Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළු සල්ලි සුදු කිරීම වළක්වන්න පනත් 5ක් සංශෝධනයට

Author(s): 
ජයසිරි මුණසිංහ

කළු සල්ලි සුදු කිරීම (මුදල් විශුද්ධිකරණය) සහ ත්‍රස්තවාදයට මුදල් සැපැයීම වැළැක්වීම සඳහා දැනට පවතින පනත් පහක් සංශෝධනය කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග රැසක් මේ වසරේ (2018) ගන්නා බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2016 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ වසර 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අන්තර්ජාතික නිර්දේශ මත පදනම්ව සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගනු ලැබේ.

ඊට අමතරව සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතා පනත (Mutual Assistance In Criminal Matters Act), රාජ්‍ය නොවන සංවිධාන පනත සහ භාරකාර ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කිරීමට තමන් පහසුකම් සලසන බව ද අධිපතිවරයා කීය.

වඩාත් ආරක්ෂිත හා ශක්තිමත් මුදල් ක්‍රමයක් රටේ ස්ථාපිත කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව දෙස් විදෙස් උපදේශකයන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මේ ජාතික අවශ්‍යතාවයක් වන සුබ වැඩපිළිවෙළ මේ වසර තුළදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද අධිපතිවරයා කීය.

මීට වසර හතරකට පෙර (2014) ප්‍රධාන පාර්ශ්වකරුවන් නියෝජනය කරන වෘත්තීයවේදීන් 70 කට අධික පිරිසකගේ සහයෝගය ඇතිව මුදල් විශුද්ධිකරණයට හා ත්‍රස්තවාදයට මුදල් සැපැයීම වැළැක්වීම සඳහා අවදානම් ඇගැයීම් (National Risk Assessment) වැඩමුළුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලදී. එහි දී එළැඹුණු ජාතික අවදානම් ඇගැයීමේ වාර්තාවේ නිර්දේශ යාවත්කාලීන කිරීම මේ වසරේ සිදුකරන බව අධිපතිවරයා සඳහන් කෙළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධ දත්ත සඳහා තනි දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශ්වකරුවන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ සම්බන්ධීකරණය සිදුකිරීමට ද මහ බැංකුව සූදානම් වී ඇත.

සමූල ඝාතක අවි ව්‍යාප්තිය සඳහා මුදල් සැපයීම (Proliferation Financing) හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති (VNSCR 1718 and VNSCR 2231) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, අනෙකුත් පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කිරීම ද මහ බැංකුව විසින් සිදුකරන බව අධිපතිවරයා කීය.

මේ ක්‍රියාමාර්ගයන්ට අමතරව ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව එග්මන්ට් සමූහය (Egmont Group) ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ද ඉදිරියේ දී සම්බන්ධීකරණය කරන බව ද අධිපතිවරයා අවධාරණය කෙළේය.

මූල්‍ය කාර්ය සාධක බළකායේ (Financial Action Force) නිර්දේශ අඛණ්ඩවත්, වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමත් තමන් විසින් සිදුකරන බව ද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();