ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී මහරගම මහ නගර සභාව සඳහා තරග කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට අවසර දීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ඊයේ (19) නිෂ්ප්‍රභ කෙළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු නැත යන්න මත පෙත්සම ඉවත දමන ලදී.
එම නාමයෝජනා පත්‍රයෙහි සඳහන් කාන්තා අපේක්ෂිකාවකගේ නම ඉදිරියෙහි ස්ත්‍රී පුරුෂභාවය සඳහන් තීරුවෙහි පුරුෂ යන්න අත්වැරදීමකින් සඳහන්ව ඇති බවත්, එය එතරම් සැලකිල්ලට ගත යුතු නැති බවත් දක්වමින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂිත නිශාන්ත විමලචන්ද්‍ර, ඉනෝකා අනුරාධා රණවීර, එස්. ගුණසිංහ, ඒ. පී. ලලිත්, ඩබ්ලිව්. පී. අමරසිරි විසින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී.
මහරගම මහ නගර සභාව සඳහා තරග කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් පිරිසක් විසින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
මහරගම තේරීම්භාර නිලධාරිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පස්දෙනකු වගඋත්තරකරුවන් කොට සිටියහ.
මහරගම මහ නගර සභාව සඳහා තරග කිරීමට අපේක්ෂිත නාමයෝජනා පත්‍රය බාර දී ඇති අතර, එය කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම මත තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම නාමයෝජනා පත්‍රයෙහි තිබූ කාන්තා අපේක්ෂිකාවකගේ නම ඉදිරියෙහි ස්ත්‍රී පුරුෂභාවය සඳහන් තීරුවෙහි පුරුෂ ලෙස සඳහන්ව තිබීම ඊට හේතුව බව සඳහන් විය.
එය අත්වැරදීමකින් සිදුව ඇති බවත්, එය එතරම් සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බවත් පවසමින් මේ පෙත්සම ගොනුකර තිබුණි.
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් සඳහන් කෙළේ ඇය කාන්තා අපේක්ෂිකාවක් බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රැසක් ලබා දී තිබුණ ද ඒ සම්බන්ධව කිසිදු සැලකිල්ලක් දැක්වීමට තේරීම්භාර නිලධාරිවරයා කටයුතු නොකළ බවය.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සඳහන් කෙළේ මේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරිවරයා ගත් තීරණය නිවැරැදි බවය. එම නාමයෝජනා පත්‍රය මැතිවරණ නීතියට අනුකූලව නොතිබීම නිසා එය ප්‍රතික්ෂේප කර ඇති බව ඇය සඳහන් කළාය.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ හේතු නොමැති බවට තීරණය කෙළේය.
0 Comments