Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පසුගිය අඳුරු පාලන යුගයට පණ දෙන තීන්දුවක් ගන්න එපා

ජනවාරි 8 න් පසු රටට අත්වූ ජයග්‍රහණ ගැන බුද්ධිමත්ව සිතා ඡන්දය පාවිච්චි කරන්න

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමේදී පැවැති රජයේ අඳුරු පාලන යුගය නැවත ඇති කිරීමට පණ දෙන තීන්දුවක් නොගන්නැයි තමා සියලු ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබිර් හසිම් මහතා අවධාරණය කරයි.

පුංචි ඡන්දය ජයග්‍රාහීව ගෙන යෑම සඳහා මුළු රටපුරාම එක්සත් ජාතික පක්ෂ බලමුළු සංවිධානය කිරීමේ දැඩි වගකීමක් ඉටුකරමින් සිටින බව කියන මහලේකම් කබීර් හෂීම් මහතා ඡන්දය පාවිච්චි කිරීමේදී දැඩිව අවධානයට ගත යුතු කරුණු කිහිපයක් පැහැදිලි කරමින් මෙසේ කියා සිටියි.

වසර 2015 ජනවාරි 08 වැනිදා අප රටේ සිදුකළ දැවැන්ත ශක්තිමත් දේශපාලන වෙනසින් පසු රටට අත්වූ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ඇතැයි කී මහලේකම්වරයා, ඒවා පිළිබඳව ගැඹුරින් සිතා ඡන්දය පාවිච්චි කරන්නැයි බුද්ධිමත් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බවද පවසයි. 2015 ට පෙර රටේ පැවැති අඳුරු මර්දනකාරී රාජපක්ෂ පාලනය යළි ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් මහලේකම්වරයා ඉල්ලා සිටියි. එසේ වුවහොත් සාමය බිඳ වැටී සෞභාග්‍ය අතලොස්සක් වෙතට පමණක් සීමාවනු ඇතැයි කබීර් හෂීම් මහතා අනතුරු ඇඟවීමක් ද කළේය.

වසර 2015 න් පසු රට ලැබූ ජයග්‍රහණ අතර අධිකර‍ණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට පැවැරීම, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ප්‍රමුඛ බව කී කබීර් හෂීම් මහතා ඉතිහාසයේ පළමු වතාවට බැඳුම්කර කොමිසම හමුවේ අගමැතිවරයකු සාක්ෂි ලබාදීම සිදුකළ බවද සිහිපත් කළේය.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ලබාදී ඇත. රජය සෞඛ්‍ය අධ්‍යාපනය නිදහස් සේවාවන් ලෙස තවදුරටත් ශක්තිමත් කොට අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. සෑම පාසල් දරු දැරියක් සඳහාම රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් නොමිලේ ලබාදීම ආඩම්බර කටයුත්තක් බවද ඇමැතිවරයා කීය.

රාජපක්ෂ අඳුරු පාලන යුගයේ රටේ මානව නිදහස සීමාවී ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ජනතාව තලා පෙළා පාලනය කළ හැටි සිහිපත් කළ ඇමැතිවරයා එවන් යුගයක් නිමා කිරීමට එක්සත් ජාතික පක්ෂය දැඩි කැපවීමකින් කටයුතු කළ බවද කියා සිටී.

රටට පිළිලයක් වූ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීම, විරුද්ධවාදීන් පැහැර නොගැනීම, ඕනෑම විවේචනයක් සිදුකිරීමට ඉඩ ලබාදීම, වත්මන් රජය මඟින් රටේ ජනතාවට අත්වූ ප්‍රතිලාභයන්ය.

එදා මිනිසුන් භීතියෙන් වෙළා ගත් සුදු වෑන් පැමිණි අයුරු සිහිපත් කළ ඇමැතිවරයා, මෙදා එවන් රථ පැමිණෙනුයේ ලෙඩට දුකට පත්වී අසරණව සිටින ජනතාවගේ ජීවිත බේරා ගැනීම ගිලන් රථ සේවා සැපයීමට බවත්, එය මේ පාලන දෙකේ වෙනස බවත් ඇමැතිවරයා කියා සිටියි.

රටට නිදහස හා ජනතාවට සෞභාග්‍ය ලබාදීමට සිදුකළ දැවැන්ත අභියෝගය ජයගත් රජයට ඉදිරියේ තවත් විවිධාකාර බාධක හා අභියෝග ජයගන්නට සිදුවීඇතැයිද, එම බාධා කොතරම් අභියෝගාත්මක ඒවා වූවත්, ඒවා ජයගන්නා තෙක් ඉදිරියට යෑමට රජයට එක්සත් ජාතික පක්ෂයට අධිෂ්ඨානය හා ශක්තිය ඇතැයිද මහලේකම්වරයා කියයි.

ප්‍රථම වරට භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමට රටේ අගමැතිවරයා පැමිණ සාක්ෂි ලබා දුන් බවත්, ඊට අමතරව තමා ද, එජාප සභාපතිවරයාද එය හමුවට ගිය බවත් අවධාරණය කරන කබීර් හෂීම් මහතා එවැනි බලතල අධිකරණයට හිමිවූයේ රජය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ නිසා බවද කීය.

බලය අයුතු ලෙස භාවිතා කිරීමක් හෝ කිසියම් ආකාරයක දූෂණයක් හෝ බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවී ඇත්නම් එයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදීමට තම පක්ෂය පසුබට නොවන බවද කබීර් හෂීම් මහතා කියයි.

වත්මන් රජයට යා යුතු දුර තව බොහෝ ඈත යැයිද ජනතාවට සේවා සලසමින් ඉදිරියට යෑම රජයේ අරමුණ යැයිද ඇමැතිවරයා කියයි.

නාස්තිය හා දූෂණය පිටුදකින අතර ජනතාවගේ මතයට පිටුපා වැඩ කළ ඇමැතිවරු ඉල්ලා අස්වී ගිය අවස්ථා ඇත. ජනවාරි 08 වැනිදා ජනතාවට පොරොන්දු වූ පරිදි නීතියට ඉහළින් කටයුතු කිරීමට කිසිවකුට ඉඩක් ලබාදී නැත. එය රජයේ වෙනස තුළින් රට ලැබූ ජයග්‍රහණයකි.

නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපන සේවා පවත්වාගෙන යාම රජයේ ප්‍රතිශතයයි. අපි හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ත් රජයේ රෝහල්වලින් සිදුකරන සැත්කම්වලදී නොමිලේ ලබාදේ. බෙහෙත් මිල අඩුකර ඇත. සංවර්ධනය වේගවත් කොට ඇත.

සර්ව සම්පූර්ණ ජනරජයක් දිනකින් අවුරුදු තුනකින් බිහි කළ නොහැකියි. ගත වූ වසර තුන තුළ රටට අත්කර දුන් ජයග්‍රහණ රාශියකි.

එළැඹෙන පුංචි ඡන්දය පුංචි ඡන්දයක් වුව එය මේ අවස්ථාවේ ඉතා තීරණාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්නකි. ඡන්දය පාවිච්චි කිරීමේදී ඉතා වගකීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය රටට ඉතාම දැඩිව බලපෑම් එල්ල කරන්නකි. ර‍ෙට් ජනතාවගේ සෞභාග්‍ය, ජනතාව අතර සමගිය, සහජීවනය ඉහළට ඔසවා තැබීමට අඛණ්ඩව, නොසැලී ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදීමට කටයුතු කරන්නැයි කබීර් හෂීම් මහතා සියලුදෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();