මෙරට ක්‍රීඩාලෝලීන්ට නව තාලයේ අත්දැකීමක් ලබාදෙමින් අයන්මෑන් 70.3 කොළඹ නමින් පසුගියදා පැවැති තුන්ප්‍රයාම තරගය පැය 4කුත්, මිනිත්තු 6ක් සහ තත්පර 5කින් නිමා කරමින් සමස්ත ජයග්‍රහණය අත්කර ගැනීමට එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඔලීවර් ගොඩාර්ට් සමත්විය. පැය 4කුත්, මිනිත්තු 43ක් සහ තත්පර 33කින් තරගය නිමා කළ සිංගප්පූරුවේ ලිංග් එර් චෝට එහි කාන්තා අංශයේ ජය හිමිවිය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ගාලු මුවදොර දී ආරම්භ වූ “ආසියාවේ පුදමය ශ්‍රී ලංකාව, අයන්මෑන් 70.3 කොළඹ” තරගාවලියට රටවල් 64කින් තරගකරුවන් 800කට වැඩි පිරිසක් එක්වී සිටියහ.
උදැසන 6.00ට කොළඹ ගෝල්ෆේස් ග්‍රීන් තණ නිල්ල කේන්ද්‍ර කොට ගෙන තරගාවලිය ගාලු මුවදොර මුහුදු තිරයෙන් ආරම්භ විය. මුහුදු තීරයේ කිලෝ මීටර් 1.9ක් පිහිනමින් ආරම්භ කළ මේ තරගාවලියේ ආරම්භයේ සිටම පෙරමුණ ගත් ඔලිවර් ගොඩාර්ට් සෙසු තරගකරුවන්ට අභියෝග කරමින් දිගු පරතරයක් හා කාලයක් සටහන් කරමින් පිහිනීම නිමා කළේය. අනතුරුව කිලෝ මීටර් 90ක දුරක් පාපැදියෙන් තරග කළ ඔලිවර් සෙසු තරගකරුවන් අතර පරතරය තව තවත් වැඩිකරගනිමින් අර්ධ මැරතන් තරගයට එක්විය. එම තරගය කිලෝ මීටර් 21.1 දුර නිමා කරමින් ‘යකඩ මිනිසා‘ ලෙස අභිෂේක ලැබීමට ඔහු සමත් විය. ඔලිවර් ගොඩාර්ට් මිනිත්තු 28කුත්, තත්පර 34කින් කිලෝ මීටර් 1.9ක දුර පිහිනීම නිමා කළ අතර කිලෝ මීටර් 90 ක පාපැදි තරගය නිමා කිරීමට පැය 2කුත්, මිනිත්තු 8ක් සහ තත්පර 55ක් වැය කළේය. නමුත් ආර්ධ මැරතන් තරගය වන කිලෝමීටර් 21.1ක දුර නිමා කිරීමට ඔලිවර්ට ගත වූයේ පැය 1කුත්, මිනිත්තු 25ක් සහ තත්පර 55ක කාලයක් පමණි.
සමස්ථ තරගාවලියේ පිරිමි අංශයේ දෙවැනි ස්ථානය ඉතාලියේ ඩේවිඩේ රොසිටී හිමිකරගත් අතර ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ ගැබ්රියල් තුන්වැනි ස්ථානයට පත්විය.
සිංගප්පූරුවේ ලිංග් එර් චෝ මිනිත්තු 32කුත්, තත්පර 49කින් පිහිනීම නිමා කළ අතර පාපැදි තරගය පැය 2කුත්, මිනිත්තු 26ක් සහ තත්පර 17කින් නිමාකළාය. අර්ධ මැරතන් තරගය නිමා කිරීමට ඇයට පැය 1කුත්, මිනිත්තු 41ක් සහ තත්පර 12ක කාලයක් ගතවිය. රුසියාව නියෝජනය කල ස්ටේට්ලානා උෂාකෝවා දෙවැන්නා ලෙසත්, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග කළ බ්‍රිටනි කැම්බල් තෙවැන්නා තරගය නිමා කළාය.
ශ්‍රී ලංකාව නියෝජනය කළ තරගකරුවන් අතරින් සුරංග නුවන් කුමාර සමස්ථ තරගය පැය 4කුත්, මිනිත්තු 49ක් සහ තත්පර 35කින් නිමා කරමින් 25වැන්නා ලෙස තරගය නිමාකිරීමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෘෂ්‍යාබාධිත තරගකරු ශෂී මධුසංඛ, පූර්ණ ආබාධිත සෙබල සෝමසිරි ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට වැඩි පිරිසක් තරගාවලියට එක්ව සිටියහ.
ඡායාරූප - ගීෂා මුණසිංහ
0 Comments