී තිබේ.
මේ පිළිබඳව තොරතුරු දැනගැනීම පිණිස ගම්පහ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මුදිත කරුණාතිලක මහතාගෙන් කළ විමසීමේදී ඒකල කර්මාන්තශාලාවේ සේවිකාවන් පිරිසක් පසුගිය දින දෙක තුළදී ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. හේතුව වමනය සහ ක්ලාන්තය ඇතිවීම නිසා ඇතුළත් කළ රෝගීන් අතර එක් අයෙක් පිරිමි සේවකයකු වන අතර අනෙක් සියලුදෙනා කාන්තා රෝගීන්. රෝගීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර කර තිබෙනවා. භයානක මට්ටමේ රෝගීන් කිසිවෙකු සිට නෑ. වමනය සහ ක්ලාන්තය තමයි මූලික රෝග ලක්ෂණ. රෝහලක් වශයෙන් අපි අවශ්‍ය ප්‍රතිකාර කර තිබෙනවා. දැනට රෝගීන් 40ක් වාට්ටු අංක 01 සහ 02 නේවාසිකව සිටිනවා. ඊයේ (20) උදෑසන මම ඔවුන්ව පරීක්ෂා කළා. ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති නිසා තවදුරටත් නේවාසිකව රැඳී සිටිය යුතු නැහැ. අසාත්මිකතාවයක් මත ඔවුන් සියලු දෙනාම ක්ලාන්ත වී ඇති බවයි හිතන්නේ.
රාගම රෝහලේ නේවාසිකව සිටින රෝගීන් පිළිබඳව රාගම රෝහලේ වෛද්‍ය අධිකාරි ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් දුරකතනය මගින් විමසීමක් කළ අතර ඔහු මෙසේ පැවසීය.
අපේ රෝහලේ 19 වනදා සවස් වන විට 36 දෙනෙකුත් 20 වනදා උදෑසන රෝගීන් 06 දෙනෙකුත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍යයයි. වමනය සහ ක්ලාන්තය යන රෝගී තත්ත්වය නිසයි ඔවුන් රෝහල් ගතකර තිබෙන්නේ. කර්මාන්තශාලා භූමියේදී ක්ලාන්ත වී ගිලන් රථ මඟින් ආසන්න රෝහල්වලට රෝගීන් රැගෙන ආවේ. සෑම සේවිකාවක්ම පරීක්ෂාකර බලා කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
මෙම රෝගී තත්ත්වයට හේතුව ලෙස කිසියම් අසාත්මිකතාවයක් ඇතැයි අපට කීමට බැහැ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට හැකි වන්නේ ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මඟිනුයි. අපේ රෝහල වෙත රැගෙන ආ සියලුම රෝගීන් සුවයෙන් පසුවෙනවා යයි වෛද්‍ය අධිකාරි ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
මේ අතර කර්මාන්තශාලා භූමියේ සිදුවන මෙම තත්ත්වය වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා තාවකාලිකව වසාදැමීමට අධිකරණ නියෝගයක් ගෙන ඇතැයිද මේ සඳහා මීගමුව අධිකරණයෙන් අවසර ලබා ගැනීමට යොමු වී ඇත. උද්ගතව ඇති කරුණු සලකා බලමින් කර්මාන්ත ශාලාවේ රස පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම පිණිස පොලිසිය අධිකරණ සහාය ගෙන ඇති අතර දින 14ක් කර්මාන්ත ශාලාව වසා තබන ලෙස මීගමු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝගකර ඇත.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 04 වනදා යළි මෙම නඩුව කැඳවීමට නියමිතව ඇත.
විජයානි එදිරිසිංහ සහ රාගම සමූහ

0 Comments