Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙරළිකාර සී.එච්. පිල හමුවේ හැව්ලොක්ස් දණ නමයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ ආරම්භයේ සිටම දෙවැනි තැන රැක ගැනිමට සමත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්දමන්ද කළ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 27-25ක තියුණු ජයක් වාර්තා කිරිමට සමත්විය. සී.එච්.පිල ගෝල් 3ක්, ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් රැස් කළ අතර හැව්ලොක්ස් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.

හැව්ලොක්ස් පිටියේ පෙරේදා රාත්‍රී පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 25-13කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්වූවත් දෙවැනි භාගයේ දැඩි සටන්කාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සී.එච්. පිල ගෝල 2ක් වාර්තා කරමින් ජයග්‍රහණය අත්පත් කරගත්තේ හැව්ලොක්ස් පිලට ලකුණු ලබාගැනිමට අවස්ථාවක් නොදීමය.

තරගයේ ආරම්භයේදී හිරන්ත පෙරේරාගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් ලකුණු 7-0කින් හැව්ලොක්ස් පිලට පෙරමුණ ලබාදීමට රීසා මුබාරක් සමත්වූ අතර ඊට මොහොතකට පසුව ලසිඳු ඉෂාන්ගේ උත්සාහක දිනුමෙන් ලකුණු 12-0කින් ඉදිරියට ගියේය. එහෙත් ඊට මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහරක් සාර්ථකව එල්ල කළ සැමුවෙල් මධුවන්ත සී.එච්.පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර ඉරංග ආරියපාල තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමුවේය.

අනතුරුව දඬුවම් පහර 2ක් සාර්ථක කරගත් රීසා මුබාරක් හැව්ලොක්ස් පිල ලකුණු 18-10කින් ඉහළ දැමුවේය. පළමුභාගය නිමාවෙද්දී හැව්ලොක්ස් පිල ලකුණු 25-13කින් පෙරමුණ ගත්තේ ශෙහාන් ඩයස් තැබූ උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීමෙනි. ඒ අතරතුර කාලයේ දී අගනා ඩ්‍රොප් ගෝලයක් එල්ල කළ සැමුවෙල් මධුවන්ත සී.එච්. පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉදිරියට ගෙන ගියේය.

දෙවැනි භාගයේදී තරගයේ පාලනය සියතට ගත් සී.එච්.පිල විස්මිත ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර අවන්ත ලී තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ සැමුවෙල් මධුවන්ත සිය කණ්ඩායම ලකුණු 20කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. ශක්තිමත් ආරක්ෂක වළල්ලකින් හැව්ලොක්ස් පිල කොටු කළ සී.එච්.පිල අනතුරුව තරගයේ ජයග්‍රහණය තහවුරු කළේ ඉරංග ආරියපාල තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමත් සමගිනි. එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කිරිමට සැමුවෙල් මධුවන්තට හැකිවිය.

සී.ආර්. පිල නූලෙන් බේරෙයි

මේ අතර අනපේක්ෂිත අයුරින් දෙවැනි භාගයේදී නැගී සිටි පොලිස් පිල හමුවේ ලකුණු 33-31ක සියුම් ජයක් ලබාගැනීමට සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අවසන් මොහොතේදී සමත්විය. සී.ආර්.පිල ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් රැස් කළ අතර පොලිස් පිල ගෝල් 4ක් සහ දඬුවම් පහරක් රැස් කළේය.

පොලිස් පිටියේ පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 26-10කින් පෙරමුණ ගැනීමට සමත්වූ සී.ආර්.පිල දෙවැනි භාගයේදී දැඩි ප්‍රහාරයකට මැදි කළ පොලිස් පිල පිට පිට ගෝල් 2ක්ම රැස් කිරිමෙන් තරගය දැඩි ලෙස උණුසුම් විය.

එහෙත් අවසන් මොහොතේ රීසා රෆායිඩීන් තැබූ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායම 33-24කින් ඉදිරියට ගෙන ගියේය.

අවසන් මොහොතේ උත්සාහක දිනුමක් තැබීමට සංදේශ් ජයවික්‍රම සමත්වූවත් පොලිස් පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

මහනුවර පිලෙන් උත්සාහක දිනුම් 10ක්

මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය පෙරේදා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 64-12ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී මහනුවර පිල උත්සාහක දිනුම් 10 ක් තැබීම කැපී පෙනුණි. ඉන් උත්සාහක දිනුම් 7ක්ම ගෝල බවට පත් කිරීමට තිළිණ විජේසිංහ සමත්විය. ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට පැනල්ටි ට්‍රයි ගෝලයක් සහ උත්සාහක දිනුමක් ඇතුළත් විය. තරගයේ පළමුභාගය නිමාවට පත්වූයේ මහනුවර පිලට ලකුණු 45-12කින් පෙරමුණ ගෙන දෙමිනි.

මහනුවර පිල වෙනුවෙන් දනූෂ දයාන් උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්වූ අතර බුවනෙක උඩංගමුව, ධනුෂ්ක රන්ජන්, ශෙහාන් පතිරණ, අනුරුද්ධ විල්වර, යාකුබ් අලි, තරිඳු චතුරංග, නයිජල් රත්වත්ත සහ උචිත ජයසූරිය උත්සාහක දිනුම බැගින් රැස් කළහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();