Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රට ගොඩනඟන රාජ්‍ය යන්ත්‍රණයට උරදීමට හමුදාව නිරන්තරව සූදානම් ආරක්ෂක ලේකම් කියයි

එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක් තිස්සේ විනාශයට පත් වූ අපේ රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යන්ත්‍රණයට සහයවීමට සන්නද්ධ හමුදා සැමවිටම සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

පසුගියදා ( 11) කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහබාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

සම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් හා මියගිය රණවිරුවන්ට උපහාරයක් ලෙස මොහොතක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් පසු උත්සවය ආරම්භ විය.

පාඨමාලාව සාර්ථකව හැදෑරූ උපාධිධාරීන් උපාධිය ලබා ගත් අතර, විශේෂ සම්මාන ද පිරිනැමිණි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික සඟරාව වන ‘The Owlet’ මෙම අවස්ථාවට පැමිණි අමුත්තන් අතර බෙදා දෙන ලදී.

මෙම උත්සවයේදී ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ තරුණ නිලධාරීන් 132ක් සහ විදේශීය රටවල් 11ක නිලධාරීන් 18 දෙනකුට උපාධි ප්‍රදානය සිදු කෙරිණි.

ඒ අනුව බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්තානය, රුවන්ඩාව, සෞදි අරාබිය සහ සුඩානය යන රටවල විදේශීය ශිෂ්‍ය නිලධාරීහු උපාධි ලබා ගත්හ.

වසරේ හොඳම පර්යේෂණය නිබන්ධනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිරිනමන ‘Golden Pen’ සම්මානය දිනා ගත් මේජර් බී. ජී. එන්. අයි. කරුණාතිලක මහතාට මේජර් ජෙනරාල් ගුණරත්න මහතා විසින් එම සම්මානය ප්‍රදානය කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ ද පැවසීය.

නිලධාරියකු සඳහා වෘත්තීයමයභාවය හා බැඳී ඇති ප්‍රඥාව සහ දැනුම ප‍්‍රමුඛස්ථානයක් ලෙස සලකනවා. බැවින් අභියෝගාත්මක හා පැහැදිලි අනාගතයක් කරා අපගේ හමුදාව මෙහෙයවීමට ඉහළ සුදුසුකම්ලත්, දක්ෂ, වෘත්තීය හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතාව අපට තිබේ.

ගෝලීයකරණය, තාක්‍ෂණික දියුණුව සහ වෙනත් නවෝත්පාදනයන්හි ලෝකයේ අඛණ්ඩ පරිණාමය සමඟ රටවල් වේගයෙන් ඉදිරියට යා යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික, තොරතුරු, හමුදාමය සහ ආර්ථික ක්ෂේත්‍රවල ඉහළ පැතිකඩක් කරා ළඟාවීමට රටවල් උත්සහ කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාවට ළඟා කර ගත හැකි ඉහළම ප්‍රමිතීන් ළඟා කර ගැනීම සදහා අපට සන්නද්ධ හමුදා අවශ්‍යයි.

මිනිසුන් ආරක්ෂා කරගැනීම සඳහා කැපවීමේ අවශ්‍යතාව පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස කොරෝනා වයිරස් වසංගතය පිළිබද සඳහන් කළ හැකියි. අපගේ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මිනිසුන් බේරා ගනිමින් කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීමේදී දේශයට කැපී පෙනෙන සේවාවක් ලබාදෙනවා.

හමුදා අධ්‍යාපනයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කෙරෙන ආයෝජනය පිළිබඳ සදහන් කරමින් ඔහු කියා සිටියේ, පුහුණුව සඳහා හමුදාවේ ප්‍රමුඛතාව සහතික කළ යුතු බවයි.

හමුදාවේ ඉහළ ස්ථානයකට එළඹීම කිසි විටෙකත් එක රැයකින් සිදුනොවන බව සඳහන් කළ ඔහු පැවසුවේ එයට විශාල කැපවීමක් සහ අත්දැකීමක් මෙන්ම විශාල දැනුමක් හා ප්‍රඥාවක් බවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ප්‍රතීතනය කිරීම සහ ශ්‍රී ලංකා අධ්‍යයනය, ජාත්‍යන්තර කටයුතු, උපායමාර්ගික හා කළමනාකරණ අධ්‍යයනය වැනි කැපීපෙනෙන අංශ ආවරණය වන පරිදි ශාස්ත්‍රපති උපාධියක් නිලධාරීන්හට ප්‍රදානය කිරීම පිළිබඳ ද මෙහිදී අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සහ මිත්‍රශීලී විදේශීය රටවල අනාගත හමුදා නායකයන්ගේ අභිවෘද්ධිය උදෙසා උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදී අපගේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා හමුදා අධ්‍යාපනයේ හොඳම තෝතැන්නක් වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට හැකියාව ලැබී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ.රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ හිටපු සේනාවිධායකවරුන්, අතිරේක ලේකම් ආරක්ෂක, කළමනාකරණ මණ්ඩලයේ සාමාජික‍ෙන්, ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීන්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශකවරුන්, විදේශීය සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();