කිලෝ 50ක් බර පිටි මුට්ට 17ක් මීටර් 30ක් දත්වලින් ගෙනයයි
කිලෝග්‍රෑම් 50ක් බර පිටි මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් විනාඩි 30ක් ඇතුළත මීටර් 30ක් දුරට සිය දත්වලින් ඔසවාගෙන ගොස් හඟුරන්කෙත පදිංචි ජනක කාංචන මුදන්නායක මහතා ඊයේ (29) ලෝක වාර්තාවක් තැබීය.
මෝදර ශ්‍රී ලංකා වරාය අධිකාරිය මහපොළ අභ්‍යාස ආයතනයේ දී ඊයේ (29) ඔහු මේ වාර්තාව සනිටුහන් කරන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත කොට්ඨාසයේ පදිංචි ජනක කාංචන මුදන්නායක මහතා මීට පෙර ගිනස් වාර්තා 2 කට හිමිකම් කියන අතර මෙවර ඔහු තැබුවේ සිය 3 වැනි ගිනස් වාර්තාවයි.
එහි දී ඔහු විසින් නියමිත කාලය තුළ පිටි මුට්ට 17ක් ඔසවාගෙන යාමෙන් ගිනස් වාර්තාව තැබීමට සමත්විය.
ගිනස් වාර්තාලාභී ජනක කාංචන මුදන්නායක මහතාගේ පියා වන ගාමිණී වසන්ත කුමාර මහතා ද ගිනස් වාර්තා 7 කට හිමිකම් කියන අතර, පියාගේ අඩි පාරේ යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයාමටත් එහි අනන්‍යතාව ලෝකයට පෙන්වා දීමටත්, කායික, මානසික ශක්තිය පෙන්වාදීමටත් මෙවැනි වාර්තා අවස්ථාවක් කර ගැනීමට සමත් විය.
ජනක කාංචන මහතා ඉදිරියේ තවත් ගිනස් වාර්තා 18ක් තැබීමට සූදානමින් සිටින බවත් එහි දී පැවැසීය. මේ අවස්ථාව සඳහා සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන ඇමැති එස්. බී. දිසානායක මහතා, වරාය අධිකාරියේ උප සභාපති පී. ජී. දසනායක, කැල්ටෙක්ස් කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටි ගෝමස්, තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංග මහතා, ITN සාමාන්‍යාධිකාරී නිශාන්ත මුතුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, සෙවන් ස්ටාර් (7 Star) සමාගම මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත.
චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සරත් පීරිස්

0 Comments