ජාතික නෙට්බෝල් පුහුණුකරු ධුරයට සුදුස්සෙකු පත්කර ගැනීමේ ක්‍රියා පටිපාටිය ක්‍රීඩා පනත හා නෙට්බෝල් ව්‍යවස්ථාව අනුව සිදුව ඇතැයි මිල්ටන් අමරසිංහ කමිටු වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස දැනට බෘෘනායි රටේ සිටින තිලකා ජිනදාස මෙනවියගේ පත්වීම නීත්‍යානුකූල බවට තහවුරුවී ඇත.
තිලකා ජිනදාස මෙනවියගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා ඇමැති දයිසිරි ජයසේකර මහතාට හිටපු ජාතික පුහුණුකාරිනියන් වන හයසින්ත් විජේසිංහ හා සොමිතා ද අල්විස් යන මහත්මීන් කරන ලද පැමිණිල්ල සලකා බලා ක්‍රීඩා ඇමැති උපදේශක මිල්ටන් අමරසිංහ මහතාව ඒක පුද්ගල පරීක්ෂණ මණ්ඩලයට නම් කළ අතර දින කිහිපයකදී කරුණු විමසා සකස් කළ වාර්තාව ක්‍රීඩා ඇමැතිවරයාට ඊයේ භාර දුන්නේය.
එම වාර්තාව අනුව නෙට්බෝල් පුහුණුකාරිනිය තේරීමේ ක්‍රියා පටිපාටිය නිවැරදි බවත්, ක්‍රීඩා ඇමැතිවරයාගේ හා නෙට්බෝල් විධායක සභාවේ අනුමැතිය ඒ සඳහා කලින්ම ලබාගෙන ඇති බවත් සඳහන් වේ. එබැවින් නෙට්බෝල් පුහුණුකාරිණිය තෝරා ගැනීමේ දෝෂයක් නොමැති බවට කමිටු වාර්තාවේ නිර්දේශයවී ඇත.
කෙසේ වුවද මේ තීරණය පිළි ගැනීමට සූදානම් නොමැති බව හයසින්ත් විජේසිංහ මහත්මිය පැවැසුවාය. ඇය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥ ප්‍රතිභා මහානාම මහතාගේ උපදෙස් පරිදි අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඇය සඳහන් කළාය. පරීක්ෂණය විධිමත්ව සිදු නොවූ බව ඇයගේ අදහසවී තිබේ.
ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය තෝරා ගැනීම උදෙසා සම්මුඛ පරීක්ෂණ පසුගියදා පැවැති අතර සඳහා හයිසින්ත් විජේසිංහ මහත්මිය හා තවත් හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනියක්වූ සොමිතා ද අල්විස් මහත්මිය එම පරීක්ෂණයට පෙනී සිටියහ. දැනට බෲනායිහි රාජ්‍යයේ ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස සිටින තිලකා ජිනදාස මෙනවිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ මේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවාය.
මේ සම්මුඛ පරීක්ෂණයයේදී වැඩිම ලකුණු ලබා ගත් බව කියන තිලකා ජිනදාස මෙනවිය නව ජාතික නෙට්බෝල් පුහුණුකාරිනි ලෙස නිර්දේශ කිරීමට නෙට්බෝල් සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවීමත් සමගම ක්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතා ලැබිණි.
ඇගේ විරෝධතාවයේ සඳහන් වූයේ නෙට්බෝල් පුහුණුකාරිනිය තෝරා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව සම්මුඛ පරීක්ෂණයට කලින් අයැදුම්කාරියන් දැනුම්වත් කර නොතිබූ බවත් අතීත සුසුකම් සලකා බැලීම සිදුවිය යුත්තේ වසර පහක පමණ කාලයකට වුවද මෙවර එය වසර 10 ක් දක්වා වැඩි කිරීමෙන් අසාධාරණයක් වූ බවය.
ලබන වසරේ සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්ක කොට ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය තෝරා ගැනීමට නියමිත වේ.
0 Comments