මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභහානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්‍රදානය කිරීම ඊයේ (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
පූජාපිටිය, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ,ගඟවට කෝරළේ සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක නිවාස හිමියන් 66 කට හා ව්‍යාපාරිකයින් 65 දෙනෙකු වෙත මෙම මුදල ප්‍රධානය කෙරුණු අතර හානිවූ නිවසක් සඳහා රුපියල් 50000.00 ක මුදලක්ද ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් රුපියල් 100000.00 ක මුදලක්ද මුලීක වශයෙන් ලබා දීමට රජය තීරණය කැර තිබිණි.
තක්සේරු කටයුතු සම්පූර්ණයෙන්ම නිමවූ පසු නියම කරන අදාළ වටිනාකම් කඩිනමින් ගෙවීමට රජය සැළසුම් කර ඇත.මේ වනවිට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලුම් පත්‍ර 600 ක් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ අමාත්‍යාංශය වෙත මේවන විට ලැබී තිබේ.මෙම සියලු අයට වන්දි ලබා දීමට රජය ක්‍රියා කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
විපතට පත් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තම අමාත්‍යාංශයේ කාර්යාලයක් සෑම සදුදා දිනකම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවෘතව තබන බවද ඒ මහතා කීය. හානි වූ ආගමික ස්ථාන සදහා තම අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 10 මුදලක් ලබා දිය හැකි බවත් ඊට වැඩිවන මුදල් කැබිනට් අනුමැතියක් ලබා ගෙන මුදා හැරිය හැකි බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සදහා තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එම්.එච්.ඒ.හලිම්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර යන මහත්වරු ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

0 Comments