Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංචාරක ව්‍යාපාරය නැංවීමට මීමුරේ තෝතැන්නක් - ජනපති

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා මීමුරේ ප්‍රදේශය සතුව ඇති විභවතාව ඉතා ඉහළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මීමුරේ ප්‍රදේශය තුළ ත්‍රාසජනක ජල ක්‍රීඩාව හා සම්බන්ධ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කළ යුතු බවත් කඳු නැඟීම ඇතුළු සංචාරක ක්‍රියාකාරකම්, සංචාරකයන්ට ආකර්ෂණීය ස්ථාන හඳුනා ගැනීම, සංචාරක කර්මාන්තයට පිවිසීමට ප්‍රදේශවාසීන්ට පුහුණුවක් දීම, මීමුරේ ගමට රාජ්‍ය බැංකුවකින් ATM පහසුකම් සැලසීමට පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවේය. මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවැති “ගම සමඟ පිළිසඳර” 10 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පෙරේදා (13) මේ බව පැවසුවේය. SLT මොබිටෙල් ආයතනය කයිකාවල කණිෂ්ඨ විද්‍යාලය සඳහා පරිත්‍යාග කළ සුහුරු පන්ති කාමරය විවෘත කිරීම, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ලබා දුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය, අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමූ රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරයාට භාරදීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ. මීමුරේ - කුඹුක්ගොල්ල - කයිකාවල විද්‍යාලවල ගුරු හිඟය පියවීමටත්, පරිගණක කාමර, පුස්තකාල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ පෙර පාසල්වල සහ දහම්පාසල්වල අඩුපාඩුකම් සපුරාදීමටත්, ගම්මානවල ඇළ අමුණු ප්‍රතිසංස්කරණය, පානීය ජල ගැටළුවට විසඳුම් දීම, සන්නිවේදන හා අන්තර්ජාල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය මෙහිදී යොමු කෙරිණ.

මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරුන් ද, ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් ද, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදය චමින්ද කිරිඳිගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද, දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් ද, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ද ඇතුළු පිරිසක් මීමුරේ ප්‍රාථමික විද්‍යාල භූමියේ පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වූහ.

Post a Comment

0 Comments