Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කණ්ඩායමක් ලෙස අප එකතුවී රාජපක්ෂලාගේ හොරකම් මිනිසුන්ට යළි මතක් කර දිය යුතුයි

Author(s): 
ශිරෝමි අබයසිංහ

ඇමැති රාජිත සේනාරත්න

රාජපක්ෂලා හිරේ යන්නේ කවදාදැයි ජනතාව අසනවා. මිනිස්සු 2015 දී අපට ජන්දය දුන්නේ හොරු පන්නන්නයි. අපි කණ්ඩායමක් ලෙස එකතු වී රාජපක්ෂලා කළ සොරකම් යළි මිනිස්සුන්ට මතක් කර දිය යුතුයි. යහපාලනය කියන්නේ හොරු රකින එක නොවෙයි යැයි සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසිය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කිරිම සඳහා බොරැල්ල කැම්බල් පිටියේදි ඊයේ (07) පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සම්මේලනය අමතමිනි. මේ සම්මේලනය අති විශාල ජනකායක‍ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදි සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසිය.

රට දිනපු එක්සත් ජාතික පක්ෂය ගම දිනන පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන විශේෂ සමුළුව අද පැවැත්වෙනවා.

අවුරුදු තුනකට මෙතරම් විශාල වැඩකොටසක් කළ වෙනත් රජයක් නැහැ. අපි ඒ වැඩ කළේ නිහඩවයි. පළමු අය වැය ලේඛනයෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 කින් වැඩි කළා. එපමණ ගණනකින් පඩි වැඩි කළ ප්‍රථම අවස්ථාව මෙයයි. පියවර හතරකින් එය වැඩි වෙනවා. අවසානයේ රුපියල් 25 000කින් පඩි වැඩි‍ වෙනවා. පවුලක රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු සිටියොත් රුපියල් 50000කින් වැඩි වෙනවා. මෙවැනි පඩි වැඩි වීමක් ලබා දුන්නේ කවර රජයක්ද?පෞද්ගලික අංශයටද රුපියල් 2500කින් පඩි වැඩි කරන ලෙස අපි ඉල්ලුවා. සමෘද්ධිලාභීන්ගේ දීමනාව දෙගුණ කළා. මහපොළ රුපියල් 2500 න් වැඩි කළා. සේ අවුරුද්දේ තව ශිෂ්‍යයන් 3000කට වැඩියෙන් ලබා දෙනවා. විශ්ව විද්‍යාල නේවාසිකාගාර ඉඳි කිරීමට කටයුතු කළා. නිවාස 4700කට අලුතින් විදුලිය ලබා දුන්නා. දුප්පත් අයට විදුලිය ලබා ගන්න පොලී රහිත ණයක් ලබා දුන්නා.බෙහෙත් මිල අඩු කළා. ඉදිරියට තවත් අඩු කරනවා. ස්ටෙන්ට් මිල අඩු කළා. පිළිකා රෝගින්ට ජිවිත කාලය පුරාවට නොමිලේ බෙහෙත් ලාබ දුන්නා. පසුගිය රජය බෙහෙත් සඳහා වැය කළේ රුපියල් මිලියන 1300ක් පමණයි. අද අපි වැඩි කර තිබෙනවා. රජයේ රෝහල්වල රුධිර පරීක්ෂණ සිදු කළේ පිටින්. තත්පරයට රෝග පරීක්ෂණ 1000ක් කළ හැකි යන්ත්‍ර අපි රෝහල්වලට ලබා දී තිබෙනවා. පාසැල් සිසුන්ට රුපියල් ලක්ස දෙකක රක්ෂණයක් ලබා දී තිබෙනවා.රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැති අයට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනිමට පුළුවන්.

රාජපක්ෂවරුන් ඩොලර් බිලියන 1086 ක් තැන්පත් කර තිබෙනවා. මේ සල්ලි ඔවුන්ට කොයින්ද?

රණවිරු රාජපක්ෂගේ මිග් ගැහිල්ල කොහොමද? ඩොලර් මිලියන 14 ක් වැය කරනවා කියා වියදම් කර ඇත්තේ ඩොලර් මිලියන 7 ක් පමණයි. අනික් 7 ගැහැව්වා. ලසන්ත මැරුවේ මේ ගණුදෙනුව ගැන ලියු නිසයි. එක ගණුදෙනුවකින් ඩොලර් මිලියන 7ක් ගැහැව්වා. මෙන්න ගැහිලි.

අපි කණ්ඩායමක් ලෙස මහින්ද රාජපක්ෂලා ගහපු ගැහිලි මතක් කරලා දෙන්න ඕනේ. යහපාලනය කියන්නේ හොරකම් කරපු එවුන් රැක ගන්න එක නොවෙයි. එදා අපි එළියට ආවේ රාජපක්ෂලාගේ හොරකම් දැකලා ඒ ගැන හිරිකිතයෙන්. 2015 දි මිනිස්සු අපට ඡන්දය දුන්නේ මුන්ව පන්නන්නයි.

මිනිස්සු අහන්නේ මුන් කවද්ද හිරේ යන්නේ කියලා. පොල් බෑය කියද කියලා කව්රුත් අහන්නේ නැහැ.

වංචා දුෂණ හොයන කොමිසම වාර්තා කරන්න එන්නේ මාධ්‍යවේදින් තුන් දෙනයි. හොරු එළියට එන විට වොයිස් කට් ගන්න මාධ්‍යවේදින් පිරිලා ඉන්නවා. මාධ්‍ය නිදහස මේකද? මේ ආණ්ඩුවේ දුර්වලකම් නැතැයි අපි කියන්නේ නැහැ.

තමන්ගේ ඇමැතිවරුන්ට විරුද්ධව නඩු දාන්නේ මොන ආණ්ඩුවද? මේ සිරිසේන - රනිල් ආණ්ඩුව විතරයි ඒ විදියට ක්‍රියා කරන්නේ. කමිටු දැම්මා, කෝප් කමිටුවට දුන්නා, ජනාධිපති කොමිසම දැම්මා. වාර්තා නිතිපතිට දැම්මා.මීට වඩා යහපාලනයක් කොයින්ද? අගමැතිතුමනි පරක්කු කරන්න එපා. දැන් ඉඳන්ම 2008ඉඳන් වුණු බැඳුම්කර ගැන හොයන්න පටන් ගන්න.

පෙබරවාරි 10 දා එළි වෙන කොට අලියා දිනන හැටි කාට කාටත් දැක ගන්න පුළුවන්. හොරු අල්ලන්න පුළුවන් වෙන්නේ මේ ආණ්ඩුව රැක ගත්තොත් විතරයි. රාජපක්ෂලා බලයට ආවොත් දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. දහවෙනිදා උදේ අලියා ඉස්සරහින් කතිරේ ගහලා රට රැක ගන්න එක් වෙන ලෙස ඉල්ලනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

තාරුණ්‍යයට අලුත් ශක්තියක් ලබා දී තරුණ සේවා සභාව මගින් ශක්තියක් ලබා දී විද්‍යා පීඨ මගින් රටේ අධ්‍යාපනයට රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිවරයකු වශයෙන් සිටියදි විශාල ශක්තියක් මේ රටට ලබා දුන්නා. මේ රටේ ස්වෛරීත්වය මෙන්ම පොදු ජනතාව ශක්තිමත් කිරිමට අපගේ පක්ෂය සැමදාම කටයුතු කළා. රජයක් ලෙස අද අපේ යුතුකම් ඉටු කරගෙන යනවා.

සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස වැනි සියලූම ක්ෂේත්‍රවලින් අපි ජනතාවට සහන ලබා දෙනවා. යහපාලන රජය බලයට පත්වූ දා සිට 275000 කට නිවාස ලබාදි තිබෙනවා. 2020 වන විට උදාගම්මාන 2500 ක් ඉදිකර අවසන් කරනවා. අපේ නිවාස වැඩසටහන කොතරම් ශක්තිමත්ද කිවහොත් අයවැය වැය ශිර්ෂය යටතේ නිවාස අමාත්‍යාංශය ගැන වාද කරන දිනයේදී හිටපු නිවාස ඇමතිවරයා විවාදයට ආවේ නැහැ. ඔවුන් නිවාස ලබා දුන්නේ පවුලේ අයටයි. අපේ වැඩ කොටස දකින විට ඔහුට කට උත්තර නැහැ.

හොරු බිහිකරපු නායකයා කියනවා හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා. ලොකුම විහිළුව මෙයයි. මෙවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සුවිශාල ජයග්‍රහණයක් ලැබු පසු නිවාස වැඩපිළිවෙල පළාත් පාලන ආයතන මට්ටමින් දියත් කරනවා.

අද මා විශේෂ යෝජනාවක් ගේනවා ගොවි ජනතාවට රුපියල් 200 ට පොහොර ලබා ගැනිමට අපි සටන් කළ යුතුයි.

මෙවර මැතිවරණයෙන් ආයතන බහුතරයක් හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. අපි එජාප රජයක් බිහි කළ යුතුයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා-

මේ ඡන්දයෙන් බලගතු වෙනස්කම් දෙකක් වෙනවා. ඔබේ පළාතට ඔබේම මන්ත්‍රිවරයකු ලැබෙනවා. කාන්තා නියෝජනය 25% ක් ලැබෙනවා. අද වෘත්තියවේදින් අතර බහුතරයක් සිටින්නේ කාන්තාවෝ. සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ගේ බලය වැඩිවී තිබෙනවා. වෙනස සැපද කියා සමහරු අහනවා. මහින්ද රාජපක්ෂ හිතු හිතු ලෙස අමාත්‍යංශ පිහිටුවා තමන්ගේ පවුලේ අයගේ අමාත්‍යාංශවලට වැඩි මුදලක් වෙන් කළා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇමතිධූර සංඛ්‍යාව සිමා කර තිබෙනවා. ජනාධිපතිවරයාට තිබු අන්තනෝමතික බලය සීමා කර තිබෙනවා. මැතිවරණයක් තිබුණු විට රාජපක්ෂ රජය කළේ කුමක්ද? හිතූ හිතූ තැන්වල කාර්යාල දැම්මා. අරක්කු බත් පැකට් බෙදුවා. බලය අතට ගත්තා. අද ඒ වාතාවරණය වෙනස්. අපි ඔක්කොම මැතිවරණ කොමිසමට යටත්.

රජයේ අරමුදල් සමෘද්ධි බළකාය පොලිසිය හමුදාව නැතුව ඡන්ද දිනන්න පුළුවන් බව අපි පසුගිය මැතිවරණයේදි පෙන්නුවා. මේ මැතිවරණයේදි අපි එය තහවුරු කරනවා.

පසුගිය රජය කළේ ආදායම් උපයන්නේ නැති සංවර්ධනයක්. දූෂිත සංවර්ධනයක්. දූෂණයෙන්, වංචාවෙන් හම්බ කළ මුදල් බේබි හාමුල‍ාගේ ගිණුම්වලට දාපු එකයි ඔවුන් කළ සංවර්ධනය. අද අපි ටෙන්ඩර් කැඳවීමකින් තොරව කිසිම සංවර්ධනයක් සිදු කරන්නේ නැහැ.

මේ රටේ ජනතාව දෙසැරයක්ම මහින්ද රාජපක්ෂ පැරැද්දුවා. තුන්වෙනි වතාවටත් ලැජ්ජ නැතුව ඉදිරිපත්ව සිටිනවා. පෙබරවාරි 10 දා ආපහු නෙඑන්නටම ජනතාව රාජපක්ෂලාව පන්නනවා.මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය කර ඉදිරි මහ මැතිවරණයේදි එජාපය ජයග්‍රහණය කරවමු.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබිර් හෂිම් මහතා-

රට දිනවන්න කටයුතු කළ පාක්ෂිකයන් ඉදිරියේ කතා කිරිමට ලැබිම මහත් භාග්‍යයක් ලෙස සලකනවා. ඔබ අපි කළ අරගලය පිළිබඳවත් එයින් වූ යහපත පිළිබඳවත් තවම හොදට දැනිලා නැතුව ඇති. එදා සෝභිත නාහිමිගේ දර්ශනය මත සාධාරණ සමාජයක් බිහි කිරිමේ ප්‍රධාන ඇන්ජිම වූයේ එක්සත් ජාතික පක්ෂයයි. අසීමිත බලයක තිබු විධායකයේ බලතල අඩුකර ඒ බලය පාර්ලිමේන්තුවට ගැනිමට අපට හැකිවුණා.

යහපාලනය වචනයට සිමා නොකර අකුරටම එය ක්‍රියාත්මක කිරිමට අපට හැකිවුනා. ව්‍යවස්ථා මණ්ඩලයක් ඇති කර මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරිමට පියවර ගත්තා. නිතියේ ස්වාධිනත්වය, පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණය ශක්තිමත් කරමින් ස්වාධින කොමිෂන් සභා ක්‍රියාත්මක කිරිමට මුලික වුනේ අපියි.

ඉහලින් ක්‍රියාත්මක කළ ධාර්මික පාලනය බිම්මට්ටමට ගමට ගෙන යාමට කාලය එළැඹ තිබෙනවා. එය ඇත්තේ ඔබගේ අතේ බව කිව යුතුයි. බෙහෝ පක්ෂ ඉච්ඡා ප්‍රතිඥා දෙනවා. ඔවුන් වසර 20 ක් බලයේ හිටියා. නමුත් ධාර්මික පාලනයක් වෙනුවෙන් කළේ කුමක්ද? සිදුවුනේ ප්‍රාදේශිය සභාවට හූනෙක් වගේ ගොස් මසකින් දෙකකින් මෝරෙක් වගේ මහත්වූ සභිකයෙක් බිහිවිම පමණයි. බයිසිකලයකින් ගිය සභිකයා අවුරුදු දෙකකින් ප්‍රාඩෝ රථයකින් ගියා.

එක්සත් ජාතික පක්ෂය ආචාර ධර්ම පිළිපදින පක්ෂයක්. අපි ස්වයං විවේචන කර ගනිමින් සදාචාරවත් පාලනයක් ගෙන යනවා. අප සමග සහෝදර පක්ෂ කිහිපයක් එක් වී සිටිනවා.

අපගේ යහපාලන ප්‍රතිපත්තිවලට අනෙක් පක්ෂ අනුගතවීමට උත්සාහ කිරිම පවා අප ලැබු ජයග්‍රහණයක් බව කිව යුතුයි. එම පක්ෂ සමග එක්වී අප පළාත් පාලන ජන්දයේ බහුතරයක් ජයග්‍රහණය කරන බව කිව යුතුයි.

පළාත් පාලන ආයතන මගින් ගමේ සංවර්ධනයට වැඩ පිළිවෙළක් අප සකස් කර අවසන්. ඒ සඳහා අලුත් නිති සැකසිමටත් පවතින නිති යාවත්කාලින කිරිමටත් අප සුදානම්. සෑම ආයතනයකම විපක්ෂයට කාර්ය භාරයක් පැවරිමට අප බලාපොරොත්තු වෙනවා.

පලාත් පාලන පලාත් සභා බලය නැතිව අප අවුරුදු දෙකක් මේ රටට විශාල වැඩ කොටසක් සිදු කළා. ඔබ ඉවසීමෙන් ඒ කාලේ සිටියා. අප ඔබව අමතක කරන්නේ නැහැ. ණය කන්ද සහ කුණු කන්ද සමග අගමැතිතුමා භාර ගත් මේ රට දියුණුවට පත් කර ඔබට ජයග්‍රහණ ලබා දීමට අප සුදානම්.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා-

අලූත් තරුණ, කාන්තා මුහුණු විශාල සංඛ්‍යාවක් අද අපිට දකින්නට ලැබෙනවා. වෙනත් පක්ෂවල දකින්නට ලැබෙන්නේ පැරණි මුහුණු ටිකමයි. පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන බහුතරයක් දෙනා පැරණි දුෂිතයන්ම බව කිව යුතුයි.

2015 දි අප රටට වසන්තය උදා කළා. මේ මැතිවරණයෙන් ජයගත් පසුව ගමට මල්ඵල ගන්වන සොදුරු වසන්තය උදාවේවි. අගමැතිතුමාගේ ආර්ථික නායකත්වයේ ප්‍රතිලාභ ලබා ගැනිමට නම් අප මේ ජන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගත යුතුයි. අපට විරුද්ධ බලවේග කැඩි ගොස් තිබෙනවා.

මේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක අයුරින් පසුබිම නිර්මාණය වී තිබෙනවා. අප මේ වසර දෙක ඇතුළත රටට දැනෙන වැඩක් කර තිබෙනවා. අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් කරන්නට අපට ලැබුණා.

ඒකාබද්ධ කල්ලියේ ලකුණම අසුබයි. ඔවුන්ට හැමදාම ඉන්න වෙන්නේ පොහොට්ටුවක් විදියටම තමයි. පෙබරවාරි 10 වැනිදා ඔවුන්ගේ සැබෑ තත්ත්වය ජනතාවට දැක ගැනීමට හැකියාව ලැබේවි. 2030 වනතුරු විපක්ෂයේ ඉන්න හිත හදාගන්නයයි පොහොට්ටුවේ පිරිසට මතක් කරන්න කැමතියි.

බැඳුම්කරයෙන් අගමැතිතුමා සම්පුර්ණයෙන්ම නිදහස් වී‍ සිටින විට මාධ්‍ය මාෆියාව යොදා ගෙන ‍ ගහනවා. එතුමා වරදක් කර තිබුණා නම් කෝප් කමිටුවේ සභාපතිකම ජනතා විමුක්ති පෙරමුණට දෙයිද?

එක්සත් ජාතික පක්ෂ කොළඹ නගර සභා නගරාධිපතිනි අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය-

මෙවර මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිකර ගැනිමට හැකිවුනේ එක්සත් ජාතික පක්ෂය නිසයි. මෙරට කාන්තා හිතවාදි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂ වන්නේ එක්සත් ජාතික පක්ෂය බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ වන තුරු කාන්තා නියෝජනය තිබුනේ 1.5% ක් පමණයි. එය 25% කින් වැඩි කළ අගමැතිතුමන්ට අපේ කෘතඥතාවය පළ කරමු. 2020 වනවිට කාන්තා නියෝජනය 40% දක්වා වැඩි කිරිමට දැන් තින්දු තීරණ ගෙන තිබෙනවා.

ඊළග වසර තුන හතර වනවිට අප රජය යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට හැකියාව ලැබේවි.

බහුතර කාන්තාවන් වෙනුවෙන් සුබවාදි තීරණ ගත් එකම පක්ෂය එජාපයයි. එවැනි තීරණ ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.

කොළඹනගර සභාවට පළමුවරට කාන්තා පුරපතිනියක් ලෙස පත්විමේ අවස්ථාව මට දැන් ලැබි තිබෙනවා. කොළඹ 80% කින් ජයග්‍රහණය කරන බවට මා මෙහිදි අගමැතිතුමන්ට පොරොන්දු වෙනවා.

කොළඹ නගරය කුණු කසලවලින් තොරව ආදර්ශවත් නගර සභාවක් බවට පත් කිරිම මාගේ අරමුණයි. කොළඹ නගරය සුහුරු ලස්සන නගරයක් බවට පත් කර සියලුම අවශ්‍ය සේවාවන් ලබා දිමට කටයුතු කරනවා.

ජාතික වතුකම්කරු සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා-

එක්සත් ජාතික පක්ෂය දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව අත්වැල් බැදගෙන අප පෙබරවාරි 10 දා මැතිවරණය ඉහලින් ජය ගන්නවා. වතුකරයේ කාන්තා පිරිස ඉතා උනන්දුවෙන් එක්සත් ජාතික පක්ෂය වටා රොද බැද සිටිනවා. වත්තට සිමාවී තිබු කාන්තාවට පළාත් පාලන ආයතන නියෝජනය කිරිමට බලය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

කොන්වී තිබු වතුකරයේ ජනතාව නඟා සිටුවා ගෞරවනීය ජාතියක් ලෙස ජිවත්විමට හැකියාව ලැබුනේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේයි. ඒ නිසා අපේ ජනතාව හැම විටම එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැදගෙන ඉන්නවා. වතුකරයේ ජනතාවගේ බලාපොරොත්තුව 2020 දි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කොට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් බිහිකිරිමයි.

මැරෙනතුරු අලියට ජන්දය දෙන ජනතාවක් වතුකරයේ සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා කියන කෙනෙකුට ඔවුන් ජන්දය දෙනවා. සරත් ෆොන්සේකා මහතාට ජන්දය දෙන ලෙස කිව්වා. අපි දුන්නා. මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙන්න කිව්වා. අපි දුන්නා. අපි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙනතුරු ඉවසනවා. එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. ඒ සඳහා පෙබරවාරි 10 දා මුල් පියවර ගන්නවා. වතුකරයේ සියලුම ආයතන එජාපය දිනනවා.

ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියද සම්මේලනය ඇමතිය.

පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම මහා සම්මේලනයට සහභාගී වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක,
රුක්මල් ගමගේ, බන්දුල අලහකෝන්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();