Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් නියමු ශාලිත රටම හඬවා අවසන් ගමන් යයි

කන්තලේ සුරියපුරහිදි පසුගිය 15 වැනිදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුහුණු වන ගුවන් නියමුවෙකු මිය ගිය පුවත සැලවීමත් සමග මුළු රටම මහත් කම්පාවට පත් විය. මියගිය ගුවන් නියමුවා පුහුණු ගුවන් නියමු කැඩෙට් නිලධාරියකු වන අතර ඔහු ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි. කෑගල්ල මාපිටිගම අලුත් වලව්වේ පදිංචි කේ. ආර්. ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් වන ඔහු මිය යන විට 23 වැනි වියේ පසු විය. 2019 වසරේ ජනවාරි මස ගුවන් හමුදා සේවයට එක් වු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් කෑගලු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

රුවැන්වැල්ල මාපිටිගම අලුත්වලව්වේ සමන් කුමාර අමරකොන් සහ ශිරන්ති කුමාරි මාපිටිගම යුවළට දාව 1997 සැප්තැම්බර් 08 වැනි දින මෙලොව එළිය දුටු ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් පවුලේ එකම පිරිමි දරුවා විය. පවුලේ බාලයා වු ශාලින්දට වැඩිමහල් සොහොයුරියෝ දෙදෙනෙක් සිටිති. රන්දුලිකා අමරකොන් ශාලින්දගේ වැඩිමහල් අක්කා වන අතර උදාරා අවන්ති අමරකොන් දෙවනි අක්කාය.

ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව රජරට සහ රුහුණු විශ්ව විද්‍යාලවලට යාමට සුදුසුකම් ලැබු ඔහු ඒ සියල්ල අතහැර කුඩා කළ සිට තිබු සිහිනයක් සැබෑ කර ගනිමින් කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රි ලංකා ගුවන් හමුදාවට එක් විය. 2019 ජනවාරි 27 වැනි දින කැඩෙට් නිලධාරියකු ලෙස බැදි දියතලාව පුහුණු පාසලේ හය මසක පුහුණු පාඨමාලාවක් හදාරා ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා පුහුණු ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිටියදි ඉකුත් දා සිදු වූ ගුවන් අනතුරෙන් ජිවීතක්ෂයට පත් විය.

15 වැනිදා දහවල් කන්තලේ සූරියපුර ප්‍රදේශයේදි ගුවන් අනතුරෙන් මිය ගිය ශාලින්ද විමුක්ති බණ්ඩාර අමරකොන් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සිටි අයෙකි. ඔහු පියාසර සැසි 84ක් අවසන් කොට ඇති අතර තවත් පියාසර සැසි 4ක් නිම කිරීමට තිබී ඇත. ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් දහවල් 1.00ට ගුවන් යානය පිටත් වී ඇති අතර ගුවන් ගත කර විනාඩි 15කට පමණ පසු එම ගුවන් යානය හා ප්‍රධාන මෙහෙයුම් මැදිරිය හා පැවැති සම්බන්ධතා බිඳ වැටී තිබේ.

සිය සොහොයුරාගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්ව සිටින උදාරා අවන්ති අමරකොන් මෙණෙවිය මෙසේ පැවසුවාය.

“අම්මා එයාට ආදරයට කීවේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉඳලම එයාට ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේම මල්ලි කිවේ මමත් කවද හරි පයිලට් කෙනෙක් වෙනවා කියලා. එයාගේ ඒ සිහිනය සෑබෑ කර ගන්න අපි ඉඩ දුන්නා. අපේ ගෙදර වීරයා මුළු රටේම වීරයා වෙලා.

ආයේ කවදාවත් එන්නේ නැති වෙන්න ඉගිලිලා ගියා. මදුරුවෙක්වත් මරන්නේ නැති මේ අහිංසකයා අපි දාලා යයි කියලා හිතා ගන්න බෑ. මල්ලි අන්තිමට කතා කලේ 13 වැනිදා ඉරිදා වීඩියෝ කෝල් එකකින්. එදා මම අම්මා, අක්කා එක්ක මල්ලි ගොඩක් වෙලා කතා කළා. අම්මා කීවා අවුරුදු 300කට විතර පස්සේ නත්තල් තරුවක් දකින්න ලැබෙනවා කියලා. එක බලන්න එන්න නිවාඩුවක් ලැබෙයි නේද කියලාත් ඇහුවා.

එයා අපි ඔක්කෝමලා හිනස්සලා අපි එක්ක ගොඩක් වේලා කතා කළා. අපි හිතුවේ නෑ මේ කතා කරන්නේ අන්තිම වතාවටද කියලා. මල්ලිට එහෙම දෙයක් වුණේ කොහමද කියලා අපිට හිතා ගන්න බෑ.”

තම පුතුගේ අකල් වියොවෙන් දැඩිසේ කම්පාවට පත්ව සිටි ශිරන්ති කුමාරි මාපිටිගම මහත්මිය දරාගත නොහැකි දුකකින් හඩාවැටෙන්නීය.

“පුංචි කාලේ ඉඳලාම අහසේ ඉගිළෙන්න තමයි හීන මැවුවේ. ඒ හීනේ එයාට සෑබැ කර ගන්න ගුවන් හමුදාවට බැ‍‍‍ඳෙන්න අවසරය දුන්නා. මම හිතුවේ නෑ මගේ අහිංසක කුරුළු පැටියා අපිව දාලා ඉගිලිලා යයි කියලා. එයා හැම දේටම දක්ෂයෙක්. පුහුණු කඳවුරේ තුන්සීයක් දෙනා අතරින් පළවෙනියා එයා. මගේ පණ මට නැති වුණා” යැයි ශාලිතගේ අම්මා හැගුම්බරව පැවසුවාය.

අරණායක ප්‍රදිප් කුමාර ධර්මරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();