Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පක්ෂය බෙදුණු හැමවිටම අසරණ වුණේ පාක්ෂිකයන්

 

ඇමැති එස්.බී දිසානායක

පක්ෂය බෙදුණු හැමවිටම අසරණ වුණේ පාක්ෂිකයන් හා පක්ෂය පමණක් බවත් මේ තත්ත්වය සියලු දෙනා තේරුම් ගත යුතු බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් මැතිවරණයෙන් පසුව වුවත් එක් කර ගැනීමට පක්ෂය සුදානම් බවද එසේ වුවහොත් 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් හදන්නට පුළුවන් වන බවද දිසානායක මහතා කීය.

හඟුරන්කෙත, මාදන්වල ශ්‍රීලනිප කාර්යාලයේ පැවති හඟුරන්කෙත ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීම අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති විදියට කරන දේවල් අද රටට හොඳින් පැහැදිලි වී තිබෙනවා. එතුමා පත් කරපු එතුමාගේ ආණ්ඩුවේ අය වරද කරපු තැන එළියට ඇදලා දැම්මා. ජනාධිපති කොමිසමක් දැම්මා. දැන් ඒ සියලු දෙනාටම නඩු දාන්න යනවා. ඒ විධියේ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, පිරිසිදු රාජ්‍ය යාන්ත්‍රණයක් , පිරිසිදු රටක් හදන්න අපි සියලු දෙනා පාක්ෂිකයන් විදියට එතුමාට ශක්තිය ලබා දිය යුතුයි. හෙටත් මේ පිරිස අපිත් එක්ක එකතු වෙයි කියන තැන අපි ඉන්නවා.

වතුකරයේ සිටින්නේත් අපි වගේම ඇට ලේ මස්වලින් හැදුණු මිනිස්සු කියලා රටට පෙන්නුවේ තොණ්ඩමන් මහතායි. එතුමාගේ පක්ෂය තමයි එදා 1994 ඉදලා පොදු පෙරමුණේ හිටපු, එජනිසයේ හිටපු ශක්තිමත්ම පක්ෂය. අදත් ඒ පක්ෂය අපිත් එක්ක ඉන්නවා. එදා ඒ පෙරමුණේ හිටපු පක්ෂවලින් 90%ක්, මහජන එකසත් පෙරමුණෙන් 60%ක්, විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයෙන් 90%ක් අපිත් එක්ක ඉන්නවා. කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී පිරිස, හිස්බුල්ලා, අතාවුල්ලා අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ ඡන්දයේ ජයග්‍රහණය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ.

පොහොට්ටු පක්ෂයට ගිහින් ඉන්න අයගෙන් බහුතරයක් තමන් ඡන්දේ ඉල්ලලා ගොඩ යා ගන්න බැරි අය. ඒ නිසා ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඟේ එල්ලිලා ඒ ජනප්‍රියත්වයෙන් දිනන්න හදනවා. ඔය පොහොට්ටු පක්ෂයේ ඉන්න 11ක් මහමැතිවරණය පැරදුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න ගියා. ඒක නැවැත්තුවේ ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක කතා කරලයි. ඒ අයගෙන් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නම් එළිවුණා. නමුත් ජනතාව තවම ඒ පිළිබඳව දන්නේ නැහැ. කොහොම වුණත් ඒ අයට අපි තවමත් ආදරෙයි. ඔවුන් අපිත් එක්ක අපේ පක්ෂය වෙනුවෙන් ඉන්න එක අපට අවශ්‍යයි. ඔවුන් අද අපිත් එක්ක හිටියා නම් මේ ඡන්දය අපිට සටනක් නොවෙයි. මොනවා වුණත් අපි හිතන්නේ මේ අය තමයි අපේ හොඳම මිත්‍රයෝ කියලා. ඒ කෙසේ වෙතත් අපිට මේ මැතිවරණයේ ජයග්‍රහණය ගැන ගැටලුවක් නැහැ.

එදා ශ්‍රීලනිපය කඩාගෙන ගිය මෛත්‍රිපාල සේනානායක, ටී.බී ඉලංගරත්න වැනි අය අසරණ වුණා. ඒ අය පක්ෂය කඩාගෙන ගියේ මේ වගේ සුළු සුළු මන්ත්‍රීවරුත් එක්ක නොවෙයි. පක්ෂයේ නියෝජ්‍ය නායකවරු, මහලේකම්වරු එක්ක පක්ෂය කඩාගෙන ගියේ. අන්තිමට මොකද වුණේ. ඒ අයත් එක්ක ගිය අය අන්ත අසරණ වුණා. පක්ෂයෙන් සමාව අරගෙන, රුපියල් දෙකේ දඩයකුත් ගෙවලයි නැවත පක්ෂයට ගත්තේ. මෙවර පක්ෂයෙන් කඩාගෙන යද්දි පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත් වත්මන් සභාපතිතුමා විසින් තනතුරින් ඉවත් කරලත් පක්ෂයෙන් ගියේ නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨම උප සභාපති හිටපු අගමැති දි.මු ජයරත්න මහතා ගියේ නැහැ. ඊළඟ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, ඒ.එච්.එම් ෆවුසි වගේ අය ගියෙත් නැහැ. ඒ නිසා අපි හෙටත් හිතන්නේ පක්ෂය සහ පාක්ෂිකයා බේරා ගන්න අපි එකතු විය යුතුයි කියලයි. එහෙම බෙදුණු හැම වෙලාවකම අසරණ වුණේ අපේ අහිංසක පාක්ෂිකයෝ. අපේ පක්ෂය පමණයි. ඒක අපි සියලු දෙනා සිහියේ තබා ගත යුත්තක් වෙනවා යැයි කීය.

හඟුරන්කෙත ශ්‍රීලනිප සම සංවිධායකවරුන් වන නාරද දිසානායක සහ ජයරත්න දිසානායක ඇතුළු ශ්‍රීලනිප බල මණ්ඩලයේ නිලධාරීන්, එජනිස අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();