Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘බංකොළොත් දේශපාලනඥයෝ රණවිරුවන් අවියක් කරගෙන’

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

තම ගැටලු විසඳිය හැකි බවට විශ්වාස කළ හැකි එකම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර දේශපාලන බංකොලොත් බවට පත් වූවන්ගේ අවියක් ලෙස රණවිරුවන් පාවිච්චි කිරීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙස සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව ආබාධිත රණවිරුවන්ගෙන් ඉල්ලා සිටී.

ජීවත්ව සිටින තෙක් ආබාධිත රණවිරුවන්ට වැටුප ගෙවන ලෙසත් වසර 55 සපිරුණු පසු එය නැවැත්වීම වලකන ලෙසත් කළ ඉල්ලීම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන බවට තම කණ්ඩායම තරයේම විශ්වාසය කරන බව ද සඳහන් කළහ.

රාජගිරිය වැලිකඩවත්ත ප්‍රදේශයේ ඊයේ (11) සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේ දී ත්‍රිවිධ හමුදා හා පොලිස් දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ රටපුරා ඇති ශාඛාවල සභාපතිවරු මෙසේ අදහස් පළ කළ අතර එහි දී සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ සභාපති අනුර වැලිගමගේ මහතා මෙසේ පැවසීය.

විශේෂ වෛද්‍ය මණ්ඩලය මගින් 2013 දි නිර්දේශ කළ අයුරින් අප ජීවත්වන කාලයටම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසයි අප ඉල්ලා සිටින්නෙ. ඒ සඳහා පවතින රජය සමඟයි අප එක්ව කටයුතු කළ යුතු වන්නේ. පසුගිය කාලයේ කළ සාකච්ඡාවලින් අපට නිසි පිළිතුරු නොලැබුණත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 අනුරාධපුරයේ පැවැත් වූ රැලිය අවස්ථාවේ අප ජනාධිපති වෙත ලිපියක් බාර දුන්නා. එවලේම ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා කර මේ කාර්යය සිදු කිරීමට තමා දැනටමත් පියවර ගෙන ඇති බව පෙන්වා දී අදාළ නිලධාරීන් සමඟ එම අවස්ථාවේ දීම දුරකථනයෙන් සම්බන්ධව මේ කාර්යයට නිසි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නා.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විදෙස් ගතව ඇති බැවින් නැවත පැමිණි වහා අප සමඟ සාකච්ඡාකර අවශ්‍ය කටයුතු කරන බවට පොරොන්දු වුනා. මේ අනුව මෙවර අපේ ගැටලුවට පිළිතුරු ලැබේවි කියා අප විශ්වාස කරනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (11) උදේ ජනාධිපති කාර්යාලයේ දීත් සාකච්ඡාවක් පැවැත් වුනා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා අප සමඟ මේ ගැටලුව විසඳා ගැනීමට නැඟී සිටිය යුතුයි.

අප ජාති භේද නොසලකා මේ රටේ සියලු අයගේ නිදහස වෙනුවෙන් ඇඟ පසඟ පූජාකර රණවිරුවන් මහ පොළවට මිහිදන් කළේ. ඒ සඳහා අප වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අද ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ආබාධිත අපට වෙනුවෙන් අවසානය දක්වාම වැටුප ගෙවීමට පියවර ගන්නා ලෙසයි අප ඉල්ලා සිටින්නෙ. සිටින හා සිටි සියලු නායකයන් එක්ව මේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න කියා අපේ ඉල්ලීම.

අපේ ආබාධිත රණවිරු එකතුවේ රණවිරුවන්ගෙන් මා විශේෂයෙන් ඉල්ලා සිටිනවා කිසිදු පක්ෂයකට ගැති නොවී පවතින රජය සමඟ සාකච්ඡා කර ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරමු කියා. පහත් දේශපාලන වුවමනාවලට හසු නොවී රණවිරුවාගේ ගෞරවය පාවා නොදී ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුයි. දේශපාලන බංකොලොත් බවට පත් වූවන් රණවිරුවන් අවියක් ලෙස පාවිච්චිකර අතහරිනවා. ඒ නිසා පවතින රජය සමඟ කටයුතු කිරීමයි අප කළ යුතු වන්නේ.

අපේ නීතියත් පවතින රජය සමඟ කටයුතු කිරීමයි. සමහර අය එක එක සංගම් පිහිටුවාගෙන අපේ ගෞරවය කෙලසා ගන්න හදන බව පෙනී යනවා. ඇස්, මස්, ලේ දන් දුන් අපට මේ අයිතිය ලබා දෙන්න කියා ඉල්ලා සිටින්න අයිතිය තිබෙනවා.

අපට විශ්වාසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගැටලුවට කඩිනමින් විසඳාවි කියා. ආබාධිත රණවිරුවන්ගෙන් අප ආයාචනා කරනවා සාමකාමීව සම්මුතියෙන් මේ ගැටලුවට විසඳුම් සොයා ගත හැකි බැවින් එසේ කටයුතු කිරීමට එක්වන ලෙස. විකල්ප ක්‍රියා මාර්ග වෙත නොයා ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ අභිමානය රැකගෙන කටයුතු කරමු.

සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ ලේකම් නාමල් නිශාන්ත කුමාර මහතා - අපට අත්වාරුවක් නැති සැඳෑ සමයේ දී සතුටින් සිටීමට උපකාර කරන ලෙසයි අප ඉල්ලා සිටින්නෙ. රට වෙනුවෙන් ජාති කුල ආගම් නොසලකා සෑම පුරවැසියකු වෙන්වෙන්ම කටයුතු කරන්නට ඉදිරිපත් වීම නිසයි අපට ගැටලුවක් ඇති වී තිබෙන්නෙ. වර්තමාන ජනාධිපතිවරයා පිළිගන්නවා මේ ගැටලුවට විසඳුම් ලබා දීම රජයේ යුතුකමක් බව. ඒ අනුව එතුමා මේ ගැටලුව කඩිනමින් විසඳාවි කියා අපට විශ්වාසයි. වර්තමානයේ බලයේ සිටින නායකයාටයි අපේ ප්‍රශ්නය විසඳිය හැක්කේ. පවතින ආණ්ඩුවෙන් පරිබාහිරව ගොස් ගැටලු විසඳා ගන්න නොහැකියි. අපේ යුතුකම අපි ඉටුකර තිබෙනවා. වෙනත් කාගෙවත් අතකොළුවක් බවට අප පත්විය යුතු නැහැ. සියලු රණවිරුවන් එක්ව අත්වැලි බැඳගෙන මේ ගැටලුව විසඳා ගැනීමට ක්‍රියාකරමු.

එක ප්‍රශ්නයයි අපට තිබෙන්නෙ මේ වන විට අනෙකුත් ගැටලු විසඳා අවසන්. මේ ගැටලුවට මැදිහත්ව විසඳන්න කියායි අප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලන්නෙ.

සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක උපාලි දයානන්ද, දිවි පිදූ හා ආබාධිත පොලිස් රණවිරු සංගමයේ එස්.ඩී.වික්‍රමපාල මහත්වරු ද මෙහි දී අදහස් දැක් වූහ. රටපුරා ඇති සමස්ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුවේ සංගම් 18ක සභාපතිවරු හා පොලිස් දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුවේ ක්‍රියාකාරිකයින් ද මේ අවස්ථාවට එක්ව සිටිය හ.

ඡායාරූපය - රොෂාන් පිටිපන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();