රටේ ජනගහනයෙන් සියයට 70ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ මානව හිමිකම් අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව ප්‍රාදේශීය කාර්යාල 7ක් රටේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි.
සිවිල් ජනතාව සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ කමිටුවක් පිහිටුවන ලෙස ප්‍රාදේශීය කාර්යාල සියල්ලටම උපදෙස් ලබා දී තිබෙන බවද ඊට අමතරව අදාළ රජයේ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවන ලෙස උපදෙස් ලබාදී තිබෙන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ප්‍රකාශ කරයි.
සභාපතිනිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ ද පෙරේදා(04) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඇය මෙසේද කීවාය.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 10ක් මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා. ඊට අමතරව තවත් ප්‍රාදේශීය කාර්යාල 7ක් පිහිටුවන්න තීරණය කර තිබෙනවා. කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ මහජනතාවගේ ඉල්ලීම් අනුව මේ කාර්යාල පිහිටුවන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය, රත්නපුර, පුත්තලම, මොණරාගල, පොළොන්නරුව, මුලතිවු ප්‍රදේශයන්හි මේ කාර්යාල ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ගාල්ලේ උප කාර්යාලයක් ද ආරම්භ කරන්න සැලසුම් කර තිබෙනවා. මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම්විට පරිපාලනමය ගැටලු, බාධා ඇති වෙනවා. ගොඩනැගිලි පහසුකම් ආදිය ප්‍රමාණවත් නැහැ.
ස්වාධීන කොමිෂන් සභාවල පවතින යල්පැන ගිය රෙගුලාසි හේතුවෙන් කඩිනමින් ජනතාවට අවශ්‍ය සේවය සලසන්න අපහසුයි. කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ ප්‍රමාද තිබෙනවා. සාධාරණ කාලයක් තුළ සහන නොලැබෙන බවට ජනතාව චෝදනා කරනවා. නමුත් මානව සම්පතේ විශාල හිඟයක් තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සිවිල් ජනතාව සමඟ සබඳතා ගොඩනගා ගන්න අපේක්ෂා කරනවා. රටේ ජනතාවගෙන් සියයට 70ක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි. ඒ නිසා ප්‍රාදේශීය කාර්යාල සියල්ලටම අපි උපදෙස් ලබා දී තිබෙනවා. සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ කමිටුවක් පිහිටුවන්න. ඊට අමතරව අදාළ රජයේ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවන්න උපදෙස් දී තිබෙනවා. එම කමිටු මාස දෙකකට වරක් හෝ රැස්විය යුතු වෙනවා.
පසුගිය 2016 වසරේ දී අපි අපේ උපාය මාර්ගික සැලසුම් පිළිගත්තා. ඒ අනුව තේමා කිහිපයක් යටතේ උප කමිටු කිහිපයක් පත්කරන්න පියවර ගෙන තිබෙනවා. එක් එක් තේමාව යටතේ මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබෙන අතර කොමසාරිස්වරුන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් එම කමිටුවල සාමාජිකයන් වශයෙන් ක්‍රියාකරනවා. වධහිංසා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සංක්‍රමණික සේවක අයිතිවාසිකම්, වැඩිහිටි අයිතිවාසිකම්, ලිංගිකත්වය, ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්, අධ්‍යාපන ප්‍රතිපත්තිය, ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආදී තේමා යටතේ මේ උප කමිටු පිහිටුවා තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ ව්‍යාජ ආකාරයෙන් මානව හිමිකම් කොමිසන් සභාව ලෙස පෙනී සිටින ආයතනවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට විවිධ අපහසුතා සිදුව තිබෙනවා. ඇතැම්විට පැමිණිලි ඉදිරිපත් කරන්න කියා අයැදුම්පත් ලබාදී ජනතාවගෙන් මුදල් ගන්නා අවස්ථා ආරංචි වෙනවා.
මෑතක දී වාර්තා වුණු විවිධ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අප වෙත පැමිණිලි කිරීමට ප්‍රථම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා. අද රටේ පවතින තත්ත්වය අනුව ජනතාව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට උත්සුක වෙනවා. අද වනවිට අපේ රටේ දණ්ඩනයක් නොමැති නම් නීතිය ක්‍රියාත්මක වීමේ බාධා දකිනවා. රටක දියුණුවට ආර්ථික සමාජයීය අයිතීන් ද බලපානවා. මේ සම්බන්ධයෙන් උතුරු හැ නැඟෙනහිර පළාත්වලින් විවිධ පැමිණිලි ලැබෙමින් තිබෙනවා. ඉඩම්, ජීවිකාව පවත්වාගෙන යාම, නැවත පදිංචි කිරීම මෙන්ම කාන්තා මූලික කුටුම්භ ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ වත්මන් මැතිවරණ නීතිය අනුව සියයට 25ක පමණ කාන්තා නියෝජනයක් තිබීමෙන් දැනට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙයි කියා විශ්වාස කරනවා. පසුගිය කාලයේ සිදුකරන ලද උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වයට විවිධ බාධා ඇතිව තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන ඡන්දය සම්බන්ධයෙන් වන උපදේශන මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කොට තිබෙනවා. රජයේ නිලධාරීන් මේ ඡන්දයේ දී කටයුතු කරන ආකාරය සොයා බලනවා. එක් එක් අපේක්ෂකයන්ට පක්ෂව නීතිය ක්‍රියාත්මක කරනවා ද යන්න සම්බන්ධයෙන් සොයා බලනවා. නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන්න හොඳ නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා.
රජය විසින් මෑතක දී ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක් පිළිගත්තා. එය සාධනීය වර්ධනයක් ලෙස අපි දකිනවා. ජාත්‍යන්තර වධ හිංසාව තුරන් කිරීමේ අතුරු ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙනවා යැයි පැවසුවාය.
කොමසාරිස්වරුන් වන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ අම්බිගා සත්ගුණනාදන් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මහින්ද අලුත්ගෙදර සහ චන්දිමා කරුණාරත්න
0 Comments