ජීවිතයේ කවදාක හෝ මම යන්න ඕන මෙතෙන්ට කියලා ඔබටත් ඉලක්කයක් තියෙන්න ඇති. නොකිව්වට මොකද… ඔබ අපි කොයි කාටත් ඒ ධර්මතා පොදුයි.සමහරු ඉලක්ක කරා ලේසියෙන් ළඟා වෙනවා. තවත් සමහරු ඉලක්ක එක්ක ඔට්ටු වෙවී ජීවිත කාලයක් වෙහෙසිලා පරාද වෙනවා. ඉලක්කය හීනයක් කරගෙන ඒ හීන එක්ක ජීවත් වෙලා හීන තුරුල් කරන් මැරිලා යන අය කොච්චර ද….
ඒත් කෙදිනකවත් බිම්ෂානි තුළ හීන තිබ්බෙ නෑ. ඇයට ඉලක්ක තිබුණා. ඇය ඒ ඉලක්ක නිතරම අභියෝග බවට පෙරළ ගත්තා. ජීවිතය කියන්නේ සටනක් නම් අභියෝග ජය ගන්න එක ඒ සටනට මහ කජ්ජක් නෙවෙයි. වත්මන් ශ‍්‍රී ලංකා පොලිසියේ සුබසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය ඉලක්ක ගැන හැමදාම හිතුවේ එහෙමයි. ඉලක්කයක් අභියෝගයක් වුණාට ඒ ඉලක්කය කොහොම හරි ජය ගත යුතුමයි කියලා ඇය හිතන්න ඇති.
පුංචි කාලේ ඉඳලම ඈ හීන දැක්කෙ නෑ. ඒත් උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය තදින් ඇවිලිලා යද්දි, දකුණෙන් වීරෝදාර තරුණ තරුණියෝ ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගන්නට කැප වෙද්දි ආරක්ෂක අංශයකට බැඳීම පිළිබඳ පුංචි බීජයක් ඈ තුළත් පැලපදියම් වෙන්න ඇති.
ඇගේ උපන් ගම දකුණේ ඈත වීරකැටිය කියන ගම. රටට අභිමානවත් ජනාධිපතිවරු අගමැතිවරු දායාද කරපු ගමක් වන වීරකැටියේ මිරානියේ ගල්පොත්තයාය කියන පුංචි ගමේ ඉපදිලා මීගස්ආර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා තංගල්ල බාලිකා විද්‍යාලය හරහා උසස් අධ්‍යාපනයට එනකොට ගමේ නම ලෝකෙට අරන් යන්න ඕන කියල පුංචි හැඟීමක් බිම්ශානි තුළ තිබෙන්නත් ඇති.
බිම්ෂානි උසස් පෙළ සමත් වෙලා රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ 1991දී. විශ්ව විද්‍යාල උපාධියක් ලබාගෙන ම පොලීසියේ ඉහළ නිල තලයකට ඇතුල් වෙන්න ඕන කියලා ඒ දවස්වල අදහසක් ඇති වෙන එකක් පුදුමයක්. විශේෂයෙන් ම පොලිසිය වගේ ආයතන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නයාට අඳුකොළ වගේ කියලනෙ කිව්වෙ. ඒත් බිම් බිම්ෂානි ගේ හිත ඇයට එහෙම හිතන්න ඉඩ ඇරියෙ නෑ. කවදා හරි උපාධිය සමත් වෙලා ඉඳුරාම ඒ. එස්. පී. තනතුරක් ලබනවා කියලා හිතාගෙන ඇය පොලිසියට අයදුම්පතක් දැමූවා. ඒ අනුව ඇයට 1997 දී උපාධි ප‍්‍රතිඵල ලබන්නත් කලින් උප පොලිස් පරීක්ෂකවරියක් විදිහට පොලිසියට බැඳෙන්න ඇයට වරම් ලැබුණා.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබමින් ඉන්න කාලේ ම ඇගේ හිත ඇයට කිව්වේ කොහොමහරි අධිකාරි ලත් තනතුරකට උසස් වෙන්න. එහෙම ඉලක්කයක් තියා ගෙන ඒක අභියෝගයක් විදියට බාර අරගෙන බිම්ශානි ඉතා හොඳින් සිය පුහුණුව නිම කළා. පුහුණුවෙන් පස්සේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන්න කැමැත්ත පළ කර ඒ සඳහා ප‍්‍රවේශයක් ලබා දෙන තිබුණත් එවකට රටේ තිබුණු යුදමය වාතාවරණය අනුව ඇයට මුල් ම සේවය සලසන්න සිදුවුණේ වව්නියාව පොලිසියේ. යුදමය උණුසුම් පරිසරයකට පුරුදු පුහුණු වෙලා හිටපු පළපුරුදු තරුණ පොලිස් නිලධාරීන් සමඟ කරට කර සේවයේ යෙදිලා මුර කපොලූවල බංකරවල සේවය කළ බිම්ශානි ලොකු පන්නරයක් ලැබුවා. පිරිමි කරන ඕනම දෙයක් ඔවුන් හා කරට කර සිටිමින් ගැහැනුන්ටත් කළ හැකි බව ඇය වටහා ගත්තා. අවුරුදු 26 ක තරුණියක ලෙස පොලිස් සේවයේ දුෂ්කර අත්දැකීම් ලැබූ බිම්ශානි 1998 දී කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සේවයට සම්බන්ධ වෙනවා. මූල්‍ය අපරාධ, ආගමන විගමන අපරාධ ආදිය ගැන ලොකු පරිචයකුත් ලබා ගන්නවා. ඒ වෙනකොට පොලිස් පරීක්ෂකවරියක් ලෙස සමත්ව සිටින දිල්ශානි කෙලෙසකවත් ඇගේ ඉලක්කය අතහරින්නෙත් නෑ. 2001 වසරේ දී සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා වන සෘජු බඳවා ගැනීම් පිණිස විභාගයට ඇය උපාධිධාරිණියක් ලෙස මුහුණ දී ඉන් සමත් වනවා. එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඒ සඳහා පත් වීමක් ලබන්නට තරම් ඇය ඉඩකඩක් ලබන්නෙ නෑ. එවන් විභාගයක් සමත් ව සිටියත් ඇය තවදුරටත් පොලිස් පරීක්ෂකවරියක් ලෙස අංශ ගණනාවක ම සේවය කරනවා. පොලිසියේ පර්යේෂණ හා පුනරීක්ෂණ අංශය, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය පොලිස් ඇකඩමිය ආදී සේවා ස්ථානවල ඇයට තවදුරටත් ඉඩකඩ වෙන් වෙනවා.
සෘජු බඳවා ගැනීම සඳහා වන තරග විභාගයෙන් සමත් වී පොලිසිය තුළ කටයුතු කරන උපාධිධාරි පොලිස් පරීක්ෂකවරියට නිසි සාධාරණය ඉටු නොවීම ගැන ඇය නිහඬව ඉන්නෙත් නෑ. තමන්ට සිදු වූ අසාධාරණය ගැන කියමින් ඕ නීතියේ පිළිසරණ සොයා යන්නටත් පෙළඹෙනවා ඒ අතරේ ඇයට විදේශගත වන්නටත් සිදු වනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරියට අනුයුක්තව ඇය 2007 දී නැගෙනහිර ටිමෝරයට යනවා. රාජකාරියේ දී ඇයට ව්‍යාකරණය උනේ කැපවීම හා උනන්දුව විතරයි. ඒ ව්‍යාකරණය හොඳින් දැන සිටි නිසා ඇයට කොතනත් හොඳ පිළිගැනීමක් ලැබෙනවා.
මේ අතර ලංකාවේ තවත් වෙනසක් සිදු වෙනවා. පොලිසියේ තිබුණු අක‍්‍රමවත් උසස්වීම් පටිපාටිය හා නොසැලකිල්ල නිසා, විභාග සමත්ව සිටියත් ඉහළට යා ගත නොහැකිව පීඩා විදින බිම්ශානි වැනි කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ ඛේදවාචකය ගැන ආරක්ෂක ලේකම්වරයා පවා අවධානය යොමු කරන්නේ මේ මොහොතේ. එබඳු නිලධාරිනියන්ට ඉහළට යන්නට ඔහු විසින් පොලීසියේ උසස් පොලිස් තනතුරු 10ක් කාන්තාවන් සඳහා වෙන් කරන්න තීරණය කරනවා.
එහෙත් මෙම අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගන්නට බිම්ශානිට නොහැකි වෙන්නේ ඇය ඒ වන විට විදේශගතව සාම සාධක බලකායේ කටයුතුවල නියැලී සිටි නිසයි. බිම්ශානි නැවත ලංකාවට එන්නට පෙර ඉහත කී පොලිසියේ ඉහළ රැකියා පුරප්පාඩු අවස්ථා සියල්ල, බිම්ශානිට පසුව පැමිණි පොලිස් නිලධාරිනියන්ගෙන් පුරවා දමන්නට පොලිසිය කටයුතු කරනවා.
අවසානයේ ඇය නීතිමය වශයෙන් ගෙන යන සටනින් ජය ගන්නට සමත් වෙනවා. ඇයට සිදු වූ අසාධාරණය නිවැරදි කරමින් 2013 දී ඕ පොලිස් අධිකාරී තනතුරෙන් පිදුම් ලබනවා. එම තනතුර 2007 වසරේ සිට බලාත්මක කරන්නට පියවර ගෙන තිබීම තමයි මෙහි තිබුණු විශේෂත්වය වුණේ.
මේ අතර බිම්ශානි දෙවැනි වරටත් සාම සාධක බලකායේ රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යනවා. ඒ වන විට පොලිස් අධිකාරීවරියක් වන ඇයට මෙවර රාජකාරි ලැබෙන්නේ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පිරිස් පාලන නිලධාරීනිය විදිහට.
නැවතත් ලංකාවට පැමිණෙන ඇය කොළඹ පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා අපරාධ විමර්ශන කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වශයෙන් සේවය කරන්න පටන් ගන්නවා. එහෙත් ඒ වන විට ඇයගේ සුදුසුකම් හරහා ඇයට හිමි විය යුතු උසස් වීම් හා වරප‍්‍රසාද වෙනුවෙන් ඇය වෙනමම සටනක් අරඹනවා. පොලිසියේ කාන්තාවන්ට නිතරම දෙවන තැන ලබා දෙමින්, තීන්දු ගැනීමේ හා කළමනාකරණ සේවයේ යෙදීමේ ප‍්‍රස්ථා අහිමි කරමින් ගෙනයන ප‍්‍රතිපත්තියට එරෙහිව ඇය සටන් වදිනවා. මේ වන විට ඇය දේශීයවත් විදේශීය වත් ලබා තිබූ සුදුසුකම් හා අත්දැකීම්ද සුළුපටු වූයේ නෑ.
ඇමරිකාවේ ලූසියානා විශ්වවිද්‍යාලයේ හා ලූසියානා පොලිස් විද්‍යායතනයේ ඇය විශේෂ පුහුණුවක් ලබා තිබුණා. ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ විමර්ශනය පිළිබඳ පාඨමාලාවකුත් හැදෑරූ ඇය බැංගලෝර් විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියකුත් ලබා ගන්නට සමත් වුණා.
මේ වන විට අවුරුදු 154ක් වියපත් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් නිලධාරීන් 85,000 පමණ සේවයේ නියුතුව සිටියා. ඒ අතර කාන්තා නිලධාරිනියන් සිටියේ 9000 පමණයි. පොලිසියේ සියලූම දිශාවන් භාරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 45 දෙනෙකු සේවය කළත් එකදු කාන්තා පොලිස් නිලධාරිනියකටවත් එබඳු උසස් තනතුරකට උරුමකම් කියන්නට හැකියාව ලැබී තිබුණේ නැහැ.
එහෙත් බිම්ශානි ඒ සඳහා සටන් වැදුණා. විභාග සමත් වන්නට, පුහුණු වීම්වලට සහභාගි වන්නට, අනෙකුත් කාර්යාල හා ක්ෂේත‍්‍ර රාජකාරිවල නියැළෙන්නට, පිරිමින් හා සම සමව කාන්තාවන්ටත් හැකි නම් ඇයට නියෝජ්‍ය පොලිස්පතිනියක් වන්නට බැරි ඇයි යන තර්කයේ ඈ සිටියා.
ඒ අනුව එහි ජයග‍්‍රාහි ධජය අතට ගන්නට බිම්ශානි ජාසිංහාරච්චිට වැඩි කලක් ගත වුණේ නෑ. ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ මුල්ම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස මේ නොබෝදා ඕ උසස් වීමක් ලබා ගත්තා.
දිවංගත සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනිය නිදහස් ශ‍්‍රී ලංකාවේ අගමැතිවරිය වන තුරුම ලොව කිසිම රටක කාන්තාවන් අගමැතිනිය වී තිබුණේ නෑ. ඇගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් ලංකාවේ තවත් එක් රාජ්‍ය නායිකාවක් බවට පත් වුණා. රාජ්‍ය තන්ත‍්‍රයේ වූ වගකීම් දරන්නට කාන්තාවන්ටත් පිරිමින්ට සේම හැකි බව ඔවුන් මැනැවින් ලෝකයට පෙන්වා දුන්නා. නියෝජ්‍ය පොලිස්පතිනියක් ලෙස බිම්ශානි කරන ලද විප්ලවයත් ඊටම දෙවෙනි නෑ.
බිම්ශානි ට මේ ස්ථාවරයට එන්න ලොකු පවුල් පසුබිම් තිබුණේ නැහැ. ලොකු ලොකු පාසල්වලින් ඉගෙන ගනිපු කීර්තියක් තිබුණෙත් නැහැ. පොලීසියේ ඉහළ රැකියාවක් කළ නෑදෑයන්ගෙන් කියා කිසිවෙකුගෙන් තල්ලූවක් තිබුණෙත් නැහැ. සාමාන්‍ය පවුලකින් බිහිවී වීරකැටිය කියන වාසනාවන්ත වරප‍්‍රසාද ලත් ගම්මානයෙන් බිහිව ආවත් මැදමුලන රාජතේජස ලැබී තිබුණේත් නැහැ. එහෙත් ඈ මොකක්දෝ වාසනාවක් ගමෙන් නගරයට මීට මොලවාගෙන එන්නට ඇති. වීරකැටිය ගල්පොත්තාවල ගමේ සාමාන්‍ය වැසියන් වන බිම්ශානිගේ දෙමව්පියන්ට දුවා දරුවන් දහ දෙනයි. බිම්ශානි කියන්නේ පවුලේ තුන්වෙනියා. පවුලේ දහ දෙනාම අද විශ්වවිද්‍යාල උපාධි ලබාගෙන ඉහළ රැකියාවන් කරමින් වැජඹෙන්නට තරම් වාසනාවක් මේ පවුලට තිබුණා. දොස්තරවරු ඉංජිනේරුවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු විදුහල්පතිවරු පරිපාලන සේවකයින් කෘෂි අධ්‍යක්ෂවරු මේ පවුල පිරෙන්න හිටියා. මෙවන් සාර්ථක පවුලක නියමුවන් වන්නට තරම් ඒ දෙමව්පියෝ කොතරම් වාසනාවන්ත වන්නට ඇත්ද.
බිම්ශානි දිරිය දියණියක්. දිරිය කාන්තාවක්. හොඳ බිරිඳක් හොඳ ගෘහනියක් ලෙසත් ජීවිතය දකින්නට තරම් පින්වන්ත කාන්තාවක් බව අප අමුතුවෙන් කිව යුතු නෑ. පොලිස් සේවයේ මේ තරම් දුර ගමනක් ආවත් ජීවිතයේ තවමත් 48 වැනි කඩඉම පමණක් පසු කළ ඇයට හති නොවැටී තව ඉදිරියට යා හැකි දුර බොහොමයි.
වාසනාව ඇය ළඟ නම්, ඇය ඊළඟ ඉලක්කය ද අභියෝගයක් කර ගන්නා දිනය වැඩි ඈතක නැත බව මට නොසිතුනා නොවේ.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2JlVQTF
tribune
0 Comments