Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිත පුරා ඇවිදින ‘අංචි පුම්මා’

නාලා කොණ්ඩෙ මුදාහැරියම කිතුල් රෑනක් වගෙයි ඇයගෙ වරලස. වකගැහුණු කළු දෙබැමක්, පැහැපත් සමක්, සුන්දර දත් දෙපෙළක්, හිනා වෙද්දි දෙකොපුල් වළගැහෙනවා. කොච්චර සුන්දර රූසපුවක්ද තිබුණෙ ඇයට! මට ඒ දවස්සල ඈ තරං රුවැත්තියක් තවත් නැති තරං.

ගෙදරට දිග සායක් අඳින ඈ, ඊටම ගැළපෙන්නයි හැට්ටෙ අඳින්නෙත්. මහන ගෙදර අම්මා මහපු ගවුමක් අඳිනව පෙළක් දාට. ඈ දහම් පාසලට ඇන්දෙ, ළමා සාරියක්. ඉස්කෝලෙ යද්දි ඇඳගෙන එන සුදු ගවුමත්, නිල්පාට දිග ටයි පටියත්, ටයි එක මැද දිලිසෙන පහනත් පේන මානයක දකිනකං මට නෑ ඉවසුමක්. මටත් ඉඳහිටල හම්බ වෙන ‘චුයිම්ගම්’ එකේ බාගයක් සාක්කුවේම දිය වෙන්න කලියෙං ඇය එන්නම ඕනෙ.

ඇයගේ පාසල ඇරෙන්නෙ තුනට. ‘අංචි පුම්මා’ කියලයි මං ඇයට කියන්නෙ. ඈ අපෙ අම්මගෙ බාලම නංගි. අම්මා තලේළුයි. පුංචි අම්ම නං සුදුයි. ඇයට මං ආදරේ කරන්න පටන් ගත්තෙ කවරදා ඉඳලද කියල නං මට මතකයක් නෑ. මගෙ පුංචි ගවුමෙ යටම සාක්කුවෙ ගුළි වෙලා දිය වෙන්න ළඟ චුයිංගම් බාගෙ ඇයගේ අතේ තියනකල් මට නෑ ඉස්පාසුවක්. පොත් ලොට්ටෙකුත් අතේ දරං, එනව අන්තිමේ අංචි පුම්මා... ඇගේ අතක එල්ලීගෙන මං යනව ගෙට...

ගෙදර වැඩ කරන සොපී මේ වෙලාවට කුස්සියෙ වැඩවලින් නිදහස්. සුවඳ සබන් ගාලා, ළිඳේ වතුර නාලා, පියරු චුට්ටක් ගාලා, ලස්සන චීත්තෙකුත් ඇඳල, නිදහසේ ඉන්නෙ. සොපී ඉන්නෙත් ‘සිල්නෝනා’ එනකල් බලාගෙන. සිල්නෝනා කියල කියන්නෙ පුංචි අම්මට. පාන්දර ජාමෙ නැගිටල, කඩයප්පන් හදනව සොපී. මේ වෙලාවෙ ඇයට තියෙන්නේ යන්තමට වගෙ පුංචි විවේකයක්.

සෙටියෙ කොනක ඈ යන්තමට වගෙ හාන්සි වෙලයි ඉන්නෙ. අම්මගෙයි තාත්තගෙයි මඟුල් පින්තූරෙ එල්ලලා තියෙන්නෙ කාමරේ ඇතුළෙ. දෙන්නා දික්කසාද වෙලා කිව්වට මං හිතුවෙ කවදහරි දවසක තාත්තා එයි කියල.

පුංචි අම්මා හුඟ වෙලාවට දෙහි උළුහාල් තම්බල ඔළුවෙ ගානව. නාලා ගෙට එද්දි හරි අමුතු සුවඳක්. පංගුවක්දාට සිවක්කා, ගොඩපර එහෙමත් දාලා නානව අංචි පුම්මා. ඇගේ රැළි වැටුණ කොණ්ඩෙට එඬරු තෙල්සාත්තුව කරන්නෙ සොපී නැත්තං ආච්චි. අංචි පුම්මා ඇයගේ දිගු කොණ්ඩය රැකගත්තෙ ඒ විදියට සාත්තු සප්පායම් කරල.

අම්ම නං එහෙම නෑ. ඔහේ ඉන්නව. පෙළක්දාට ඉඩක් ලැබුණොත් හීන් පනාවක් අරං අම්මා මගෙ කොණ්ඩෙ පීරනව.

අංචි පුම්මාත් මෙහෙම ගිහිං දවසක දීග යයි කියල සොපී කියනව. ඇත්තටම පුංචි අම්මා මනමාලියක වී මේ ගෙදරින් යනව බලන්න මං කොච්චර ආසද? ආච්චිට නං තාම ඒ ගැන වගක් නෑ වගෙ. අංචි පුම්මා තාම ඉස්කෝලෙ යනව. වෛද්‍ය විද්‍යාලයට යන්නයි ඇයගේ එකම බලාපොරොත්තුව. සත්ත්ව විද්‍යාව, රසායන, තෲණ විද්‍යාව ඇගේ විෂයයන්. ඉස්කෝලෙන් අරං එන ලොකු, බර ඉංගිරිසි පොත් එක්කම මටත් ගේනව ලිහිණි පොත්, චරිත කතා පොත් එහෙම. අම්මා ඉරිදා සිළුමිණ පත්තරේ කවි පිටු කියවන්නෙ ආසාවෙන්, හයියෙන් ඇහෙන්න. ඇයගේ කවි ගායනා අහන් ඉන්නත් ආසයි. කාමරේ මුල්ලෙ මහ පෙට්ටගම තමයි අපේ අම්මගෙ ඇඳ. සොපී නිදියන්නෙත් ඒ ළඟ පැදුරක් එළාගෙන. මායි ආච්ච්යි දිග පන් පැදුරක් එලාගෙනයි නිදියන්නෙ. මල්ලිත් එනව පෙලක්දාට අපි ළඟට.

ආච්චි කොළඹ යනකොට කඩේ හිටියෙ අම්මා. අම්මා කඩේ ඉන්නෙ හරි ලස්සනට ඔසරිය ඇඳල, හවඩි පටකුත් ඉනේ. රත්තරං මාල පොටකුත් කරේ. හතර වටෙන් එන සෙනඟ කඩේ.

‘නෝනක්කේ... කොහොමද පොඩි හාමිනේ?...’ කතා ගොඩයි.

අම්මා කඩේ උන්නෙ හරි සතුටින්. වරායේ වැඩ කරන විල්බට්ටයියා එන්නෙ හවසට වැඩ ඇරිල. තේ කෝප්පයක් බොන්න. රෑ ජාමයක් වෙනකම්ම විල්බට්ටයියා කතාව ජාති මාමා හිටියොත් ඔහුත් හවුල් වෙනවා කතාවට. වැඩියෙන්ම දේශපාලනය කථා. ඕවා අපිට දිරවන්නෙ නැති කතා.

හැන්දෑවරුවෙ මිදුලෙ වවපු මල් පාත්තිවල පිපුන මල්වල සුවඳ ගලං යනවා. අම්මා මල් වැව්වෙ ආසාවෙන්. බාබටන්, රතු රෝස කහ රෝස බේබි රෝස කැනාස් සීනියාස් කණේරු හෙන්දිරික්කා, නැති මල් පැලයක් නෑ. ඒ පාත්තිවල. සමන් පිච්ච, ගැට පිච්ච මල් සුවඳ උහුලන්නත් බැරි තරං.

තරුණ දෙදරුවන්, බාල දරු මුනුපුරන් ජීවත් කරවන්ට ආච්චි මහන්සි වෙනව.

එක්තරා දවසක හැන්දෑවෙ උදේ ගමනක් ගිය අම්මා එනකං හිටිය අපි බලාගෙන. හැන්දෑව හැරිල කරුවලට. තාම නෑ ඈ. මල්ලී ඉන්නෙ බිං කරුවලත් එක්කම බිම ඇනතියාගෙන, අම්මා එනකං. රූස්ස අඹ ගහ මුදුනින් ගලං එනව මහ කලුවරක් මල්ලී ඒත් ඇතියාගෙන. වත්තම කළුවරෙන් ආතුර වෙලා.. අංචි පුම්මා එනව අපි ළඟට. අපි දැං කරුවලේ. "යං පීරිති ගෙට, දැං කරුවලයිනෙ, අම්මා හෙට ඒවි...."

ඊට පස්සෙ කවරදාක වත් අම්මා ආවෙ නෑ. අංචි පුම්මා හිටියෙ දුකින් කඳුළින්. කොහොමද ඉස්කෝලෙට යන්නෙ? පුංචි අම්මගෙ අපේක්ෂා සියල්ලම වගෙ බිඳිලා යනව. දැං මල්ලි පුංචිගෙ පස්සෙන්මයි. අංචි පුම්මට ආයෙත් මාසෙකිනුයි ඉස්කෝලෙ යන්න ලැබුණේ.

කාලයක් ගියා. ආච්චිත් ලෙඩ වුණා.

සොපීව එක්කගෙන ගියා එයාගෙ අයිය ඇවිල්ලා. කඩේත් වැහුවා. පුංචි අම්මාට ඈතකට ගුරු පත්වීමක් ලැබුණා. මාමා ආච්චිට සාත්තු සප්පායම් කෙරුවත් බේරගන්න බැරි වුණා. තවත් කාලයක් ගියා. මටත් යන්ට සිද්ද වුණා ගෙදරින්. මල්ලිත් බැන්දා. ගෙදර ඉතුරු වුණේ මාමයි, පුංචි අම්මයි.

පුංචි අම්මා ඉගෙනගත්ත ඉස්කෝලෙටම ගුරුපත්වීම හදාගත්තා. පුංචි අම්මා ඊළඟට කෙරුවෙ ආච්ච් හදපු ගෙවල් තවත් වැඩි-දියුණු කරන එක. දැං මාමත් නෑ. පාළුව වැඩියි අංචි පුම්මගෙ. තනියට ඒ මහ ගෙදර අංචි පුම්මයි වසම වස කළු බල්ලයි විතරමයි. කොරෝනා නිසා යන්න බෑ ඈව බලන්ට. ළඟදීම පුංචි අම්මා අපි කවුරුත් උන්නු මහ ගෙදර මහා සංඝයා විෂයයෙහි දානමය පුණ්‍යකර්මයක් සූදානම් කරලා... ඇය කරන ඒ පින් හේතු වේවා සැමට අමා මහ නිවන් සුව ලබන්නට... සාධු!සාධු!සාධු!!

ලක්ෂ්මී බෝඹුවල



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();