Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් පාලන ආයතන 330ක ප්‍රතිඵල අනුව බහුතර ආයතන පොදුජන පෙරමුණට

දෙවැනි තැන එක්සත් ජාතික පක්ෂයට

* පළාත් පාලන ඡන්ද විමසීමට අනුව මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බහුතර බලය හිමිව තිබේ. හිමිව ඇති සභික ධුර සංඛ්‍යාව දෙදහස් හයසිය හැටක්. එක්සත් ජාතික පක්ෂය සභික ධුර එක්දහස් අටසිය විසි තුනක් හිමිකරගෙන ගෙන තිබේ.

පළාත් පාලන ආයතන තුන්සිය තිහක පමණ ප්‍රතිඵල ඊයේ (11) පස්වරුව වන විට නිකුත් කර තිබුණා. ඒ අනුව බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂය දෙවැනි ස්ථානයටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තුන්වන ස්ථානයටත් පත්ව තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිව් වන ස්ථානයේ පසුවනවා. ඊයේ පස්වරුව වන විට නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට මහ නගර සභා නවයක්, නගර සභා දහසයක් සහ ප්‍රදේශීය සභා එකසිය අනු හතක් සමඟ සමස්ත පළාත් පාලන ආයතන දෙසිය විසි දෙකක් හිමිව තිබෙනවා. පළාත් පාලන ආයතන හතලිස් එකක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂයට මහ නගර සභා දහයක්, නගර සභා දොළහක් සහ ප්‍රදේශීය සභා දහ නවයක බලය හිමිව තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මහ නගර සභා දෙකක, නගර සභා හතරක සහ ප්‍රදේශීය සභා විසි අටක බලය සමඟ පළාත් පාලන ආයතන තිස් හතරක බලය හිමිකරගෙන තිබෙනවා. ශ්‍රීලනිපය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආයතන හතක් හිමිකරගෙන ඇත්තේ මහ නගර සභා එකක් නගර සභා එකක් සහ ප්‍රදේශීය සභා පහක් ලෙසයි.

ස්වාධීන කණ්ඩායම් මහ නගර සභා එකක් නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දෙකක බලය හිමිකරගෙන තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසය හිමිකරගෙන ඇත්තේ නගර සභා එකක සහ ප්‍රදේශීය සභා හතරක බලයයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද නගර සභාවක සහ ප්‍රදේශිය සභා තුනක බලය හිමිකරගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන තුනක බලය හිමිකර ගෙන ඇත. එයට නගර සභා එකක්, ප්‍රදේශීය සභා දෙකක් ඇතුළත්.

පළාත් පාලන ඡන්ද විමසීමට අනුව මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බහුතර බලය හිමිව තිබේ. හිමිව ඇති සභික ධුර සංඛ්‍යාව දෙදහස් හයසිය හැටක්.

එක්සත් ජාතික පක්ෂය සභික ධුර එක්දහස් අටසිය විසි තුනක් හිමිකරගෙන ගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු සභික ධුර සංඛ්‍යාව පන්සිය දොළහකි.

ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර තුන්සිය තිස් එකක් හිමිවු අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සභික ධුර දෙසිය අනූවක් හිමිකර ගෙන තිබේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි වූ සභික ධුර සංඛ්‍යාව තුන්සිය අටකි.

බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතවල බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන තිබේ.

* කොළඹ දිස්ත්‍රිකය

කොළඹ දිස්ත්‍රික් ප්‍රතිඵලයට අනුව පළාත් පාලන අටක ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා.

කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන හතරක බලය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටයි. ස්වාධීන කණ්ඩායම් අංක දෙක එක් ආයතනයක බලය හිමිකර ගත්තේය.

* ගම්පහ දිස්ත්‍රිකය

ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන හතරක බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයට එක් ආයතනයක බලය හිමිවුණා.

* කළුතර දිස්ත්‍රිකය

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දොළහක ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ආයතන තුනකි. ස්වාධීන කණ්ඩායමකටද එක් ආයතනය ජය හිමි වුණා. දකුණු පළාතේ මාතර ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මේ වන විට නිකුත්කර ඇති ප්‍රතිඵල අනුව බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගෙන තිබේ.

* මාතර දිස්ත්‍රිකය

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහතරක ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට එක් ආයතනයක බලය හිමිවිය.

* ගාල්ල දිස්ත්‍රිකය

ගාල්ල දිස්ත්‍රික්කයේ ආයතන පහළොවක ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගෙන තිබුණි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයට ආයතන දෙකක බලය හිමිවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එක් ආයතනයක ජය හිමිකර ගත්තේය.

* හම්බන්තොට දිස්ත්‍රිකය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව සියලු ආයතන වල ජය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනාගෙන තිබේ. ඌව පළාතේ පළාත් පාලන ආයතනවල බහුතරයද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනාගෙන තිබේ.

* බදුල්ල දිස්ත්‍රිකය

බදුල්ල දිස්ත්‍රික්කයේ හතක ජය පොදු ජන පෙරමුණට හිමිවුණා. එක්සත් ජාතික පක්ෂයට ආයතන පහක ජය හිමිවු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ආයතනයක බලය හිමි විය.

* මොනරාගල දිස්ත්‍රිකය

මොනරාගල දිස්ත්‍රික්කයේද දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව සියලු ආයතන වල බලය හිමිකර ගැනීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

* රත්නපුර දිස්ත්‍රිකය

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහිද පළාත් පාලන ආයතන බහුතරයක බලය දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වි තිබේ.

* කුරුණෑගල දිස්ත්‍රිකය

කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ද පොදු ජන පෙරමුණ බහුතරය දිනාගෙන තිබේ.

* මහනුවර

මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තුනක බලය එක්සත් ජාතික පක්ෂයට සහ එහි එක් පළාත් පාලන ආයතනයක බලය පොදුජන පෙරමුණට හිමිව තිබේ.

* නුවරඑළිය දිස්ත්‍රිකය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක බලය එක්සත් ජාතික පක්ෂයටත් ආයතන පහක බලය ලංකා කම්කරු කොංග්‍රසයටත් ලැබී ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන දෙකක බලය දිනාගෙන තිබේ.

* මාතලේ දිස්ත්‍රිකය

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාළන හයක බලය දිනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව උතුරු පළාතේ වැඩි පළාත් පාලන සංඛ්‍යාවක බලය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත් වී තිබේ.

* යාපනය දිස්ත්‍රිකය

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නවයක බලය එම පක්ෂයට හිමිවි ඇත. අහිල ඉංගෙයි ද්‍රවිඩ කොන්ග්‍රසයට සහ ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පළාත් පාලන ආයතන එක බැගින් දිනාගෙන තිබේ.

* කිලිනොච්චි දිස්ත්‍රිකය

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල බහුතර බලය හිමිකර ගන්නා ලද්දේද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. එහි පළාත් පාලන ආයතන තුනක බලය දිනාගෙන ඇත. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව එක් පළාත් පාලන ආයතනය බැගින් දිනාගෙන තිබේ.

* මන්නාරම් දිස්ත්‍රිකය

මෙම පළාත් පාලන මැතිවරණයේදී මන්නාරම් දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා

. එහිදී පළාත් පාලන තුනක බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර ආයතන දෙකක බලය හිමිවූයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයටයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව පළාත් පාලන ආයතන තුනක බලය දිනා ගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත් වූ අතර එක් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමත් වී ඇත.

* වව්නියාව දිස්ත්‍රිකය

වව්නියාව දිස්ත්‍රික්කයේද නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක බලය ලබාගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත්වී තිබෙන අතර ආයතන තුනක බලය හිමිකර ගනු ලැබුවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එක් පළාත් පාලන ආයතනය බැගින් හිමිවිය.

* අනුරාධපුර දිස්ත්‍රිකය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල බහුතර බලයද ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හිමිකර ගත් අතර මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ආයතන 13 බලය හිමිකරගෙන තිබේ. එහි එක් පළාත් පාලන ආයතනයක බලය එක්සත් ලංකා මහ සභාව දිනාගෙන තිබේ.

* පොළොන්නරු දිස්ත්‍රිකය

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක බලය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනාගත් අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන තුනක බලය හිමිකර ගත්තේය.

* මඩකලපුව දිස්ත්‍රිකය

මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල බහුතර බලය දිනා ගැනීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත්වී තිබේ.

එම පක්ෂය පළාත් පාළන ආයතන හතරක බලයද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආයතන දෙකක බලයද තමිල් මක්කල් වඩිදලේ පක්ෂය සහ මුස්ලිම් ජාතික සන්ධානය පළාත් පාලන ආයතන එක බැගින් හිමිකර ගත්තේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();