ස්වකීය දිගු බෙලි සර්පයන් හා සමැව එකිනෙක වෙලා ගනිමින්, වක් හොටවල්වලින් සිප ගනිමින්, එකි නෙකා පසු පස එළවමින් රගන රැගුමන් නිහඩ කලපු පරිසරයට එක් කර ඇත්තේ අපූර්වත්වයක් නොවන්නේද? ඒ කෙසේ වෙතුදු කෙතරම් පෙර පෙම් අනග රැගුම් රැගුවත් මොවුහු කිසි කලෙකදීවත් තම ජන්ම භූමියෙන් පිටතදී - එනම් පර්යටනය සදහා තෝරා ගත් විදේශීය රටක් තුළදී අභිජනනය සිදු නොකරයි. රජ සියක්කාරයින්ගේ ආයු කාලය වසර 20 – 30 ත් අතර වේ. සත්ත්ව උද්‍යාන ආශ්‍රිත හා ගෘහාශ්‍රිත දිවි ගෙවන සියක්කාරයින් වසර 50 – 60 ත් අතර කාලයක් ජීවත් වේ. වරකට බිත්තර 01-02 ත් අතර ප්‍රමාණයක් දමන අතර ඒ සදහා තම ජන්ම බිම ම තෝරා ගනි. තෙත් පසෙහි (මඩ) උස් වු ගොඩැල්ලක් තනා ඒ මත බිජු ලන අතර මා පිය දෙපාර්ශ්වයම බීජෞෂණය සහ පැටවුන් පෝෂණය සිදු කරයි.
යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව වාර්තා වූ කුරුලු විශේෂයන් අතරේ තාරා විශේෂයන්ට ද හිමි වන්නේ විශේෂී ස්ථානයකි. අප දන්නා තරමින් නම් ගෘහාශී‍්‍රතව ඇති දැඩි වන තාරාවන් යනු බොහෝ අලස තරබාරු සිරුරකට හිමි කම් කියනා කුරුලු විශේෂයක් වුවත් සංක්‍රමණික තාරාවන් යනු සැතපුම් දස දහස් ගණනක් වුව ද පියාසර කළ හැකි දක්ෂ පියාසැරියක් හිමි වන කුරුලු විශේෂයන් වශයෙන් හැදින් විය හැකිය. ඔවුන් ද ස්වකීය ජන්ම බිම් ආශ්‍රිතව පවතින අහිතකර වු පාරිසරික සධකයන් මගහරිමින් එම තත්ත්වයන් පහව යනතුරු තම ප්‍රධාන සංක්‍රමණික ඉලක්කය වන ගොදුරු බිම් සොයා සිදු කරනා ගමන් සංචාරයේදී අවසන් නැවතුම වශයෙන් තෝරා ගනු ලබන්නේ සමකාසන්න උණුසුම් රටවල් ය. ඒ අතරේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙහිලා විශේෂත්ව වන්නේ මින් පෙර එනම් වසර තුනකට පමණ පෙරාතුව සංක්‍රමණික යැයි කුරුලු නිරීක්ෂකයන් සිතා සිටි තිත් හොට තාරාවා වර්තමානය වන විටදි ශ්‍රී ලංකාව තුළ නිත්‍ය නේවාසිකයින්ගේ තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වී ඇත. මන්ද යත් තුඩා පැටවුන් පිරිවරා ගත් තිත් හොට තාරා මව්වරුන් කිහිප දෙනෙක්ම කයිට්ස් ආශ්‍රිත කලපු දියෙහි පිහිනා යන සොදුරු දසුන් කිහිප අවස්ථාවකදීම අප ට නිරීක්ෂණය කිරීමට හැකි විය. ඒ අනුව සංක්‍රමණික යනු වසරේ එක් කාල සීමාවකදී පමණක් ස්වකීය නිජ බිම් අතැර තවත් රටකට සංක්‍රමණය කර යළිත් අභිජනන කටයුතු සදහා තම නිජ බිම වෙතට පෙරලා පැමිණෙන්නේය යන න්‍යාය අදටද පක්ෂී නිරීක්ෂකයින් බොහෝමයකගේ මතය බවට පත් ව හමාරය. නමුත් තිත්හොට තාරාවුන් අප රට තුළදීත් ස්වකීය අභිජනන කටයුතු සිදු කරනවාය යන්න සැබැවින්ම සෙසු රටවල් වෙත රැගෙන යන්නේ ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය සුරකින රටක් බැව් නොවන්නේද?
අහිකාවුන් - දිය කාවුන් - පැස්තුඩුවන් - හැදි ආලාවන් - සුදු මැදි කොකුන්- ගව කොකුන් ආදි වශයෙන් විශේෂ කිහිපයකට අයත් පක්ෂීන් එක්ව මාලු අහිනයක් වට කොට ගෙන සණ්ඩු සරුවල් නොවී එක්ව බුදින දසුන දුටු සිතක ජනිත කරනුයේ සමගි සම්පන්න හැගුමකි. අහිකාව දියෙහි කිමිදී තියුණු හොටයට අමුණා ගෙන දිය මතුපිට ගෙන ආ මාළුවා හොටින් ගලවා ඉහළට විසිකර යළිත් හොට විවර කරමින් මුව තුළට රුවා ගත් භෝජන විලාසය... ගොදුරු වූ කුඩ මස් පැටවා උඩු ගුවන තුළදී සැදෑ හිරු රැස් සිප ගෙන රන් වනින් දිළෙමින් ලෝකය දෙස අවසන් බැල්මක් හෙළා දඩයම් කරු ගේ කුස තුළට වන් අපූරුව “බලවතාට දුබලයා යටත් ය...” න්‍යායේ ආදර්ශයකි. එකී න්‍යාය සොබාදහමේ ද නියතියකි.
කලපුව වටකොට නැමූ නෑඹිලියක් හා සමැ අහස් ගැබ මත සරනා බමුණු පියාකුස්සෝ, කුස ඇලි සයුරු කුස්සන්, ලතු වැකියන්, බහුරුමානාවන් ආදී පක්ෂීහු ඉහළ හිස් අවකාශයේ පවත්නා ශුන්‍යත්වය පහ කිරීමට ප්‍රයත්න දරණා ගුවන් යානා වැන්නෝ ය. වැව සිසාරා හමනා සුළං පහරට නතුව අවැසි දෙසකට ගසා යෑමට ඉඩ හසර දෙමින් පියාපත් විහිදා ඔවුන් රඟනා රංගනයන් චමත්කාර ජනක ය.
ජල තල මතුයෙහි ඔබ මොබ පිහිනමින් කලපු දිය හැඩ කරනා දියකාවුන්, අහිකාවුන්, අළුකොකුන් ආදී හූ වැව වටා පවත්නා සත්ව විවිධත්වය මොනවට පසක් කර දෙන මහා පොදු සාධකයෝ ය. මේ හැම රඟන රැඟුම් බලමින් කලපුව ඉදි කර ඇති ඉස්සන් කොටුවක දිරා ගිය රිකිල්ලක් අගට වී නිහඬ වරතයක් පුරනා ‘ළය සුදු මැදි පිළිහුඩුවන්’ නිහඬතාවට ගරු කරන්නැ’ යි පවසන මූර්ති වැන්නා හ.
තිත්හොට තාරාවුන්, මහ තඹ සේරුවන්, රත් සක්වලයන්, පත්තුඩු තාරාවන්, බැම සුදු තාරාවුන්, රන් කිරුළු තාරාවුන්, උල් පෙද තාරාවුන්, පොදු තාරාවුන්, හීන් තඹ සේරුවන් අතරේ සරනා හැදි අලාවන්, හිස කළු දෑ කොකුන්, සිලුටු දෑ තුඩුවන්, කළු හිස් ගොලුවියන්, පොදු කිතලුන්, කළු පිය ඉපල්පාවන්, කහ යටි මල් කිරළුන්, සිලුටු දෑ තුඩුවන්, විවර තුඩුවන්, ඇඹල කොකුන්, පැස්තුඩුවන් ආදී එකි මෙකි නොකි දෙස් - විදෙස් කුරුලු විශේෂයෝ එකම බිමක සමාදානයේ කල් යවනා අයුරු මානව අපට කියා දෙන්නේ සැවොම එක්ව එක් සිත්ව මේ මිහිතලයේ දරුවන් වශයෙන් එකට සරනා කළ ලෝකය ලස්සන වන බව නොවන්නේද?
ශ්‍රී ලංකාව යනු ඉන්දියාව හරහා සිදු වන පක්ෂී සංක්‍රමණික ගමන් සැරියේ දකුණු අන්තයට වන්නට පිහිටා ඇති විහගුන්ගේ ගැවසීමට හිකකර වු සාධකයන්ගෙන් අනූණ වු සමකාසන්න රටක් වීම මේ ආගන්තුක විහගුන් විසල් වශයෙන් පැමිණීමට ප්‍රධානතම හේතුවක් වශයෙන් ද හැඳින්විය හැකිය. ලෝක ගෝලයේ උතුරු අර්ධ ගෝලයේ සිට අප රට සොයා පැමිණෙන විහගුන්ගේ ප්‍රධාන ගමන් මාර්ගයන් දෙකකි. ඒ බටහිර පක්ෂී සංක්‍රමණික ගමන් මාර්ගය සහ නැගෙනහිර පක්ෂී ගමන් මාර්ගය වශයෙන් හැදින්විය හැකිය.
බටහිර පියාසර මාර්ගය - ලෝක ගෝලයේ උතුරු සහ වයඹ අර්ධ ගෝලයේ සිට පැමිණෙන පක්ෂීන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරය දිගේ පහළට පියාසර කර විත් දකුණු කෙළවරට වන්නට පිහිටි කොමරීන් තුඩුවෙන් මන්නාරම සහ කළුතර අතර පිහිටි වෙරළ තීරයෙන් මෙරටට පිවිසේ. නැගෙහිර යුරෝපීය සහ බටහිර ආසියාතික කුරුලු විශේෂ සේම තාරා විශේෂ ප්‍රමුඛ ජලාශ්‍රිත පක්ෂීන් සහ වනගත කුරුලු විශේෂයන් මෙම ගමන් මාර්ගය තෝරා ගනී. ශක්තිමත් පියාසර කරුවන් සේ ප්‍රකට සංක්‍රමණික විහගුන් ඉන්දියානු කලාපය තුළදී ඉන්දු ගංගා නිම්නය සහ සෙසු ප්‍රධාන ගංගා නිම්නයන් ඔස්සේ උස් කදු වැටි ආදී වු බාධක පරයමින් වෙරළ තීරය ඔස්සේ දකුණු දෙසට පියාසරයි. මෙවැනි වු ගමන් වලදි රුසිරැවියන් සහ මැසිමාරාවන් බදු වු විශේෂයන් ඉන්දියාවෙන් නික්මී ශ්‍රී ලංකාවට ප්‍රවිශ්ට වීම සදහා ආදම්ගේ පාලම දූපත් සමුහය යොදා ගන්නා බවටද වාර්තා වී ඇත. මන්ද යත් සෙසු පර්යටනික පක්ෂීන් හා සමැව නොව රුසිරැවියන් සහ මැසිමාරාවන් බදු වු විශේෂයන් ප්‍රබල පියාසැරියෙහි නොසමත් කමක් දක්වයි. එබැවින් ඉන්දියාවේ සිට අප රටට පැමිණීම සදහා මේ දෙරට අතර සොබාවික පාලමක් හා සමැව ක්‍රියා කරනා ආදම්ගේ පාලම දූපත් සමුහය භාවිතයට ගනී. එසේ පැමිණ දිවයිනේ දකුණු දෙසට පියාසරමින් මධ්‍යම කදුකරයට සහ තෙත් කලාපයට ප්‍රවිශ්ට වේ. මෙම මාර්ගය හරහා පැමිණෙන විහගුන් නියෝජනය වන රටවලට උදාහරණ වශයෙන් යුරෝපය, බටහිර සයිබීරියාව, කාශ්මීරය වැනි රටවල් හැදින්විය හැකිය.
නැගෙනහිර පක්ෂි සංක්‍රමණික ගමන් මාර්ගය වන්නේ හිමාලය කදු වැටියට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සිට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දකුණු දෙසට පියාසර කර පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාපනය අර්ධද්වියෙන් අප රට තුළට ප්‍රවිශ්ඨ වේ. මෙම මාර්ගය පර්යටනික පියාසැරියේ ප්‍රකට ගමන් මාර්ගය වශයෙන් ද හැදින්විය හැකිය. එම ගමන් මාර්ගයේ පැමිණෙන පර්යටනිකයින්ගෙන් කොටසක් පෝක් සමුද්‍ර සන්දිය ද පසු කර තවත් නිරිත දෙසට ගමන් කර ආදම්ගේ පාලම දූපත් සමුහය ප්‍රයෝජනයට ගනිමින් අප රටට ඇතුළු වන බවට ද වාර්තා වී ඇත. මීට අමතරව ඈත පෙරදිග රටවල සිට ශ්‍රී ලංකාවට එන දුලභ වාර්තා වී ඇති පර්යටකයින් අන්දමන් දූපත් හරහා පැමිණෙන බවට ද වාර්තා වී ඇත.
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
from mihithuru
0 Comments