* බදුල්ල දිස්ත්‍රික්කය දියුණු කරන්න අපට අලුත් සැලැස්මක් තිබෙනවා
* අප නිදි නැති බව ඌව පළාතේ පිස්සු නටන සියලු දෙනාට මම ප්‍රකාශ කරනවා
- ඇමැති හරීන් ප්‍රනාන්දු
අතීතයේ සිට රටට කඩිනම් සංවර්ධනයක් ලබා දුන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමෙන් ජනතාවට විශාල සේවයක් සිදු වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අගමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා(25) බදුල්ල වීල්ස් පාක් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැලියට සහභාගි වෙමිණි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැලිය පැවැත් විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.
මෙම රැලියට සහභාගී වීමට පැමිණි සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. සෑම මැතිවරණයක් තියන අවස්ථාවකම බදුල්ලේ ජනතාව මෙවැනි විශාල රැලිවලට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙනවා. අපගේ පණිවුඩය ජනතාව අතරට ගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙනවා. මම ඒ පිළිබඳව බදුල්ලේ ජනතාවට කෘතඥතාවය පුද කරනවා.
මේ ආණ්ඩුව ඇති කිරීමට බදුල්ලේ ජනතාව ලබා දුන් සහයෝගය විශිෂ්ඨයි.හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී එම පළාත් සභා ඡන්දයේදී බදුල්ලේ ජනතාවට නායකත්වය ලබා දුන්නා. එහි ප්‍රතිඵලය දැක්ක මහින්ද රාජපක්ෂ මහතා බය වුණා. විදේශවලින් ලබාගත් ණය ගෙවා ගන්න නොහැකිව ඒ වනවිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිරවී සිටියා. ඊළඟ අවුරුද්ද වන විට ආණ්ඩුව ගෙන යන්නේ කෙසේද කියන ගැටලුව ට ඔවුන් මුහුණ පා සිටිනවා. 2015 ජනාධිපති මැතිවරණය අප ජයග්‍රහණය කළා. මහ මැතිවරණයද ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණ ලබමින් රටේ සංවර්ධන කටයුතු ඇරැඹුවා. අපට කෙසේවත් බදුල්ලේ ජනතාව අමතක කරන්න බැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අප වෙනුවෙන් කළ සේවය අමතක වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ පාලනයේ ක්‍රියා කලාපය දැන ගෙනයි අප රට බාර ගත්තේ. එම ආණ්ඩුව පාරවල් ගොඩනැගිලි සෑදීමට විශාල ලෙස ණය ලබා ගත්තා. ණය ගෙවන්න බැරි තැන තමයි ඔවුන්ට ආණ්ඩුව දාලා යැමටත් සිදු වුණේ.
2015 ජනවාරි 8න් පසු රාජපක්ෂ පාලනයේ ණය බර ගෙවමින් රට සංවර්ධනය කිරීමට අපට සිදු වුණා. ණය ගෙවීම පහසු වීමට අප ආදායම් මාර්ග වැඩි කිරීම ආරම්භ කළා. වියදම් අඩු කරන්න පටන් ගත්තා .එම නිසා 2017 වන විට ණය ගැනීමේ ශක්තිය ඇති වුණා. නව ආර්ථික වැඩසටහන් හදුන්නවා දුන්නා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා බහ කර විවිධ එකඟතාවන්ට පැමිණියා. ආධාර ලබා ගත්තා. මේ නිසා රට ඉදිරියට ගෙන යැමට අපට හැකි වී තිබෙනවා. අප බදුලු දිස්ත්‍රික්කය සංවර්ධනය කළ යුතුයි. රජයට ආදායමක් නැත්නම් මුදල් නැත්නම් රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ වගේම අප අවුරුද්දක් දෙකක් නොපෙනෙන සංවර්ධනයක් සිදු කළා. එහි දී සිදු වුණේ ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමයි. එය ඇහැට පෙනෙන්නේ නැති වුණාට රට සංවර්ධනය කිරීමට මුදල් ලැබුණා.
බදුල්ල දිස්ත්‍රික්කය දියුණු කරන්න අපට අලුත් සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා හම්බන්තොට දියුණුව මොනරාගල, බදුල්ල දක්වා රැගෙන ආ යුතුයි. හම්බන්තොට නැව් නැති වරායක් අප බාර ගත්තා. වත්මන් ආණ්ඩුව ලබා දුන් විසඳුම් නිසා ඉදිරියේ දී එයට නැව් පැමිණෙනවා. එහි තෙල් පිරිපහදුවක් හදනවා. එම ප්‍රදේශයේ විදුලි බලාගාරයක් හදනවා. සිමෙන්ති කර්මාන්ත ශාලාවක් හදනවා. තවත් විවිධ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරනවා. එමඟින් එම ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේවල රැකියා දහස් ගණනින් බිහි වෙනවා.
වර්තමාන තරුණ පරපුරට රැකියා පිළිබඳව විශාල බලාපොරොත්තු තිබෙනවා. එම බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ආණ්ඩුවක් ලෙස යුතුකමක් තිබෙනවා. මම මෙම ස්ථානයට ඒමට පෙර තරුණයන් කිහිප දෙනෙකු සමඟ කතා බහ කළා. එක් තරුණයකු ප්‍රකාශ කෙළේ තමන් රැකියාවක් කරන නමුත් බලාපොරොත්තු වන්නේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් බවයි. මෙවැනි ප්‍රශ්න අපේ තරුණ තරුණියන්ට තිබෙනවා. තමන් කැමති රැකියා ලබා ගැනීමේ ගැටලුවට ඇතැම් පිරිස් මුහුණ පා තිබෙනවා. මෙවැනි ගැටලුවලට අපි පිළිතුරු ලබා දිය යුතුයි. තරුණයින්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන රැකියා බිහි කළ යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් නැත්නම් සංවර්ධනයක් සිදුවෙන්නේ නැත්නම් මේවා කරන්න බැහැ. රැකියා බිහි කරන්න අපට කර්මාන්ත ශාලා අවශ්‍යයි. සංචාරක ව්‍යාපාරය අවශ්‍යයි. වෙළෙඳ ව්‍යාපාර තිබිය යුතුයි. නවීන තාක්ෂණය අවශ්‍යයි. දෙස් විදෙස් අයෝජකයින්ගේ සහාය ලබා ගත යුතුයි. එම තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට පසුගිය අවුරුදු දෙක තුළ අප කටයුතු කළා.
පසුගිය කාලයේ රට පාලනය කළ රාජපක්ෂ රෙජීමය රටේ ආර්ථිකය විනාශ කර තිබුණා. ලෝකයේ සහ ලංකාවේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික ක්‍රමය පිළිබඳව විශ්වාසයක් නැති වුණා. වත්මන් ආණ්ඩුව එම තත්ත්වය නැතිකර රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා බිහි කරන ආර්ථිකයක් නිර්මාණය කරමින් තිබෙනවා. හම්බන්තොට වරාය වටා විශාල සංවර්ධනයක් ඇති කරනවා. අහස් යානා පැමිණෙන්නේ නැතිව මොණරු සිටින මත්තල ගුවන්තොටුපොළේ ගැටලුව ද අප විසඳනවා. හම්බන්තොට වරායේ ගැටලු විසඳීමේ දී චීනය සමඟ සාකච්ඡා කළා. ඒ නිසා අපට හවුල් ව්‍යාපාරයක් ඇති කිරීමට හැකි වුණා. ඔවුන් අප සඳහා ගෙවිය යුතු බදු මුදල් ද ලබා දුන්නා. එය ඉතා ප්‍රයෝජනවත්. මත්තලටත් එවැනි දෙයක් අප සිදු කරනවා. අප කර්මාන්ත ශාලා ඇතිකර රැකියා බිහි කළ යුතුයි. සමහර කර්මාන්ත ශාලා බණ්ඩාරවෙල , බදුල්ල ප්‍රදේශවල ඇති කළ යුතුයි.සංචාරකයින් විශාල ලෙස බදුල්ල, බණ්ඩාරවෙලට පැමිණෙනවා. සංචාරක සැලැස්මක් හදලා ඇල්ල නගරය දියුණු කරනවා. බදුල්ල ,බණ්ඩාරවෙල සංචාරක නගර කරනවා. ඒ වගේම මෙම නගර වාණිජ නගර ලෙස දියුණු වෙනවා. ඒ නිසයි හොඳ පුද්ගලයකු බදුල්ලේ නගරාධිපති කළ යුත්තේ. මෙම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. බන්ධනාගාරය ඉවත් කර එතැන විශාල වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කරන්න පුළුවන්. බණ්ඩාරවෙල නගරයේ තවත් ගොඩනැගිලි ඉදි කළ යුතුයි. බදුල්ල සහ බණ්ඩාරවෙල දියුණු කළාම එහි ප්‍රතිලාභය බදුලු දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබෙනවා. ස්වයං රැකියා අවස්ථා ද විශාල ලෙස උදා වෙනවා. වත්මන් ආණ්ඩුව රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාරගෙන ක්‍රියා කරනවා. කවුරුවත් හිතුවේ නැහැ හම්බන්තොට සහ ඌව අපට සංවර්ධනය කරන්න හැකි වෙයි කියා. සංවර්ධන කටයුතු නියමාකාරයෙන් අප ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය 1977 දී වෙළෙඳ කලාප ඇති කළා. එම හේතුවෙන් අදාළ ප්‍රදේශ විශාල ලෙස දියුණු වුණා. එම ප්‍රදේශවල කර්මාන්ත ශාලා ඉදි වෙලා තිබෙනවා. රටේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර ට ගෙන ගියා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනමින් ක්‍රියාත්මක කළා. ඒ ආකාරයෙන් අතීතයේ ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයට ඌවේ ආර්ථිකය ශක්තිමත් කිරීම අභියෝගයක් නොවේ. සංවර්ධනය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ගමේ ආණ්ඩුව මෙන්ම නගරයේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට තිබීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. එම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගමේ සහ නගරයේ ආණ්ඩු එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න කියා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බන්ධනාගාරය ඉවත් කර වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට නම් අපට බලයක් තිබෙන්න ඕනෙ. නගරයේ බලය අපට නැතිනම් සිදු වෙන්නෙ කුමක්ද?. එවිට සංවර්ධන ක්‍රියාවලියේදී කඹ ඇදිල්ලක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කණ්ඩායම් සිදු කරයි. අපට එරෙහි කණ්ඩායමක් ඇල්ල ප්‍රදේශයේ සිටියොත් කුමක්ද සිදු වෙන්නෙ. ඔවුන් අපගේ සංවර්ධන යෝජනා ඉවත් කිරීමට කටයුතු කරයි. ඒකයි අප කියන්නේ අපට බලය ලබා දෙන්න කියා. සංවර්ධන කටයුතු සිදු කරන්න විරුද්ධ පාක්ෂිකයන්ට මුදල් නැහැ. පොහොට්ටුවට පුළුවන්ද මේ රටේ සංවර්ධනයට සල්ලි ගෙනත් දෙන්න. රට සංවර්ධනය කළ හැකි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන්න කියලා මෙම ප්‍රදේශවල ජීවත්වන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයට රට සංවර්ධනය කිරීමට සැලසුමක් තිබෙනවා. මුදල් තිබෙනවා. හැකියාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හැකියාව ගමට ගෙන එමු. ගම සංවර්ධනය වන විට අප යන මාර්ගය ඉතාමත්ම ශක්තිමත් වෙනවා. ඌව පළාතට, බදුල්ලට විශාල සංවර්ධනයක් ඇති කරමු. මෙම අවස්ථාවට රැස් වෙලා සිටින සියලු දෙනා උත්සාහ කරන්නේ තමන්ට යහපත් අනාගතයක් උදාකර ගැනීමටයි. ඒ සඳහා නගර සභා ප්‍රාදේශීය සභා බලය එක්සත් ජාතික පක්ෂයට තිබුණොත් ජනතාවට ශක්තිමත් අනාගතයක් නිර්මාණය කර දීමට හැකියි. ඒ පිළිබඳව මෙම ප්‍රදේශවල ජනතාව ඉතා ගැඹුරින් කල්පනා කරන්න කියලා මම ඉල්ලනවා. අප ආරම්භ කර තිබෙන සංවර්ධනය ඉදිරියට ගෙන යමු. නිදහස් සමාජය ඉදිරියට ගෙන යමු. අාමාරු කාලය අවසන් කියලා මම ප්‍රකාශ කරනවා. 2025 දී දියුණු ලංකාවක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් අප ගමන් කරනවා.
ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-අප නිදි නැති බව ඌව පළාතේ පිස්සු නටන සියලු දෙනාට මම ප්‍රකාශ කරනවා. මොන යකාව හරි එළවන් අප සූදානම්. පළාත් සභාවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය අප සැම දෙනාම දන්නවා. අපේ උපාලි මන්ත්‍රීවරයා රෝහල් ගත කර තිබෙනවා. අප ගෙනාපු යහ පාලනය වහ පාලනයක් වෙමින් තිබෙනවාද කියා විමසිලිමත් විය යුතුයි. ඉතා කැපවීමෙන් තමයි අප මේ ආණ්ඩුව ගෙන ආවේ . මෙම ඡන්දය ඉතා වැදගත් බව බදුල්ල ජනතාව තේරුම් ගන්න ඕනෙ. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ගමේ බලය එක්සත් ජාතික පක්ෂය ඉල්ලන්නේ අපේ ආණ්ඩුවක් හැදීමේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නයි. අගමැතිතුමා ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට වෙනුවෙන් විශාල සංවර්ධනයක් කිරීමට සූදානම්. ඉදිරි ඡන්දයකදී මම ගමට පැමිණෙන්නේ ගමේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කර බව ප්‍රකාශ කරනවා. එක පාරට රටක් සංවර්ධනය කරන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ආවේ අපි. මෙම ප්‍රදේශවල සිටින වතු ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව එදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ජන්දය ලබා දුන්නේ විශාල බලාපොරොත්තුවකින්.
ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉදිරිපත් වන්නේ දෙකඩ බෙදිලා. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ වගේම මේ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන හැරවුම් ලක්ෂයක් ලෙස හඳුවන්න පුළුවන්. අගමැතිතුමාගේ උපදෙස් මත රට හදන වැඩපිළිවෙළ අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී ජාත්‍යන්තරව අපේ රට හිර වෙලයි තිබුණේ. එම ආණ්ඩුව ලබාගත් ණය ගෙවීමට සිදු වුණේ වත්මන් ආණ්ඩුවටයි. මම මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. දැනුම පදනම් කරගත් සහ රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය පුද්ගලයින් අප බිහි කළ යුතුයි.
රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා-ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉතා හොඳින් සුදානම් වනවා. මෙම අවස්ථාවට සහභාගි වන අධ්‍යාපන ඇමැතිතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ ඌව පළාතේ දරුවන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා- අප මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබා දෙමු. බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ, මුස්ලිම් බහුතර ජනතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වනවා.
ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා. මු රත්නායක මහතා-මෙම රැළියට පැමිණ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජීවයයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අලියා ලකුණට ඡන්දය ලබාදෙන කණ්ඩායමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අද සිටින්න ඕනේ මෛත්‍රී ජනාධිපතිතුමා අසල පුටුවක.
හාලි ඇළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා-අගමැතිතුමා ගමේ සංවර්ධනයට විශාල ලෙස මුදල් ලබා දෙනවා. මගේ ප්‍රදේශයේ විවිධ තනතුරු දරන ඇතැම් දේශපාලනඥයන් කිසිම වැඩකට නැහැ. මම අගමැතිවරයාගේ උපදෙස් මත මගේ ප්‍රදේශය සංවර්ධනය කරනවා.
හපුතලේ ආසන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සෙනෙරත් ජයසූරිය මහතා-අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව මා ප්‍රකාශ කරනවා.
කදුරට පෙරමුණු නායක පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා-වතුකරයේ සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ස්ථිරයි.
ඌව පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති උපාලි සමරවීර මහතා-
ඌව පළාත් සභාවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව වීඩියෝ දර්ශනයක් මීට ටික වේලාවකට පෙර මෙම රැස්වීමට පැමිණි අපේ පාක්ෂිකයින්ට දැන ගැනීමට ලැබුණා. මේවා ඉතා අශෝභන ක්‍රියා වශයෙන් හදුන්වන් පුළුවන්.
ඌව පළාත් සභා මන්ත්‍රී එම්. සචිතානන්දන් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප-හිරන්ත ගුණතිලක

0 Comments