Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු අභියෝගවලට විසඳුම් සෙවීමට චීනය සමඟ සමීපව කටයුතු කරනවා

අගමැති මහින්ද රාජපක්ෂ

ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව කැප වනවා

ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු පොදු අභියෝගයන්ට සාමූහික විසඳුම් සෙවීම සඳහා චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වත්මන් තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අගමැතිවරයා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැඟීමට සහ ලොව පුරා සංචාරකයන් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියෙචි (Yang Jiechi) මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීතදූත පිරිස ඊයේ (9) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා - චීන සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හමුව පැවැත්විණි.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියෙචි (Yang Jiechi) මහතා ඇතුළු දූත පිරිස, පිළි ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

යැං ජියෙචි (Yang Jiechi) මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පිළි ගැනීමට ලැබීම ගැන ඉතා සතුටුයි. මම හිතනවා ඔබ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා හොඳ සාකච්ඡාවකට එක්වන්න ඇතියි කියා. අප සෑම විටම දෙරට අතර සමීප සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වනවා. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරයෙන් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට හා චීනයට හැකිවීම ගැන මම සතුටු වෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව සහයෝගය දැක්වීම පිළිබඳ චීන රජයට මා කෘතඥතාව පළ කරනවා. කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කළ ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම්වලට චීන රජයට ස්තූතිවන්ත විය යුතුයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව රටේ ඇති වූ ආර්ථික බලපෑමෙන් ගොඩ ඒමට බොහෝ දේ කළ යුතුයි. අපේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා කටයුතු කිරීමේ දී ආයෝජකයන් අතර විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට චීන රජය අතර පවත්නා අපගේ දිගුකාලීන මිත්‍රත්වය භාවිතා කිරීමට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව, රජය ලොව පුරා ආයෝජන පිළි ගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාව වන්නේ කොළඹ වරාය නගරයයි.

ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන කිරීමට චීන සමාගම් දිරිමත් කිරීමට චීන රජයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වනවා. එය අපනයන ආදායමක් ඇති කිරීමට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරී වනවා.

මේ තත්ත්වය හමුවේ, සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය වශයෙන් දැඩි ලෙස බලපෑම් ඇති වී ඇති බව පෙන්වා දුන් අගමැතිවරයා, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැඟීමට සහ ලොව පුරා සංචාරකයන් සඳහා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සැපයීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවද පැවසීය. මෙම ගෝලීය වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු වසංගතයෙන් මතුවන පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා සාමූහික විසඳුම් සෙවීමට චීන රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියෙචි (Yang Jiechi) මහතා ද අදහස් පළ කළ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරන බව පැවසීය. මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ ඵෙතිහාසික දැඩි මිත්‍රත්වයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. දෙරට අතර එම මිත්‍රත්වයේ බැඳීම මේ දක්වා යාවත්කාලීන වෙමින් පවතින බව සඳහන් කළ යැං ජියෙචි (Yang Jiechi) මහතා කොවිඩ් -19 වසංගත තත්ත්වය පරාජය කිරීම වෙනුවෙන් රටවල් දෙකම එකට අත්වැල් බැඳ කටයුතු කරමින් සිටින බව සිහිපත් කළේය.

චීනය කොවිඩ්-19 පරාජය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමදව ලබාදෙන බවත්, ශ්‍රී ලංකාව කොවිඩ්-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවත් යැංග් ජියෙචි මහතා පැවසීය. දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේ දී ලැබූ ජයග්‍රහණ චීනයට මෙන්ම ශ්‍රී ලංකාවට ද ඇති බව පෙන්වා දුන් යැං ජියෙචි මහතා සෑමවිටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම්වලට අවශ්‍ය දිරිමත් කිරීම චීන රජය විසින් ඇති කර තිබෙන බව කීය.

යැං ජියෙචි මැතිතුමා මෙසේ ද පැවසීය.

කොළඹ වරාය නගරය ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව සංවර්ධන ක්‍රියාදාමයට අපගේ දායකත්වය ශ්‍රී ලංකාවට දැනටමත් හිමිව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය දෙරට අතර සබඳතාවට ඉතා වැදගත්. කොවිඩ්-19 තත්ත්වය පාලනය වූ වහාම එම සබඳතා නැවත අඛණ්ඩව පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. චීනය ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ආනයනය කිරීම ඉහළ දමා තිබෙනවා. අපගේ මෙම සංචාරය ඔස්සේ දෙරට අතර සබඳතාව තවත් පුළුල් වනු ඇතැයි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමා එක්ව ද්විපාර්ශ්වීය සබඳතා තවත් වර්ධනය කිරීම ඔස්සේ ආර්ථික සහයෝගීතාව මත දෙරටේම සංවර්ධන කටයුතු තවත් පුළුල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. යැයි යැංග් ජියේචී මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();