ජයසිරි මුණසිංහ සහ වැල්ලවාය - ජී. අයි. ආර්. ගුරුසිංහ වැල්ලවාය සිට
අපේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ මහජන දේපොළ, ජාතික සම්පත් මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙනයෑමට අප කටයුතු කරන අවස්ථාවේ, ඉන් ගැලැවීමට ආපසු හැරෙන්න කියා ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නා බවත්, ඒවාට ජනතාව නොරැවටෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට බුලත් කොළය ලකුණින් ඉදිරිපත්වී සිටින මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලිය ඊයේ (19) සවස පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
එදා 2015 ජනවාරි 08 වැනිදා අපේ රටේ ජනතාවට වැරදුණු බව මේ අය කියනවා. එසේ කියා ජනතාව රවටන්න හදනවා. ආයේ නිවැරදි වෙන්න පෙබරවාරි 10 ඡන්දය ඒ අයට දෙන්න කියනවා. ඒක පට්ටපල් බොරු කතාවක්. ජනවාරි 08 අපේ රටට වැරදුණේ නැහැ. වැරදුනේ හොරුන්ට, මංකොල්ලකරුවන්ට.
අපේ රටේ ජාතික සම්පත් මංකොල්ලකෑ අය නැවත බලයට ආවොත් එක්කෙනෙකුටවත් දඬුවමක් දෙන්න බැරි වෙනවා. ඒ අය නීතිය ඉදිරියට ගෙනියන්න බැරිවෙනවා. නඩුවල සාක්ෂි විනාශ කරනවා. ඒ නිසා නැවැත ඒ අයට බලය දෙන්න එපා.
බලය අයුතු ලෙස පාවිච්චි කරලා රටට කළ විනාශය අතිවිශාලයි. බැඳුම්කර හොරුත්, ඊට එහා 2008 – 2014 හොරුත් ඔක්කෝටම මම දඬුවම් ලබා දෙනවා.
ඇමැතිනි සුමේධා ජී. ජයසේන, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක, වැල්ලවාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් පුෂ්පකුමාර, හිටපු පා. මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ, පළාත් සභා මන්ත්‍රී චන්දන වැලිවිට යන මහත්වරු මෙහිදී කතා කළහ.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, ඇමැතිවරුන් වන එස්. බී. දිසානායක, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ඌව පළාතේ මැති ඇමැතිවරු, අපේක්ෂක අපේක්ෂිකාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
0 Comments