පද්මිණි රණවක විනිසුරුවරිය හිටපු ජනපති මෛත්‍රීට දුන් ඇමතුමේ CD තැටිය කොමිසම හමුවේ වාදනය කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම කරන බවට තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සිටි එවකට මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය විසින් සිය උසස්වීම් ගැන සලකා බලන්නැයි පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දුන් දුරකථන ඇමතුමක හඬපටයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවට ඊයේ(17) මුල්වරට ඉදිරිපත් කෙරුණි.
2016 සැප්තැම්බර් 08 දින එකී නඩු තීන්දුව ලබා දී වසරක් ගත වූ පසු 2017 සැප්තැම්බර් 12 දින සිදු වූ එම දුරකථන සංවාදයේදී අභියාචනාධිකරණය සඳහා උසස් වීමට තමන් සතු එක් සුදුසුකමක් ලෙස 'දුමින්දගේ නඩු තීන්දුව' දුන්නේ තමා යැයි එහිදී හිටපු මහාධිකරණ විනිසුරුවරිය හිටපු ජනාධිපතිවරයාට පවසන ආකාරය කොමිසම ඉදිරියේ අනාවරණය විය.
මේ කරුණු අනාවරණය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් මත සිදු වූවක් බව පවසමින් ඔහුගේ පියා වන වරලත් ගණකාධිකාරී ප්‍රේමලාල් සිල්වා මහතා විසින් මෙම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි විමසීම් ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදීය.
''ජනාධිපතිතුමනි, ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා නම් අභියාචනාධිකරණයට උසස් වීමක් දෙන්න, මොකද මං නඩු තීන්දු ලක්ෂ ගාණක් දීල තියෙනවා. මා හරිම අවංකව වැඩ කරේ. හැකියාවක් තියෙනවා නම් පමණක් සලකා බලන්න කියල ඉල්ලීමක් කරනවා. මට තව අවුරුදු ගාණක් සේවය කරන්න ශක්තිය තියෙනවා. මං කවදාවත් බලපෑමක් කරලා නැහැ. කොච්චර තර්ජන ආවත් මෙම වසර 27ක්ම අවංකව සේවය කළා. මං දුමින්දගේ තීන්දුවත් දුන්නා, චන්ද්‍රිකා මැතිනියගේ බෝම්බ කේස් එක අනිත් විනිසුරුවන් අහන්න බය වෙද්දී මං තමයි ඒකත් ඇහුවේ'' යැයි හිටපු මහාධිකරණ විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කරන අයුරු කොමිසම හමුවේ හෙළිදරව් විය.
පහන් විජේසේකර


0 Comments