ඇප ලැබෙනකල් අපට බලාගෙන ඉන්න වෙනවා
හරි... හරි... පාස්ටර් බය වෙන්න එපා.
පසුගිය 2019 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ එක්තරා දිනක රාති‍්‍රය ගෙවී යමින් තිබුණේය. මීගමුව බන්ධනාගාරයේ අඳුරු සිරමැදිරියක ඉතාම රහසිගතව සිදුවන සතරකන් මන්ත්‍රණයකි. පාස්ටර් ඔයා කිසිදේකට බය වෙන්න එපා. අපිට මේ වැඬේ ලේසියෙන්ම කරන්න පුළුවන්. පාකිස්තානෙන් හෙරොයින් ලෝඞ් එකක් ඇද ගත්තොත් අපිට කෝටිපතියෝ වෙන්න පුළුවන්.
මාලදිවයින් ජාතිකයකු වූ ඊබ්‍රාහිම් කතෝලික දේවගැතිවරයකු වන ඩන්ස්ටන්ට කීවේය. මේ වගේ වැඩ කරන බෝට්ටුකාරයෝ සේරම පාස්ටර් හඳුනනවනෙ. ඒ නිසා අපිට මේ වැඬේ ලේසියෙන් කරන්න පුළුවන්. ඊබ්‍රාහිම් කැඩිච්ච ඉංගී්රසි වචන පෙළගස්වමින් මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාවට හෙරොයින් ගෙන ඒම පිළිබඳව දේවගැතිවරයාට පැහැදිලි කළේය.
බල්ලන් කපුටන් මරා කෙටි මාර්ගවලින් මුදල් ඉපයීමට ආශා කළ දේවගැතිවරයා ඊබ්රාහිම්ගේ යෝජනාවට කැමැති වුණේය.
‘‘පාකිස්තාන්වල ඉන්නවා අබ්දුල්ලා කියලා මගේ යාළුවෙක්. මිනිහා ට්‍රයි කරනවා ලොකු ලෝඞ් එකක් ලංකාවට බස්සන්න. අපිට විශ්වාසවන්ත බෝට්ටුකාරයෝ ටිකක් සෙට්කර ගන්න ඕනෙ. පාස්ටර්ට ඒක ලේසියෙන් කරන්න පුළුවන්. ඔයා ඒ පැත්ත බලා ගන්න. කෝටි ගාණක් අතට එන විදිහට මම වැඬේ ලෑස්ති කරන්නම්...
ඊබ්‍රාහිම් නොනවත්වා කතා කරයි. දේවගැතිවරයා නිසොල්මනේ ඒ සියල්ල සාවදානව අසා සිටියි. ඊබ්රාහිම්ගේ දේශනය අවසානයේ දේවගැතිවරයා සිය හඬ අවදි කළේය.
‘‘මේක ඇතුළෙ ඉඳගෙන මට මේ වැඬේ කරන්න බැහැ. ඇප ලැබෙනකල් අපට බලාගෙන ඉන්න වෙනවා. මං එළියට ගිය ගමන් මේ වැඬේට සම්බන්ධ වෙමු...
දේවගැතිවරයා ඊබ්රාහිම්ගේ දෑත් තරයේ අල්ලාගෙන කීවේය.
ඩන්ස්ටන් නමැති දේවගැතිවරයා හලාවත සංගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දේව බලයෙන් අසරණයන් සුවපත් කරන බව කියමින් මේ දේවගැතිවරයා දන්නා කියන කාලයේ සිට කළේ මගෝඩි වැඩය. හතළිස් හතර වැනි වියේ පසු වූ දේවගැතිවරයා මිනිස් ජාවාරම්වලට කප් ගැසූ පුද්ගලයෙකි. මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් නඩු එකක් දෙකක් නොව හයක්ම ඔහුට එරෙහිව අධිකරණවල විභාග වෙමින් තිබුණේය. අහිංසක මිනිසුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ ඉතාම අනාරක්ෂිත ලෙස ඔස්ටේ්රලියාවට යැවීමේ ජාවාරම මේ දේවගැතිවරයා විසින් කරගෙන ගියේ වසර ගණනාවක සිටය.
මේ දේවගැතිවරයා විවාහකයෙකි. ඔහුට දාව දියණියන් දෙදෙනකු සිටි අතර ඔවුන් ද විවාහ වී සිටිය හ. ඩන්ස්ටන් දේවගැතිවරයාගේ නීත්‍යානුකූල බිරිඳ හලාවත පදිංචිව සිටි අතර අනියම් බිරිඳ සිටියේ නිට්ටඹුවේය. මේ දරු පවුල් පෝෂණය කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා දේවගැතිවරයා තෝරාගෙන තිබුණේ මිනිස් ජාවාරම හරහා මුදල් ඉපයීමය. දුෂ්කර ගම්මානවල කරක් ගසමින් අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාකමින් මිනිස් ජාවාරමේ යෙදුණු මේ දේවගැතිවරයා 2019 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ දිනක පොලිස් අත්අඩංගුවට පත් වුණේය.
ඒ තවත් අහිංසක මිනිසුන් 56 දෙනකු ඉතාම අනාරක්ෂිත ආකාරයට කුඩා බෝට්ටුවක පටවා ඔස්ටේ්රලියාවට යැවීමට සූදානම් කර සිටියදීය. මේ සිදුවීමෙන් පසු ඩන්ස්ටන් දේවගැතිවරයා මීගමුව බන්ධනගාරයේ රඳවනු ලැබීය. දේවගැතිවරයාට ඊබ්‍රාහිම් නැමති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු මුණගැසෙන්නේ මීගමුව බන්ධනාගාරයේදීය. මිනිස් ජාවාරමට වඩා පහසුවෙන් හෙරොයින් ජාවාරම හරහා විශාල ධනයක් ඉපයිය හැකි බව තේරුම් ගත් දේවගැතිවරයා ඊබ්රාහිම්ගේ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කළේය.
හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත්වූ ඊබ්‍රාහිම් වසර කීපයක සිට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියේය.
බන්ධනාගාරගතව සිටිය ද ඊබ්‍රාහිම් සිය හෙරොයින් ජාවාරම සුපුරුදු ලෙස කරගෙන ගියේ මීගමුව බන්ධනාගාරයේ එවකට සිටි දූෂිත නිලධාරීන් පිරිසකගේ ද සහාය ඇතිවය. දීර්ඝ කාලයක සිට මුහුදු මාර්ග ඔස්සේ අහිංසක මිනිසුන් පිටරටවලට පැටවීමේ ජාවාරම කරගෙන ගිය දේවගැතිවරයා තම ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම ඉතාම යෝග්‍ය බව සිතූ ඊබ්‍රාහිම් ඔහුට මේ පිළිබඳව යෝජනා කළේය. දේවගැතිවරයා සහ ඊබ්‍රාහිම් අතර මේ හෙරොයින් ජාවාරම සම්බන්ධ සාකච්ඡාව වසරකට ආසන්න කාලයක් සිදුවුණේ ඉතාම රහසිගත ආකාරයට ය.
බන්ධනාගාරයෙන් පිට වී යනතුරු ජාවාරමට සම්බන්ධ වීම අපහසු බවට දේවගැතිවරයා පැවසූ නිසා ඒ කාලසීමාව තුළ ජාවාරමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට ඊබ්‍රාහිම් කටයුතු කළේය.
ඊබ්‍රාහිම් ජංගම දුරකථන මාර්ග ඔස්සේ පාකිස්තානයේ සිටින අබ්දුල්ලා සම්බන්ධ කර ගත්තේය. ඊබ්‍රාහිම් දේවගැතිවරයාව අබ්දුල්ලාට හඳුන්වාදීමට ද කටයුතු කළේය. අපි එකතු වුණොත් ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන් පාස්ටර්ට ලොකු රෝල් එකක් කරන්න පුළුවන්. පාස්ටර් එළියට ගිය ගමන් මේ වැඬේ ලෑස්ති කරන්න. අබ්දුල්ලා පාකිස්තානයේ සිට දුරකථන මාර්ග ඔස්සේ දේවගැතිවරයා සම්බන්ධකර ගනිමින් ඉදිරි සැලසුම් ගැන පැහැදිලි කළේය.
ඊබ්‍රාහිම් සහ අබ්දුල්ලා සම්බන්ධ වී සිටි හෙරොයින් කල්ලියේ ප්‍රධානියා ශී‍්‍ර ලාංකිකයෙකි. ඔහු සංජුය. එහෙමත් නැත්නම් බත්තරමුල්ලේ සංජුය. අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි මෙරට පාතාල කුප්‍රකට චරිතයකි. ඔහු අසූව දශකයේ මෙරට පාතාලයේ මහා කෙරුම්කාරයකු බවට පත්ව සිටියේ එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේය. සොත්ති උපාලි 1995 වර්ෂයේදී ඝාතනය වුණේ එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහවීමෙන් පසුවය. සොත්ති උපාලිට දියණියක් සිටියේය. ඒ දියණිය පසු කලෙක විවාහ වූවාය. ඇගේ ආදරණිය සැමියා වුණේ සංජුය. එහෙමත් නැත්නම් බත්තරමුල්ලේ සංජුය.
තම මාමණ්ඩියගේ පාරේ යමින් මේ සංජු මෙරට මහා පරිමාණ ජාවාරම්කරුවකු බවට පත්ව සිටියේය. සොත්ති උපාලි මාමණ්ඩිය. ජවාරම් කළේ, චණ්ඩිකම් කළේ ශී‍්‍ර ලංකාවේ සිටය. එහෙත් ඒ චණ්ඩියාගේ බෑනණ්ඩියා ජාවාරම් කරන්නේ ජත්යන්තරයේය. මීට වසර කීපයකට උඩදී ඩුබායි රාජ්‍යයට පලාගිය බත්තරමුල්ලේ සංජු මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අතගැසුවේය. හෙරොයින් තොග පිටින් ශී‍්‍ර ලංකාවට පටවමින් සංජු ඉතාම කෙටි කාලයක් තුළ කෝටිපතියකු බවට පත් වුණේය.
ඊබ්‍රාහිම් ඩුබායිහි සිටින බත්තරමුල්ලේ සංජු දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. තම කල්ලියට අලූතින් සම්බන්ධ වූ දේවගැතිවරයා ද ඊබ්‍රාහිම්ට සංජුව හඳුන්වා දුන්නේය. අපට ළඟදීම හෙරොයින් කිලෝ 200 ක් එවන්න කියනවා. බඩු සේරම ලෑස්ති කරලා තියෙන්නෙ. පාස්ටර්ට තියෙන්නෙ ඒ ටික ගොඩට ගෙනැල්ලා දෙන එක මම ඒ වැඬේට පාස්ටර්ට කෝටි තුනහමාරක් ගෙවන්නම් බත්තරමුල්ලේ සංජු කීවේය. සංජුගේ යෝජනාව ඇසීමෙන් ඩන්ස්ටන් දේවගැතිවරයා අන්දුන්කුන්දුන් වුණේය. මිනිස් ජාවාරම හරහා මුදල් ඉපයීමට මොන තරම් වෙහෙසක් දැරීමට සිදුවන බව දේවගැතිවරයා හොඳින් දනියි.
එහෙත් ඒ තරම් ලොකු වෙහෙසක් නොමැතිව එකවරම මේ ආකාරයට රුපියල් කෝටි ගණනක මුදලක් ඉපයීමට ලැබීම මොන තරම් වාසනාවක් දැයි දේවගැතිවරයාට සිතුණේය. හරි මං එළියට ගිය ගමන් මේ වැඬේ ලෑස්ති කරන්නම්. අපි පුළුවන් ඉක්මනට බඩු ටික ගේමු....
දේවගැතිවරයා දුරකථනය ඔස්සේ සංජු සමඟ කීවේය. හරි පාස්ටර් මං ඔයාට ඇඞ්වාන්ස් එකක් විදිහට රුපියල් කෝටියක් දෙනවා. ඔයාට තියෙන්නේ ඒ සල්ලිවලින් බෝට්ටුකාරයෝ ලෑස්ති කරගෙන වැඬේට සෙට් වෙන්න. එළියට ආව ගමන් මං ඔයාට සැටලයිට් ෆෝන් එකක් දෙනවා. ඒකෙන් ඔයාට මේ වැඬේ කෝඩිනේට් කරන්න පුළුවන්.
හෙරොයින් රැගෙන ඒමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කරන ආකාරය පිළිබඳව සංජු දේවගැතිවරයාව දැනුවත් කළේය. ඊබ්‍රාහිම් සහ අබ්දුල්ලා සංජුගේ හෙරොයින් කල්ලියේ ප්‍රධාන හවුල්කරුවන් වූහ. අවසානයේ ඩන්ස්ටන් දේවගැතිවරයාද මේ කල්ලියට සම්බන්ධ වුණේය. වසරකට ආසන්න කාලයක් මීගමුව බන්ධනාගාරයේ ලැඟ සිටි ඩන්ස්ටන් දේවගැතිවරයා ඉකුත් අපේ‍්‍රල් මාසයේ ඇප මත මුදාහැරියේය.
‘‘මං හෙට ඉඳලා මේ වැඬේට සෙට් වෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට ලෝඞ් එකක් ලංකාවට ගේමු. හැම දෙයක්ම ලෑස්ති කරලා මං උඔට කෝල් කරන්නම්...... වසරක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ තම එකම කල්‍යාණ මිතුරා වූ ඊබ්‍රාහිම්ට සමුදෙමින් දේවගැතිවරයා කීවේය.
ඇප ලබාගෙන දේවගැතිවරයා හලාවත සංගම්මාන ග්‍රාමයට ආවේය. එතැන් සිට ඔහු හෙරොයින් ජාවාරමේ ඉදිරි කටයුතු සම්පාදනය කරන්නට පටන් ගත්තේය. සංජුගේ උපදෙස් මත දේවගැතිවරයා දෙහිවල ප්‍රදේශයට ගොස් සැටලයිට් දුරකථනයක් ලබාගත්තේය. ඒ සංජුගේ ගෝලයකු හරහාය. සැටලයිට් දුරකථනයට අමතරව රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද දේවගැතිවරයාට ලැබුණේය. ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුද වෙත රැගෙන එන හෙරොයින් තොගය ඉතාම සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ ගොඩබිමට රැගෙන ඒම දේවගැතිවරයා වෙත පැවරී තිබූ කාර්ය විය.
ඒ සඳහා විශ්වාසවන්ත පුද්ගලයකු අවශ්‍ය විය. මේ ජාවාරමට සම්බන්ධ කරගන්නේ කවුදැයි යන්න සිතමින් දේවගැතිවරයා දස අතේ කල්පනා කළේය. එකවරම ඔහුගේ සිතට ආවේ පි්රයංගය. පි‍්‍රයංග දේවගැතිවරයාගේ මිනිස් ජාවාරමේ හවුල්කරුවෙකි. අහිංසක මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඔස්ටේ්රලියාවට පැටෙව්වේ පි්රයංගට අයත් ට්‍රෝලර් යාත්‍රා වලින්ය. ඔහු ඉහළ විශ්වාසවන්ත පුද්ගලයෙකි. දේවගැතිවරයා පි‍්‍රයංග සොයා ගියේය. මිනිස් ජාවාරම පසෙක දමා හෙරොයින් ජාවාරමට සම්බන්ධ වීම පිළිබඳව දේවගැතිවරයා පි්රයංගට පැහැදිලි කළේය. හරි පාස්ටර් මම වැඬේට කැමතියි. මට ලක්ෂ 35 ක් ඕනෙ. බෝට්ටුවෙ අනිත් අයවත් මං කැමති කරව ගන්නම්.
හෙරොයින් තොගය ගඹුරු මුහුදේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට කැමැත්ත පළකළේය. පි‍්‍රයංග ගැඹුරු මුහුදේ ධීවර රස්සාව කළේ දීර්ඝ කාලයක සිටය. මාසයකට ආසන්න කාලයක් ගැඹුරු මුහුදේ සැරිසරමින් ධීවර කටයුතුවල නිරතවූ පි‍්‍රයංග ඩන්ස්ටන් දේවගැතිවරයා සමඟ එක්ව මිනිස් ජාවාරමට ද සම්බන්ධ වුණේය.
දේවගැතිවරයාගේ යෝජනාව පිළිබඳව පි‍්‍රයංග තම ට්‍රෝලර් යාත්‍රාවේ මෙහෙයුම්කරුවූ නිහාල්ට කීවේය. හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහා නිහාල්ද කැමැති වුණේය. ඒ සඳහා නිහාල් රුපියල් 70 ලක්ෂයක මුදලක් ඉල්ලා සිටියේය. පි්රයංගගේ වැඩිමහල් සොහොයුරා වන ඩික්සන්ද ධීවර රස්සාව කළේ ඔහු සමඟය. හෙරොයින් මෙහෙයුම සඳහා ඩික්සන්ද සම්බන්ධ වන්නේ රුපියල් විසි ලක්ෂයක මුදලක් ලබාදෙන පොරොන්දුව මතය.
හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සැලසුම සකස් කළ පි‍්‍රයංග ඩන්ස්ටන් දේවගැතිවරයා මුණගැසී ඒ පිළිබඳව පැහැදිලි කළේය.
පාස්ටර් අපි මේ ගමන යන්න ඉස්සර වැඬේට සෙට් වෙලා ඉන්න අයට ඇඞ්වාන්ස් එකක් දෙන්න ඕනෙ. එහෙම නොකළොත් ඒ අය සම්බන්ධ කරගන්න බැරි වෙනවා. අනික මාසයක් විතර මුහුදෙ ඉන්න අපේ බෝට්ටුවට තෙල් ගහන්න ඕනෙ.
පි‍්‍රයංග ඩන්ස්ටන් දේවගැතිවරයාට කීවේය. ඒ අනුව ඒ සියලූ වියදම් ඔවුන්ට ලබාදීමට දේවගැතිවරයා කටයුතු කළේය. හෙරොයින් තොගය මෙරටට ගෙන ඒමේ කාර්යයට සම්බන්ධ වී සිටි නිහාල්ගේ සහ ඩික්සන්ගේ බැංකු ගිණුම්වලට අත්තිකාරම් මුදලක් දැමීමට දේවගැතිවරයා කටයුතු කළේය. ඩුබායිහි සිටින සංජුට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔහු අදාළ ගිණුම්වලට අත්තිකාරම් මුදල් දැමුවේය. මේ අතර ට්‍රෝලර් යාත්‍රාව සඳහා ඉන්ධන ලබාගැනීමට රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් පි්රයංගට ලබාදීමට දේවගැතිවරයා කටයුතු කළේය.
පාස්ටර් මට බැංකු එකවුන්ට් එකක් නැහැ. මගේ ඇඞ්වාන්ස් එක මගේ ලේලිගේ එකවුන්ට් එකට දාන්න. පි‍්‍රයංග දේවගැතිවරයාට කීවේය. එහෙම ලේලියට බැංකු ගිණුමක් තිබුණේ නැත. ඇය රැකියාව කරන වෙළෙඳසැලේ හිමිකරුගේ බැංකු ගිණුමේ අංකය පි‍්‍රයංග දේවගැතිවරයාට ලබාදුන්නේය. ඒ අනුව එම ගිණුමට රුපියල් ලක්ෂ 15 ක් සහ 8 ක් අවස්ථා දෙකකදී බැර කිරීමට සංජු කටයුතු කර තිබුණේය. දේවගැතිවරයා මේ සියලූ කටයුතු සැලසුම් කළේ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ඊබ්‍රාහිම් පාකිස්තානයේ සිටින අබ්දුල්ලා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය.
සියලූ ගනුදෙනු කටයුතු අවසන් කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා රැජින ට්‍රෝලර් යාත්‍රාව තලවිල මුහුදු වෙරළෙන් පිටත්වන්නේ ධීවර කටයුතු සඳහා යන බව කියමින්ය.මේ ධීවර ගමනේ ප්‍රධානියා වූයේ නිහාල්ය. ඊට අමතරව පි‍්‍රයංග ඩික්සන් ඇතුළු 07 දෙනකු බෝට්ටුවේ සිටියහ. පි‍්‍රයංග තම පුත්‍රයා ද මේ හෙරොයින් මෙහෙයුම සඳහා සම්බන්ධ කරගෙන සිටියේය. පි්රයංගගේ පුත්‍රයාට පැවරී තිබුණේ ගැඹුරු මුහුදේ සිටින රැජින ට්‍රෝලර් යාත්‍රාවෙන් ලැබෙන පණිවුඩ සියල්ල දේවගැතිවරයා වෙත ලබාදෙමින් ඔවුන් සම්බන්ධීකරණය කිරීමය.
පි්රයංගගේ පුත්‍රයා මේ කාර්ය සිදුකළේ ගොඩබිම සිටය. රැජින ට්‍රෝලර් යාත්‍රාව ගැඹුරු මුහුදට ගොස් දින 7 කට පසු එනම් ඔක්තෝබර් 28 වැනිදා රාත්‍රියේ ඉරාන නෞකාවක් හා සම්බන්ධ වුණේය.
බත්තරමුල්ලේ සංජුට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 99 ක් ඉරාන ජාතිකයන් විසින් රැගෙනවිත් සිටියහ. ඔවුන් එම හෙරොයින් තොගය රැජින ට්‍රෝලර් යාත්‍රාවේ පැමිණි පි‍්‍රයංග ප්රමුඛ පිරිස වෙත භාරදුන්හ. පි‍්‍රයංග ඇතුළු පිරිස බලාපොරොත්තුවී සිටියේ හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් භාර ගැනීමටය. එහෙත් ඉරාන ජාතිකයන් ඔවුන්ට ලබාදී තිබුණේ කිලෝ 99 කි.
පි‍්‍රයංග ඒ මොහොතේම ශ්‍රී ලංකාවේ සිටි තම පුත්‍රයාට මේ පිළිබඳව දැනුම් දුන්නේය. පුත්‍රයා ඒ පණිවුඩය ඩන්ස්ටන් දේවගැතිවරයාට කීවේය. දේවගැතිවරයා ඩුබායිහි සිටින සංජු ඒ මොහොතේම සම්බන්ධ කර ගත්තේය.
හරි... හරි... පාස්ටර් බය වෙන්න එපා. අපට ඔය බෝට්ටුවෙම කිලෝ 200 එවන්න බැරි වුණා. තව දවස් තුන හතරක් කට්ටියට මුහුදෙ ඉන්න කියන්න. තව නැවකින් ඉතිරි බඩු ටික එයාලට දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ. සංජු ලබාදුන් තොරතුරු පි‍්‍රයංග වෙත ලැබෙන්නට වැඩි වෙලාවක් ගතවුණේ නැත.
හෙරොයින් තොගය ඉරාන නෞකාවේ සිට රැජින ට්‍රෝලර් යාත්‍රාව වෙත පැටවීමේ කාර්යය සිදුකළේ ඩික්සන් විසින්ය. ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම සිදුවෙද්දී අලෙවි කරන සෑම හෙරොයින් කිලෝග්‍රෑම් 20 කටම පිස්තෝලයක් ත්‍යාග ලෙස ලබාදීම සාමාන්‍ය සම්ප්රදාය වෙයි.
ඒ අනුව මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 99 වෙනුවෙන් පිස්තෝල 5 ක් ලබාදීමට ඉරාන නෞකාවේ පැමිණි ඉරාන ජාතිකයන් සූදානම් වූහ. එහෙත් පිස්තෝල පහ ලබාගැනීම පි‍්‍රයංග ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කළේය. හෙරොයින් තොගය රැගෙන ඉරාන නෞකාව රැජින යාත්‍රාවේ පිරිසගෙන් සමුගෙන ගියහ. සංජු විසින් ලබාදෙන ඉතිරි හෙරොයින් කිලෝ සියය රැගෙන එන තුරු පි‍්‍රයංග ඇතුළු පිරිස ගැඹුරු මුහුදේ ධීවර රැකියාවේ නිරත වන්නට පටන් ගත්හ.
දින දෙක තුනකින් ඉතිරි හෙරොයින් තොගය රැගෙන එන බව කීවද සති දෙකක් ගතවනතුරුත් එය රැගෙන ආවේ නැත. ඒ වනතුරු රැජින ට්‍රෝලර් යාත්‍රාවේ පිරිස ධීවර කටයුතුවල නිරත වෙමින් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියහ. නොවැම්බර් 13 වැනිදා උදෑසන පි්රයංගගේ දුරකථනයට පුත්‍රයාගෙන් ඇමතුමක් ලැබුණේය. එදින රාත්‍රියේ ඉතිරි හෙරොයින් තොගය රැගෙන ඩුබායි නෞකාවක් පැමිණෙන බව පුත්‍රයා දැනුම් දුන්නේය.
පි‍්‍රයංග තම පුත්‍රයා මීට සති තුනක් තිස්සේ සැටලයිට් දුරකථන ඔස්සේ පණිවුඩ හුවමාරු කරගනිමින් සිටියදී රැජින යාත්‍රාවේ රහසිගතව තවත් මෙහෙයුමක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණේය. රැජින යාත්‍රාවේ පාලකයා වූ නිහාල් සහ ඩික්සන් සුරාබදු නිලධාරීන් පිරිසක් සමඟ පණිවුඩ හුවමාරු කරගන්නා බව පි‍්‍රයංග දැන සිටියේ නැත.
මේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සියලූ තොරතුරු ඉතාම රහසිගත ආකාරයට නිහාල් සහ ඩික්සන් සුරාබදු නිලධාරීන් වෙත ලබාදී තිබුණේය.
නොවැම්බර් 13 වැනිදා රාත්‍රියේ රැජින ට්‍රෝලර් යාත්‍රාව සමීපයට ආ ඩුබායි නෞකාව හෙරොයින් වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ලබාදුන්හ. හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 199 රැගෙන රැජින ට්‍රෝලර් යාත්‍රාව මාරවිල වෙරළ තීරය බලා යාත්‍රා කරන්නට පටන් ගන්නේ තවත් සති දෙකක පමණ කාලයක් මහමුහුදේ රැඳී සිට ධීවර රස්සාව කිරීමෙන් පසුවය. දෙසැම්බර් 06 වැනිදා ‘රැජින. ට්‍රෝලර් යාත්‍රාව මාරවිල මුහුදු වෙරළ වෙත සේන්දුවීමට නියමිතව සිටියාය. ඒ වන විට මේ කුඩු තොගය වෙනුවෙන් මෙහෙයුම් දෙකක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණේය. ඩන්ස්ටන් දේවගැතිවරයා අදාළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා මෝටර් රථ දෙකක්, වෑන් රථයක් සහ බූම් ට්‍රක් රථයක් සූදානම් කර තිබුණේය.
මේ අතර නිහාල් සහ ඩික්සන් ලබාදී තිබූ තොරතුරු අනුව සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර සිටියහ. රැජින ට්‍රෝලර් යාත්‍රාවෙන් රැගෙන ආ අයිස් කිලෝග්‍රෑම් 100 සහ හෙරොයින් කිලෝග්‍රෑම් 99 මාරවිල තොඩුවාව ප්‍රදේශයේ නිවසක සඟවනු ලැබීය. මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට දේවගැතිවරයා එවා සිටි පුද්ගලයන් සිව්දෙනා මත්ද්‍රව්‍ය තොගය තමන් භාරයට ගත්හ.
මත්ද්‍රව්‍ය තොගය කොළඹට රැගෙන යෑමට පෙර සුරාබදු නිලධාරීන් කි‍්‍රයාත්මක වූහ. ඔවුන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන යෑමට පැමිණ සිටි පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගත්තේ මුළු හලාවත ප්‍රදේශයම උණුසුම් කරමින්ය. මත්ද්‍රව්‍ය වැටලීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් සිදුකෙරිණි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් උනන්දු වූහ.
මෙවැනි විශාල මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකළ විට එහි වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීම සාමාන්‍ය සම්ප්රදාය වන්නේය. එහෙත් මෙම හෙරොයින් වැටලීමට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබාදීමට සුරාබදු නිලධාරීන් ප්‍රතික්ෂේප කළහ.
ඔවුන් ඒ සඳහා නිදහසට කාරණා ලෙස කීවේ තම ඔත්තුකරුවන් අනාවරණය වන බවය. සුරාබදු ආඥා පනතට අනුව සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සුරාබදු නිලධාරීන්ට බලයක් නැත. ඒ බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණය. එසේ නම් මේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ බලය හිමිවී තිබුණේ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන්ටය. එහෙත් ඒ අවස්ථාව ලබානොදුන් සුරාබදු නිලධාරීන් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණේ මේ වැටලීම පිළිබඳව ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින්ය.
මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ රැජින ට්‍රෝලර් යාත්‍රාවේ සිටි නිහාල් ඩික්සන්, ප්‍රියංග ඇතුළු පිරිස ඒ වන විට අතුරුදන්ව සිටියහ. යාත්‍රාව මාරවිල වෙරලට සේන්දු වූ දින සිට මත්ද්‍රව්‍ය තොගය සුරාබදු නිලධාරීන් අතට පත්වනතුරු කාලය තුළ බොහෝ දේ සිදුවූ බව කියැවෙයි. එහෙත් ඒ සිදුවූ කිසිවක් අප දන්නේ නැත. ඒවා දන්නේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ පුද්ගලයන් සහ සුරාබදු නිලධාරීන් පමණය.
කෙසේ වෙතත් සුරාබදු නිලධාරීන් මේ වැටලීම් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යෑමට මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබානොදීම පිළිබඳව නිර්මාණය වී ඇත්තේ විශාල සැකයකි. මේ අතර කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබුණේය. ඉන් කියැවුණේ පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක එක්තරා ගිණුමකට සැකකටයුතු අන්දමින් මුදල් බැරවන බවය.
අපරාධ විමර්ශනයේ හසල දැනුමක් ඇති දක්ෂ නිලධාරියකු වන ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් මේ බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කළහ. පෑලියගොඩ බැංකුවේ ගිණුම හිමි ව්‍යාපාරිකයා සොයාගත් ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් සැකකටයුතු මුදල් බැරවීම් පිළිබඳව ප්‍රශ්න කළහ. සර්.. මේ සල්ලි මගේ ඒවා නෙමෙයි. මගේ ළඟ වැඩකරනවා ගෑනු ළමයෙක්. එයා හලාවත පදිංචි වෙලා ඉන්නෙ. එයාගෙ මාමණ්ඩි ඉඩමක් විකුණලා ගත්ත සල්ලි තමයි ඔය ගිණුමට දාලා තියෙන්නෙ. ඒ ගෑනු ළමයට බැංකු ගිණුමක් නැති නිසා මගෙ ගිණුමට සල්ලි දැම්මා. මං ඒ ළමයට සල්ලි ටික අරගෙන දුන්නා.
ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරිකයා කීවේ එවැනි කතාවකි. ලින්ටන් සිල්වා මහතාට ඒ කථාන්දරය ගැන ඇතිව තිබුණේ සැකයකි. ව්‍යාපාරිකයා යටතේ රැකියාව කරන තරුණිය සොයා ගිය පොලිස් නිලධාරීන් ඇයගෙන්ද ප්‍රශ්න කළහ. තරුණිය කීවේද ව්‍යාපාරිකයා කියූ කථාන්දරයමය. පොලිස් නිලධාරීන් මේ ගැන විමර්ශන කරමින් සිටියදී ලින්ටන් සිල්වා මහතාට තවත් ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේය.
සර්... හලාවත පැත්තෙ පාස්ටර් කෙනෙක් මගේ බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න හදනවා. මේ පාස්ටර් එක එක ජාවාරම්වලට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ටිකක් බැලූවොත් හොඳයි. ඔත්තුකරුවා ලබාදුන් තොරතුරු ඉතාම වැදගත් එකක් බව ලින්ටන් සිල්වා මහතාට පැහැදිලි විය. ඔහු මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාර දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ කැලණිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන් දැනුවත් කළේය.
විමර්ශනය දිගටම කරගෙන යෑමට දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් අවශ්‍ය උපදෙස් සහ සහාය ලැබී තිබිණි. ඒ අනුව කි‍්‍රයාත්මක වූ ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් මන්නාරම ප්‍රදේශයට ගොස් දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කළහ. බෝට්ටුකරුවාගේ සහායෙන් දේවගැතිවරයා මන්නාරම නගරය වෙත ගෙන්වා ගැනීමට ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සමත්වූහ. ඩන්ස්ටන් දේවගැතිවරයා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට පත්වන්නේ ඉන්පසුවය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සියලූ තොරතුරු වමාරන්නට දේවගැතිවරයාට සිදුවුණේය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ඊබ්‍රාහිම් පාකිස්තානයේ අබ්දුල්ලා සහ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බත්තරමුල්ලේ සංජු සමඟ සම්බන්ධතා පවත්වමින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 199 ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ජාවාරම පිළිබඳ සියලූ තොරතුරු දේවගැතිවරයා හෙළිකළේය. පෑලියගොඩ ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට සැකකටයුතු ආකාරයට මුදල් බැරවීමේ රහස පිළිබඳව ද තොරතුරු හෙළිකරන්නට ලින්ටන් සිල්වා මහතාට හැකිවිය.
පෑලියගොඩ ව්‍යාපාරිකයා යටතේ සේවය කරන තරුණිය මාරවිල කුඩු ජාවාරමට සම්බන්ධ පි්රයංගගේ ලේලිය බව පොලිසිය හෙළිකර ගත්තේය. හෙරොයින් තොගය ගැඹුරු මුහුදේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමේ මෙහෙයුමේ සම්බන්ධීකරණය කරනු ලැබුවේ මේ තරුණියගේ සැමියායි. එහෙමත් නැත්නම් පි්රයංගගේ පුත්‍රයා විසින් බවද අනාවරණය වුණේය. පොලිස් කණ්ඩායම එදිනම පි්රයංගගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්හ. පොලිස් නිලධාරීන් අන්දුන් කුන්දුන් කරවූ තොරතුරු හෙළිවන්නේ පි්රයංගගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීමේදීය.
සර්... ඔය හෙරොයින් ගේන්න ගිය ටීම් එකේ අපේ තාත්තයි එයාගේ අයියා ඩික්සනුයි හිටියා. නෑකමට ඩික්සන් මගේ මහප්පා. එයා මට කිව්වා මේ කුඩු තොගය ගොඩබිමට ගෙනාවට පස්සෙ ඒකෙන් කිලෝ 60 කට ලීකුඩු මිශ්රකළා කියලා. ඒක වුණේ සුරාබදු නිලධාරීන්ගේ අනුදැනුම මත කියලත් මහප්පා මා එක්ක කිව්වා. තාත්තලා ගෙනාව හෙරොයින් වලින් කිලෝග්‍රෑම් 60 ක් සුරාබදු එකේ නිලධාරීන් වගයක් අරගෙන ගියා කියලත් මහප්පා කිව්වා.
පි්රයංගගේ පුත්‍රයා ලබාදුන් තොරතුරු ඉතාම බරපතළ එකක් විය. මේ පිළිබඳව ලින්ටන් සිල්වා තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ දේශබන්ධු තෙන්නකෝන් සහ රොෂාන් ඩයස් යන මහත්වරුන් දැනුවත් කළේය. එහිදී දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කර එහි වාර්තාව එනතුරු වැටලීම කළ සුරාබදු නිලධාරීන්ට එරෙහිව කිසිදු විමර්ශනයක් නොකරන ලෙසයි.
ගැඹුරු මුහුදේ සිටි රැජින ට්‍රෝලර් යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ආ පි‍්‍රයංග, නිහාල්, ඩික්සන් ඇතුළු පිරිස තමන් පදිංචි නිවාසද අතහැර පලා ගොසින්ය. කෙසේ වෙතත් මේ මෙහෙයුමේදී සුරාබදු නිලධාරීන්ට එල්ල වන චෝදනා ඉතාම කඩිනමින් විමර්ශනය කළ යුතුය. සුරාබදු නිලධාරීන් නිවැරදි නම් ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම ඔවුන් මානසිකව ඇද වැට්ටවීම නොකළ යුතුය.
එමෙන්ම මත්ද්‍රව්‍ය නාශක අංශයේ කෙළපැමිණි විශාරද නිලධාරීන් රාජකාරි කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කළ කී දේ අපට මතකය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එසේ කළේ නම් සුරාබදු නිලධාරීන් එසේ නොකළා යැයි කිව නොහැක. එසේ නම් සිදුවිය යුත්තේ මෙහි සත්‍ය වහාම හෙළිකර ගැනීමය. හෙරොයින් ටොන් ගණනින් අත්අඩංගුවට ගත්තද ශ්‍රී ලංකාවේ හෙරොයින් ලෝලීන්ට මත්ද්‍රව්‍යවල හිඟයක් නැත.
එයින් පෙනී යන්නේ කොහොන් හෝ හෙරොයින් තොග පිටින් වෙළෙඳපොළට නිකුත් වන බවය. එසේ වෙළෙඳපොළට හෙරොයින් එන්නේ වැටලීම් කරන නිලධාරීන් හරහාම දැයි අප දන්නේ නැත. අප දන්නේ කොයිතරම් හෙරොයින් අත්අඩංගුවට ගත්තද ඕනෑ තරම් හෙරොයින් වෙළෙඳපොළ තුළ සුලබ බව පමණය.
හේමන්ත රන්දුණු - Divaina
0 Comments