Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘වාරි සෞභාග්‍යයා’ වැව් ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපෘතියට ත්‍රිවිධ හමුදාවේ සහාය

“වාරි සෞභාග්‍යයා“ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතියට ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහය හිමිවේ.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වාරි සෞභාග්‍යයා“ විශේෂ කාර්ය සාධන බලකායේ මූලික මෙහෙයුම් කමිටු රැස්වීමේදී රටපුරා ඇති වැව්, අමුණු හා කෘෂි වාරි පද්ධති 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමේ තීරණය ගැනිණි.

මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්, වාරි මාර්ග අමාත්‍යංශයේ ලේකම්, රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරු, වාරි මාර්ග සහ මහවැලි ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැව් ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් වේ.

එහි සමාරම්භක අවස්ථාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් 100ක් හඳුනාගෙන එම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකළ යුතු බවට තීරණය වූ අතර එම කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ගේ පූර්ණ මඟපෙන්වීම මත ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ.

ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් හඳුනාගැනීම සඳහා වැව් පිහිටි ගම්මානවල ආගමික සිද්ධස්ථාන, පාසල් ප්‍රජාව, ගොවිජන සහ තරුණ සංවිධානවල සාමාජිකත්වය සහිතව ග්‍රාමීය කමිටුවක් ස්ථාපිත කිරීමටත්, එම කමිටුවේ මඟපෙන්වීම හා ශ්‍රම දායකත්වය ලබාගනිමින් ප්‍රතිසංස්කරණය කරන වැව් ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක්ද සැලසුම් කර ඇත.

ඒ අනුව ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියට කුඹුක් , මී වැනි ගස් රෝපණය කිරීමටත් තීරණය කෙරිණි.

මෙම සියලු කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියාත්මක කෙරේ.

චන්දිමා කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();