අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ අපරාජිතව පෙරමුණ ගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජය තරගාවලිය නිමාවීමට තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම කුසලානය දිනා ගනී. පෙරේදා වැලිසර නාවික හමුදා පිටියේ පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 41-17කින් පරාජය කරමින් මහනුවර පිල කුසලානයට හිමිකම් කීමට සමත්විය. මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම අපරාජිත බව රැකගත් මහනුවර පිල පෙරේදා ලැබුවේ ඔවුන්ගේ 12 වැනි ජයග්‍රහණයයි. මෙවර කුසලානය සමග ලීග් තරග ඉතිහාසයේ ශූරතා 19ක් දිනාගැනීමට සමත්වූ මහනුවර පිල වැඩිම කුසලාන සංඛ්‍යාවක් දිනාගත් කණ්ඩායම ද වේ. පෙරේදා තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 34-3කින් පෙරමුණ ගෙන සිටි මහනුවර පිල තරගය නිමා කළේ ගෝල් 3ක්, උත්සාහක දිනුම් 2ක්. පැනල්ටි ට්‍රයි දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. පරාජිත නාවික හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් පමණි.
මහනුවර පිල වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ රිචඩ් ධර්මපාල, ලවංග පෙරේරා, බුවනෙක උඩංගමුව, ජේසන් දිසානායක සහ දිමිත්‍රි විජේතුංග උත්සාහක දිනුම් තැබූ අතර නයිජල් රත්වත්ත උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පත් කළේය. දුලාංජන විජේසිංහ සහ මොහොමඩ් අබ්සාල් නාවික හමුදා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් රැස් කළ අතර තිළිණ වීරසිංහ එම උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කළේය.
සී.ආර්.පිලට හැව්ලොක්ස් පරදී
මේ අතර හැව්ලොක්ස් පිලට එරෙහිව ලකුණු 30-22ක ජයක් වාර්තා කළ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මතීස් කුසලානය වසර තුනකට පසුව අත්කරගැනීමට සමත්විය.
පෙරේදා හැව්ලොක්ස් පිටියේ පැවැති මේ තරගයේ දී සී.ආර්.පිල ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් රැස් කළ අතර හැව්ලොක්ස් පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 5ක් එල්ල කළේය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-8කින් පෙරමුණ ගනු ලැබුවේ හැව්ලොක්ස් පිල විසිනි.
පොලීසියට පළමු ජය
මෙවර තරගාවලියේ මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් නොලැබූ පොලිස් ක්‍රීඩා සමාජය සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමින් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 18-12කින් පරාජය කිරිමට සමත්විය. පොලිස් පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 15-5කින් පෙරමුණ ගත් පොලිස් කණ්ඩායම තරගය පුරා ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් රැස් කළ අතර ගුවන් හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.
0 Comments