Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමේ බලය ලබා ගෙන රටේ බලය තහවුරු කර සැමට සුරක්ෂිත අනාගතයක් හදමු

Author(s): 
ශිරෝමි අබයසිංහ

* රටේ ආර්ථිකය විනාශ කර පැන ගිය අයට යළි බලය දී සෙතක් වන්නේ නෑ

එජාප විශේෂ මහ සම්මේලනයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

ගමේ බලය ලබා ගෙන රටේ බලය තහවුරු කර සියලු දෙනාට සුරක්ෂිත අනාගතයක් ලබා‍ දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ (7) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එක්වරක් රටේ ආර්ථිකය විනාශ කර තරුණයන්ට අනාගතය අහිමි කර පැන ගිය මහින්ද රාජපක්ෂ කල්ලිය නැවත ගමේ බලය ඉල්ලන බව කී අගමැති වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය යළි ඔවුනට භාර දුන්නොත් ඇතිවන තත්ත්වය පිළිබඳව ජනතාව හොදින්ම වටහා ගෙන සිටින බවද කීය.

ගමේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් සකස් කර ඇති බව කී අගමැතිවරයා ආර්ථික සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ අවශ්‍ය නම් ඒ සඳහා කැප වු එක්සත් ජාතික පක්ෂයට ගමේ තනි බලය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

ස්ත්‍රින් දුෂණය කර පාටි දැමු අය සිටින පොහොට්ටුවට ඡන්දය දිමෙන් ගමට කිසිදු සෙතක් අත් වන්නේ නැතැ බවද කිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

පළාත් පාලන මැතිවරණයට සහභාගි වන අපේක්ෂකයන්ගේ විශේෂ මහා සමුළුව අද උත්කර්ෂවත් ආකාරයට පැවැත් වෙනවා. ගමේ ඡන්ද කටයුතු කෙටි කලකට පසෙකට තබා මෙම සමුළුවට සහභාගී විම සඳහා ගමේ අපේක්ෂකයන් පැමිණ තිබෙනවා. මෙම මැතිවරණය ජය ගත යුතු ඉතා වැදගත් මැතිවරණයක්.

අපේ බලය තහවුරු කරන්න නම් මේ මැතිවරණය ජයගත යුතුයි. අපි රටේ බලය ලබා ගත්තා. දැන් අපි ගමේ බලය ලබා ගනිමු. රටේ බලය ලබා ගත්තේ ගමේ බලය ඉල්ලන්නේ ඔබ සියලූ දෙනාටම හොඳ අනාගතයක් ලබා දීමටයි. ඊළග දශක කිහිපය තුළදී තරුණ පරපුරට රැකියා ප්‍රශ්න නොමැතිව, නිවාස ප්‍රශ්නයක් නොමැතිව, ආදායම් ප්‍රශ්න නොමැතිව හොදින් ජිවත් විය හැකි සමාජයක් බිහි කිරිම අපේ අරමුණයි.

සියලූම පක්ෂ එකට එක් වී 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කෙළේ ඒ අරමුණ ඉටු කර ගැනිම සඳහායි. මෙවර ගමේ බලය ලබා ගන්නේ ඒ අරමුණ ඉටු කර ගැනිමටයි.අප වසර දෙකක් රට පාලනය කර අතරතුර කෙළේ කුමක් දැයි සමහරුන් අහනවා. ජනාධිපතිවරණය පැවැත්විමට නියමිතව තිබුණේ 2017 වසරේදි. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මෙරට ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටුණා. ගමේ ආර්ථිකය බිද වැටුණා. නගරයේ ආර්ථිකය කඩා වැටුණා. මහින්ද රාජපක්ෂට මෙරට ආර්ථිකය හසුරුවා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා හදිසියේ ජනාධිපතිවරණයක් පැවැත්වුවා.

එම මැතිවරණය ජය ගන්න හැකිවේ යැයි ඔහු කල්පනා කළා. නමුත් පරාජයට පත්වුණා. ඔහු රටේ ආර්ථිකය අනාථ කොට තරුණයන්ට අනාගතය නැති කර පළා ගියා. පසුගිය වසර දෙක අප යොදා ගත්තේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහායි. ඉන් පසුව සංවර්ධන යුගයක් කරා ගමන් කිරීම සඳහායි. නැතිනම් අපට ඉදිරියට යාමට හැකි වන්නේ නැහැ.ණය ගෙවා ගන්නටවත් නොහැකි ව තිබු ආණ්ඩුවක් ණය ගෙවිමට හැකි තත්ත්වයකට පත් කර ගැනීමට අපට හැකි වුණා. රටට යම් බරක් දරන්නට සිදු වෙනවා. ණය ගෙවා දැම්මේ නැතිනම් අපට බංකොළොත් වෙන්න සිදුවෙනවා.

ණය ගෙවා දමා මුදල් සොයා ගෙන රට සංවර්ධනය කිරිම ආරම්භ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂට මේ කටයුත්ත කරන්නට බැරි වුණා. එකල ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වී තිබුණා. මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපට ඉදිරියට යාමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර සහයෝගය ලැබුණ නිසයි.

නව ඡන්ද ක්‍රමය රටට ලැබුණේ අප ගත් ක්‍රියා මාර්ග නිසයි. මීට පෙර කේවල ක්‍රමය සහ අනුපාතය ක්‍රමය එක් කල ඡන්ද ක්‍රමයක් බිහි කරන්නට නොහැකි වුණා. අපට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වුණත් සියළුම පක්ෂ එකතු කර ගෙන ක්‍රමවේදය නිර්මාණය කරන්නට හැකියාව ලැබුණා.

අප හදුන්වා දුන් ඡන්ද ක්‍රමය නිසා අලූත් මුහුණුවලට කාන්තාවන්ට ඡන්දයට ඉදිරිපත්විමට හැකියාව ලැබි තිබෙනවා. ඊළග මැතිවරණවලදි මීටත් වඩා අලූත් මුහුණු දැක ගන්නට හැකියාව ලැබේවි. පළපුරුදු අය මෙන්ම තරුණ අයත් මේ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. කාන්තාවන්ට 25% ක අවම නියෝජනයක් ලබාදිය යුතු බවට සටන් කෙළේ එක්සත් ජාතික පක්ෂයයි.

අද හැම තැනම කාන්තාවන් ඉන්නවා. එසේ නම් කාන්තා නියෝජනය තහවුරු කළ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්නැයි කාන්තා පක්ෂයෙන් ඉල්ලා සිටිනවා. බිම්මට්ටම ශක්තිමත් කිරීමට කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමට අප කටයුතු කරනවා. රෝසි සේනානායක මහත්මිය මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්වූවේ කාන්තා ඔබ සියලූ දෙනා වෙනු වෙනුයි.

අපි දුටු ගැමුණු රජතුමා ගැන බොරුවට කතා කරමින් ආර්ථිකය වල පල්ලට දමන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ ඊළග වසර 15 – 20 ඇතුළත ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමටයි. එමෙන්ම රැකියා ස්ථාපිත කිරීමටයි. අප විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්නේ මේ අරමුණ ඉටු කර ගැනීම සඳහායි.

යටිතල පහසුකම්වලින් සැලැස්මක් ඇතුව ප්‍රයෝජන ගැනීමට අප ක්‍රියාකර තිබෙනවා. රටේ බොහෝ ස්ථානවල යටිතල පහසුකම් තිබුණේ නැහැ. අප මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. බස්නාහිර මහා නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ යටිතල පහසුකම් ගණනාවක් සංවර්ධනය කිරීමට හැකියාව ලැබුණා.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන මුලික කලාපය දියුණු කිරිමට අපට හැකියාව ලැබි තිබෙනවා. මහනුවර සිට හම්බන්තොට දක්වා යටිතල පහසුකම් වර්ධනය කොට ඒ ඒ අංශ දියුණු කිරිම අප ආරම්භ කොට තිබෙනවා. අප රට බාර ගන්නා විට අඩක් පමණක් වැඩ අවසන් කළ මාර්ග තිබුණා. හම්බන්තොට වරාය අලාබ ලබමින් තිබුණා. නමුත් අද හම්බන්තොට වරාය රටට බරක් නොවේ.මධ්‍යම අධිවේගි මාර්ගය ගැන ඔවුන් කතා කර තිබුණත් මුදල් තිබුණේ නැහැ. මේ සියල්ල එකතු කොට එක් සැලැස්මක් සහිතව සංවර්ධනය කිරීමට අප අඩිතාලම දමා තිබෙනවා. කර්මාන්ත ඇති කිරීමට, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට, වෙළෙඳාම සහ වාණිජ අංශ දියුණු කිරීමට තොරතුරු තාක්ෂණ සේවා අංශ දියුණු කිරීමට, මුල්‍ය සේවා දියුණු කිරීමට අප කටයුතු කර තිබෙනවා.

ඩුබායි, සිංගප්පුරුව වැනි රටවලට දියුණු වෙන්න හැකි නම් එම දියුණුව ශ්‍රී ලංකාවටත් ලබා දිම අපේ අරමුණයි. මහනුවර සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩකටයුත්ත අප ආරම්භ කර තිබෙනවා. වයඹ වෙළෙඳ කළාප දෙකක් බිහි කරනවා. දොඩම්ගස්ලන්ද, ඉරණවිල, බිංගිරිය ආදි ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳ කළාප පිහිටුවනවා.

මිල්ලනිය ප්‍රදේශයේ වෙළෙඳ කළාපයක් ඉදි කෙරෙනවා. ගාලූ නගරයට අමතරව එහි සංචාරක කලාප තුනක් ඉදි වෙනවා. හම්බන්තොට ආශ්‍රිතව වෙළෙඳ කලාප පහක් හයක් පමණ ඉදි කෙරෙනවා. බදුල්ල, පාසිකුඩා සංචාරක කලාප කිහිපයක්ම ඇති කිරීමට නියමිතයි.

තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා දැනටමත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. කොළඹ මුල්‍ය මධ්‍යස්ථානයක් කරන නීති කෙටුම්පත් අප සම්පාදනය කරමින් සිටිනවා. රැකියා ආදායම් මාර්ග බිහි කළ පසුව අපේ තරුණ තරුණියන්ට තමාගේ ආර්ථික ශක්තියෙන් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.

ආත්මශක්තිය නොමැති නම් දියුණුවක් ලබා ගන්නට හැකි වන්නේ නැහැ. තරුණ තරුණියන්ට ආත්ම ශක්තියත් සමඟ රැකියා ලබාදිම අපේ අරමුණයි. නිවාස ලක්ෂ දෙකහමාරක් පමණ ඉදිකිරිමට අපට හැකියාව ලැබුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට හැකි වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කිරීමට සැලකිය යුතු මුදලක් වෙන් කළා.

විහාරස්ථාන දියුණුවට පත් කිරීම සඳහා ගමේ කුඩා පන්සල්වලට ආධාර කරනවා. මහා විහාර ආශ්‍රිතව කැණිම් කටයුතු ආරම්භ කර තිබෙනවා. නීතිය සාමය අකුරට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

1977 වසරේ සිටම රටේ සියලූම ප්‍රදේශ සමබරව සංවර්ධනය කිරීම සඳහා අප මුදල් යොදවා තිබෙනවා. මහවැලි ව්‍යාපාරය තුළින් නැ‍ඟෙනහිර, ඌව, උතුරු මැද ආදි ප්‍රදේශ දියුණුවට පත් වුණා. යුද්ධය නිසා විනාශ වු යාපනය ඇතුළු ප්‍රදේශවල ආර්ථිකය දියුණු කිරිමටත් අප කටයුතු කරමින් සිටිනවා.

මේ සියල්ලෙහිම අරමුණ වන්නේ තරුණ තරුණියන් සඳහා හොද අනාගතයක් ලබා දිමයි. අප දැමු අඩිතාලම ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි.

එක්වරක් ආර්ථිකය කඩා දමා පැනගිය කෙනෙකුට නැවත ගමේ ආර්ථිකය ලබා දුන්නොත් සිදුවන අවුල පිළිබඳව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටෙන අයුරු දැක පැන ගිය රාජපක්ෂ දැන් නැවතත් කෑ ගහන්නට පටන් ගෙන සිටිනවා. එදා ඔහු වගකිම ගන්න බය වුණා. දැන් නැවත ගම ඉල්ලන්නේ ඔහුද?.

ඔහුට ගම හදන්න අවස්ථාව තිබුණා. නමුත් පැනලා ගියේ ඇයි. මන්ද ඔහුට ඒ කටයුත්ත කරන්න නොහැකි නිසයි. අපි පාලන බලය ලබා ගත්තේ යහපාලනයක් ස්ථාපිත කිරීම සඳහායි. හොරු ඇල්ලීමටයි. අප ආණ්ඩුව කරන විට චෝදනා නැ‍ඟෙනවා නම් ඒ සියල්ල විභාග කොට පියවර ගත යුතුයි.

බැදුම්කර පිළිබඳව චෝදනාව එල්ල වූ සැණින් මා පිටිපන කමිටුව පත් කළා. එහි වාර්තාව ලැබුණු පසුව පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දුන්නා. ඉන් පසුව ඒ පිළිබඳව විමර්ශනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ප්‍රමුඛ කෝප් කමිටුවට භාර දුන්නා. කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කළ පසුව 2016 ඔක්තෝම්බර් 30 වැනි දා එය නීතිපතිට යොමු කොට මේ කණ්ඩායම් පිළිබඳව සොයා බලා යෝජනා අනුව ගත යුතු නීති පියවර දැනුම් දෙන්නැයි පැවසුවා.

නීතිපති ඉන්පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් කරුණු ඉල්ලා සිටියා. සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව මෙන්ම පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගම පිළිබඳව පරික්ෂණයක් කළ යුතු යැයි 2017 වසරේදි මහ බැංකුවේ අධිපතිවරයා පැවසු විට මා නීතිපතිට කතා කොට ඒ වැඩකටයුතු කළා. ඒ බිලියන 11 ක් ආරක්ෂා කරන්නැයි මා දැනුම් දුන්නා. එම මුදල තිබෙන බවත් අධිකරණයේ නඩු පවරා ඒ මුදල නැවත පවරා ගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා මට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු පරීක්ෂණයෙන් පසු මේ පිළිබඳව සෙවිමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දුන්නා. එම කොමිසම පත් කිරීමට පෙර එහි කරුණු සියල්ලම මට පෙන්නුවා. ඊට මා එකඟ වුණා. ඒ අනුව කොමිසම ක්‍රියාත්මක වුණා. මා සහ ඇමැතිවරුන් තිදෙනෙකු ගොස් සාක්කි ලබා දුන්නා.

එවැනි දෙයක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු වි තිබුණේ නැහැ. මේ වන විට කොමිසන් වාර්තාව පැමිණ තිබෙනවා. එම වාර්තාවත් නීතිපතිට යවා තිබෙනවා. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නිතිපතිට ඉඩ දිය යුතුයි. පාර්ලිමේන්තුවේත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා. කොමිසන් වාර්තාව පිළිබඳව විවාද කිරිම සඳහා පාර්ලිමේන්තුව රැස්කළ හැකි දැයි දිනේෂ් ගුණවර්ධන මහතා මගෙන් ඇසුවා.

බොහෝ පක්ෂ නායකයන් ද මේ පිළිබඳව අදහස් දක්වා ඇති ආකාරය මා පුවත් පත්වලින් දුටුවා. මේ විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස් කරන්නැයි මා කතානායකවරයාට දැනුම් දෙනවා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. අප හැම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කර තිබෙනවා.

එකම සිද්ධිය තුන්වතාවක් පරීක්ෂාවට ලක් කෙළේ කුමන රටේද ? පාර්ලිමේන්තුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක විවාද ලබා දෙන්නේ කුමන රටේද ? මේ තුන් වැනි විවාදයයි. අපට හංගන්න කිසිවක් නැහැ.

කොමිසන් වාර්තාව පෙන්නමින් කතා කරන ඒකාබද්ධ විපක්ෂයටත්, මාධ්‍යයටත් යමක් කිව යුතුයි. මේ කොමිසන් සභා වාර්තාව ගැන ඔබ කතා කරනවා නම් ඉතිරි පියවරත් ගනිමු. ඒ පියවර මොනවාද මේ කොමිසන් සභා වාර්තාවෙන් හෙළිවන තත්ත්වයට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදු වී ඇති බව කොමිසන් සභාවේ අදහසයි.

ඒ කියන්නේ 2008 – 2015 අතර සොරකමක් සිදුව ඇති බවද ? බිලියන 10 ක මුදලක් අහිමු බව කියනවා. කොමිසම කියන්නේ කුමක්ද ? වැඩිපුරම සේවක අරමුදල විනාශ වී ඇත්තේ 2008 – 2015 අතර කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. රුපියල් බිලියන 4000 ක් අනුමැතියකින් තොරව එකල වෙන්දෙසි කර ඇති බව මා මෙහිදි සඳහන් කරනවා.

ඒ සඳහා මුල්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතයක් ලබා ගෙන නැහැ. දැන් ඒ රුපියල් බිලියන 4000 ක මුදල ගෙවිය යුතුව තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඒ මුදල් ගෙවිමට ගත් ණයත් ගෙවිමට සිදුව තිබෙනවා. එදා ණය පිට ණය ගෙන තිබෙනවා. අපත් එසේ කළොත් ඊළග වසර 25 දී ගෙවිමට සිදුවන ණය කොපමණ දැයි දන්නවාද ? මාධ්‍ය කෑ ගහන නිසා ඒ ගැනත් කියන්න.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිලියන 10000 ක ණයක් ඔබට බාරදී තිබෙනවා. ඒ ගැන කරුණා කර එතුමාගෙන් අහන්න. මගෙන් අහන්න එපා. මා අස්ගිරි විහාරයට ගොස් නැවත එන අවස්ථාවේ කොමිසන් වාර්තාවට කරන්නේ කුමක්දැයි එක් අයකු පැමිණ මගෙන් ඇසුවා. නීතිපතිට යවා තිබෙන බව මා දැනුම් දුන්නා. මේ බොන්ඩ් කොමිසන් වාර්තාවට කරන්නේ කුමක්දැයි දැන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් අහන්න. මාධ්‍ය බය ඇයි. බිලියන 10 ක් සොරකම් කළා යැයි පැවසුවා. අධිකරණය හමුවේ නඩු පවරා මේ මුදල් ලබා ගත යුතුව තිබෙනවා. එවැනි දස දහස් ගුණයක් සොරකම් කිරිම පිළිබඳව නිහඩව ඉන්නේ ඇයි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අප සුදානම්. එය පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරමු.

අනෙක් අය ගැන කතා කරන්නට පෙර අප අප ගැන කතා කරනවා. මා සහ මුදල් අැමැතිතුමා සාකච්ඡා කොට මහ බැංකුවේ සියළුම ලිපි ලේඛන ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. කබිර් හෂිම් ඇමැතිතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේත් රක්ෂණ සංස්ථාවේත් අදාළ ලිපි සියල්ලම ආරක්ෂා කොට ඒ විභාගය ආරම්භ කරනවා. බිලියන 10000 ක් හොරකම් කෙළේ කවුද ?. අනුමැතිය නැතුව ගත් මුදල් නැවත දෙනවාද ?. බිලියන 10 ගැන කතා කළ නිසා බිලියන 10000 ගැනත් කතා කරමු.

හොරු ඇල්ලූවේ නැහැ කියලා දැන් කියනවා. මම මේ ගැන හොයලා බැලූවහම දැනට නඩු 19 ක් පවරා ඇති බව නිතිය හා සාමය අැමැතිවරයා පැවසුවා. තවත් ලිපිගොනු 40ක් පිළිබඳ නඩු පොලිසිය විභාග කරමින් සිටිනවා. එහි ලිපි ගොනු විභාග කිරීම සඳහා විවෘත කර තිබෙනවා. දෙවැනි ජනාධිපති කොමිසන් සභාවේ විභාග කිරීම සඳහා ලිපි ගොනු 24 ක් තිබෙනවා. සියල්ලම ලිපි ගොනු 64 ක් විභාග කිරීමට තිබෙනවා.

අධිකරණ ඇමැතිතුමියත්, අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාත් එකට එක් වී නව අධිකරණයක් පිහිටුවිමට අදාළ නීතියක් ස්ථාපිත කිරීම පිළිබඳව සොයා බලනවා. නිතිපතිතුමාත් මේ ගැන විභාග කිරීමට වෙනම අංශයක් පත් කර තිබෙනවා. මේ සඳහා ටික කාලයක් ගියත් ඒ වැඩකටයුතු කරනවා. අපි හොරු අල්ලනවා. ඒ ගැන කිසිම සැකයක් බයක් තියා ගන්නට එපා.

රට කා දැමු අය දැන් ගම හදන්න යැයි කියලා බලය ඉල්ලනවා. ඒ අයට ගම හදන්න හැකියාවක් නැහැ. අපට ගම හදන්න හැකියාව තියෙනවා. අප ඒ වැඩ කටයුත්ත කරන්නම්. දේශපාලන පළිගැනිම්වලට විසදුම් ලැබුනේ නැහැ. රැකියා ලැබුණේ නැහැ. යනුවෙන් ඇතැම් පාක්ෂිකයන් කියනවා. එය පිළිගත යුතුයි. සියළුම දේ කරන්නට බැරි වූ බව අපි පිළිගන්නවා.

අප පදනම නිර්මාණය කළා. සංවර්ධනය ආරම්භ කළා. ඒ අතරතුර සුළු විවේකයක් ගැනීමට පසුගිය දා මම නර්තනයකුත් ඉදිරිපත් කළා.

දේශපාලන පළිගැනිම් සඳහා විසදුම් දීමට අප ක්‍රියා කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ටත් මා ඒ ගැන කියනවා. රජයේ රැකියා ලබා දිමේදි ඇතැම් විට අසාධාරණ සිදු වී තිබෙනවා. එම නිසා ඉදිරියේ දී සාධාරණ අයුරින් එම කටයුත්ත ඉටු කිරීමට කටයුතු කරමු. රජයේ රැකියවලින් පමණක් මේ ප්‍රශ්නය විසදන්න හැකියාවක් නැහැ. පෞද්ගලික අංශයේ රැකියාත් අවශ්‍යයි. වෙළෙඳ කළාප බිහි කරන්නේ ඒ සඳහායි. අයෝජන අවස්ථා ඇති කරන්නේත් ඒ සඳහායි.

ජාතික යොවුන් සේනාංකය මෙන්ම සෙසු අංශත් දියුණුවට පත් කොට රැකියා උත්පාදනය කරන වැඩසටහනක්ද අප මේ වසරේදි හඳුන්වා දෙනවා. ස්වයං රැකියා ණය ලබා දිමේ වැඩසටහන්ද ආරම්භ කරනවා. රටපුරා වයි ෆයි මධ්‍යස්ථාන 8500 ක් පමණ ස්ථාපිත කර තිබෙනවා. වයි ෆයි කලාප 30000 ඉලක්කය වැඩි කලක් නොගොස් සපුරා ගන්නා බව අැමැතිවරයා මට දැනුම් දුන්නා.

ඉඩම් ඔප්පු ලබාදිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ල සින්නක්කර ඔප්පු ලෙස ලබාදිම අපේ අරමුණයි. නිවාස ඉදි කිරීම සඳහා තවදුරටත් මුදල් වෙන් කරනවා. නාගරික නිවාස මෙන්ම වතුකරයේත් උතුරේත් නිවාස ඉදිකරමින් සිටිනවා.

රටේ යහපාලනය ගම්මානවලටත් ලබාදිම අපේ අරමුණයි. අපට අමුතුවෙන් ප්‍රතිඥා ලබාගත යුතු නැහැ. සොරකම් කරන්නේ නැතැයි ප්‍රතිඥා දී සොරකම් කරන්නේ නැහැ. ස්ත්‍රි දුෂණ කරන්නේ නැතැයි කියා ප්‍රතිඥා දී ස්ත්‍රි දුෂණ කරන්නේත් නැහැ. අපට අපේ වැරදි හදා ගන්නට හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. අපේ එක් සභාපතිවරයකු හෝ හොරකම් කර හසු වුණොත් ඒ අයටත් පරීක්ෂණවලටත් මුහුණ දෙන්න සිදුවේවි.

ගම හදන්න නම් ආර්ථිකය හැදිය යුතුයි. ගමේ ආර්ථික සංවර්ධන වැඩසටහන අප සකස් කර තිබෙනවා. අපේ ගමන යන අයට අප සමඟ එකතු වීමට හැකියාව තිබෙනවා. ආර්ථික සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ අවශ්‍ය නම් ඒ සඳහා කැප වු එක්සත් ජාතික පක්ෂයට ගමේ තනි බලය ලබා දෙන්න.

කෘෂි කාර්මික ප්‍රදේශ දියුණු කිරිමටත් අපගේ සැලසුම් තිබෙනවා. ගමේ සංචරක කර්මාන්තය දියුණු කරනවා. අපට රට හදන්න හැකි වුණා නම් ගම හදන්නත් හැකියාව තිබෙනවා. රටේ ආර්ථිකය අතහැර ගිය මහින්ද රාජපක්ෂට, ගමේ ස්ත්‍රි දුෂණ කොට පාටි දැමු පොහොට්ටුව පක්ෂයට ඡන්දය දිමෙන් ගම හැදෙන්නේ නැහැ. ආණ්ඩුව සමඟ ගමේ බලයත් තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා. 

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();