Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘රන් දියවර මංගල්‍යය’ ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ‘රන් දියවර මංගල්‍යය‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සිදුකෙරිණි.

චීන සිනෝහයිඩ්‍රෝ සමාගම විසින් මොරගහකන්ද ජලාශයේ වේලිවල සහ විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් වූ බව පවසමින් එය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදෙනු වස් ශ්‍රී ලංකාවේ චීන තානාපතිනී පන්චූන් ෂු මහත්මිය විසින් සන්නස් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූ අතර ඊට අමතරව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක විදුලි ධාරිතාවයක් එක්කරන මොරගහකන්ද විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම ද සිදුකෙරිණි.

ඡායාරූප - සුදත් සිල්වා, සුදත් මලවීර 


වාරි සංස්කෘතියේ ගාම්භීරත්වය පිළිබිඹු කරමින් මොරගහකන්ද මවුබිමේ උරුමයට

මානව ඉතිහාසයේ ගාම්භීරත්වය මෙන්ම චිරාගත වාරි ශිෂ්ඨාචාරයෙන් නිර්මාණය වූ දේශීය වාරි සංස්කෘතියේ ආඨ්‍යත්වය ද පිළිබිඹු කෙරෙන ආධ්‍යාත්මික සංකේතයක් බඳු මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ දියවර සිරිලක සුවහසක් ගොඩබිම් සශ්‍රීක කිරීමේ අරමුණින් මාතෘභූමියේ උරුමය වෙනුවෙන් දායාද කරයි.

ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් වියලි කලාපීය ජනතාවගේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම මහා වාරි ප්‍රාතිහාර්යයේ ‘රන් දියවර මංගල්‍යය‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සිදුකෙරුණු අතර මෙරට ආර්ථීකයට දැවැන්ත ශක්තියක් ලබාදෙමින් දශක හතරකට පසුව ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉතිහාසයට එක්වෙයි.

ඊයේ පෙරවරු 11.20 ට යෙදුණු සුභ මොහොතින් ජනාධිපතිවරයාගේ සුරතින් මංගල දියවර නිකුත් කරමින් මෙම සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට තිළිණ කිරීම සිදුකෙරුණු අතර මහ සඟරුවනගේ සෙත් පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ මේ මහා සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම සිදුවිණි.

දීර්ඝ කාලයක් වියලි කලාපීය ජනතාව මුහුණ දුන් වාරි දුෂ්කරතාවලට විසදුම් ලෙස ඉදිකරන ලද මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ රටේ ප්‍රජාව වෙත පිරිනමමින් ජලාශයේ දියවර කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පිරිසුදු පානීය ජලය ලෙස මුදාහැරීමේ රන්දියවර මංගල්‍ය මෙලෙස සිදුකෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන් මඟට දැවැන්ත ශක්තියක් ද එක්ව තිබේ.

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව මේ සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් සමරු ඵලකය නිරාවරණය කරන ලද අතර එයින් අනතුරුව උඩරට නර්තන කණ්ඩායමේ සංස්කෘතික අංගයක් සහ චීන සංස්කෘතික කණ්ඩායමේ නර්තන අංගයන් මධ්‍යයේ මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට පිවිසියහ. එහිදී රන්දියවර මංගල්‍යයට එක්වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජලාශයෙන් ගලා බස්නා දියමතට මල් ඉසිමින් ආශිර්වාද එක් කළහ. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානාවක් ඉහළ අහසේ පියාසර කරමින් වාන් දොරටු විවෘත කිරීමෙන් අනතුරුව ගලා බස්නා දිය මතට මල් ඉසිනු දක්නට ලැබිණි.

මේ වැදගත් කාර්යයෙන් අනතුරුව චීන සිනෝහයිඩ්‍රෝ සමාගම විසින් මොරගහකන්ද ජලාශයේ වේලිවල සහ විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් වූ බව පවසමින් එය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදෙනු වස් ශ්‍රී ලංකාවේ චීන තානාපතිනී පන්චූන් ෂු මහත්මිය විසින් සන්නස් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූවාය. එයින් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක විදුලි ධාරිතාවක් එක්කරන මොරගහකන්ද විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම සිදුවිය.

අක්කර අඩි 660,000 ක ධාරිතාවයකින් යුතු මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සමස්තය වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් කෝටි 18,000ක් පමණ වන අතර මෙය මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වෙයි. ඒ අනුව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමත් සමඟ මීට දශක හතරකට පෙර ජනවාරි 08 වනදාවකම පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය සනිටුහන් කෙරේ. මොරගහකන්ද ව්‍යාපෘතිය ලෝකයේ ඉතාමත් සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග සභ්‍යත්වය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ජාතියේ ප්‍රණාමයට ලක්වූ සුවිශේෂි ව්‍යාපෘතියක් වෙයි.

හැටේ දශකයේ අවසාන භාගයේ ආරම්භ වූ මහවැලි ව්‍යාපාරය රටපුරා පැතිරුණු මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ජාතික ආර්ථිකයේ නවෝදය උදෙසා මහඟු මෙහෙවරක් ජාතියට දායාද කර තිබෙන අතර ජාතික ජල විදුලිබල පද්ධතිය සඳහා වැඩි ප්‍රතිශතයක් දායකවීම, වී ඇතුළු අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනය අතින් ප්‍රමුඛ ස්ථානයක් ගැනීම, නව සංවර්ධන බිම් සහ නව ජනාවාස ඇති කිරීම, රටේ ආර්ථික සංවර්ධනය උදෙසා රටේ සම්පත් ක්‍රමවත්ව යොමුකර ගැනීම ආදිය මහවැලි ව්‍යාපාරයෙන් අප ලැබූ උදාරතර ජයග්‍රහණයන් වෙයි.

අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂී ව්‍යාපෘතියක් වන අතර නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලාගිය ජලකඳ හරස්කර මොරගහකන්ද ජලාශය ඉදිකර තිබේ.

මොරගහකන්ද ජලාශය තුළින් මෙගාවොට් 25ක විදුලිබල ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත අතර එමඟින් ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336කි. පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා ඝෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළු මහත් ජාතියටම හිමිවන ප්‍රතිලාභය අතිමහත්ය.

නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගණනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. අභිමානවත් සහ උත්කර්ෂවත් අයුරින් මොගහකන්ද මහා වාරි ප්‍රාතිහාර්යයේ ‘රන් දියවර මංගල්‍යය‘ පැවැති අතර මෙය සුවහසක් ජනතාව දීර්ඝ කාලයක සිට අපේක්ෂා කළ අපේක්ෂාවන් මුදුන්පත් වීමකි.

කතානායක කරූ ජයසූරිය, ඇමැතිවරුන් වන මංගල සමරවීර, මහින්ද අමරවීර, ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, පී හැරිසන්, මලික් සමරවික්‍රම, එස්.බී නාවින්න, රාජ්‍ය ඇමැතිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නියෝජ්‍ය ඇමැති අනුරාධ හේරත්, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර, මොරගහකන්ද සිට ....

ඡායාරූප සුදත් මලවීර 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();