Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහෝදරයන්ගේ 55 වැනි සංග්‍රාමයට තර්ස්ටන්-ඉසිපතන අද එස්.එස්.සී. පිටියට

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 55වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‘සහෝදරයන්ගේ සංග්‍රාමය’ අද (23) සහ හෙට (24) දෙදින එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මීට සමගාමීව දෙපිල අතර පැවැත්වෙන 38 වැනි වාර්ෂික එක්දින තරගය ලබන මස 4 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීත්, විස්සයි20 තරගය 11 වැනිදා තර්ස්ටන් විදුහල් පිටියේදීත් පැවැත්වීමට නියමිතය.

තර්ස්ටන් විදුහල මෙවර නිපුන් ලක්ෂාන්ගේ නායකත්වයෙන් තරග බිමට එක්වන අතර උප නායකයා ලෙස ඉමේෂ් විරංග කටයුතු කරයි. ඉසිපතන විදුහල තරගයට එක්වන්නේ අයන සිරිවර්ධනගේ නායකත්වයෙනි. එහි උප නායකයා ලෙස කටයුතු කරන්නේ සංජුල බණ්ඩාරයි.

මේ කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනාම අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වීම දෙපිලට වාසි ගෙන දෙන්නකි.

මෙවර තරගයේදී තරගකාරිත්වය වැඩි කිරීමටත්, තරගයේ ජය පරාජයන් තීරණය කිරීමේ සාධකයක් ලෙසත් පළමු ඉනිම ඕවර 60කට සීමා කිරීමට සංවිධායකයෝ කටයුතු කර තිබීම විශේෂ සිදුවීමක් වන අතර එහි දෙවැනි ඉනිම සාමාන්‍ය පරිදී පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යෙදා තිබේ.

දෙපිල අතර මෙතෙක් පැවැති තරග 54 අතුරින් තරග 5ක් ජය ගනිමින් වැඩි ගෞරව අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර ඉසිපතන විදුහල ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි. ඉතිරි තරග 45 ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

1990 වසරේ සිට පිට පිට තෙවරක් ශූරතාව දිනාගත් තර්ස්ටන් විදුහල 1992 වසරේදී අවසන් වරට ජයග්‍රහණය වාර්තා කළේ මැකෙන්සි පෙරේරාගේ නායකත්වයෙනි. ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේ 1999 වසරේදී ඉසිපතන විදුහලට මේ තරගය අවසන් වරට ජයගෙන තිබේ.

මේ තරගයේ ඉනිමක ඉහළම ලකුණු ලෙස 2002 වසරේ සමන් නිශාන්ත ඉසිපතනය වෙනුවෙන් රැස්කළ ලකුණු 150 වාර්තා වන අතර 1996 වසරේදී නුවන් සොයිසා දවාගත් කඩුලු 10 ඉහළම පන්දු යැවීමේ දක්ෂතාව ලෙස සටහන් වෙයි.

තර්ස්ටන් විදුහල මෙවර තරගවාරයේදී තරග 14කට සහභාගීවෙමින් පූර්ණ ජයග්‍රහණ 3ක්ද, පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක්ද අත්කරගෙන සිටී. ඔවුන් කුරුණෑගල මලියදේව, මාතර සාන්ත තෝමස් හා ගම්පහ බණ්ඩාරනායක විදුහල් වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණය වාර්තා කළහ.

සවන ප්‍රභාෂ් ලකුණු 650 සීමාව ඉක්මවමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වන අතර යෙෂාන් වික්‍රමආරච්චිද ලකුණු 500 සීමාවත්, පන්සිළු දේශාන් ලකුණු 400ත් ඉක්මවමින් කණ්ඩායම පිතිකරණ අංශයෙන් ශක්තිමත් කරති.

සඳරු ඩයස් කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වෙයි. ඔහු මේ වනවිට කඩුලු 50 සීමාව පසුකර ඇති අතර නිපුන් ලක්ෂාන් (43) හා අයේෂ් හර්ෂණද පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරති.

පූර්ණ ජයක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් මෙවර තරග වාරයේ හිමිකරගෙන සිටින ඉසිපතන විදුහල සහභාගිවී ඇති තරග සංඛ්‍යාව 14කි. ඉන් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකිව අත්හැර දමා තිබේ.

ඔවුන් පූර්ණ ජය වාර්තා කළේ කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිවය.

ඉසිපතන නායක අයන සිරිවර්ධන හා සංජුල බණ්ඩාර තුන් ඉරියව් දස්කම් අතින් ඉදිරියෙන් පසුවෙති. අයන ලකුණු 500 සීමාව ඉක්මවා ඇති අතර කඩුලු 37ක් බිඳ දැමීමටද සමත්ව සිටී. බණ්ඩාර ලකුණු 350 සීමාව පසුකර ඇති අතර බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 25කි.

ලෙෂාන් අමරසිංහ හා සංජුල අබේවික්‍රමද පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවන අතර මධුෂික සඳරුවන් හා ළහිරු වීරරත්න පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරති.

මෙවර තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගමේ මැගී කටයුතු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();