Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුනරුථාපනය වූ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට මෘදු කුසලතා සංවර්ධන පුහුණුවක්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ 30 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණුව ලබා දීමේ කටයුතු පසුගියදා(14) පැවැත්වුණි.
 
ජාතික ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහි වූවන් නිසි පරිදි සමාජගත කිරීමේ වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකය හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව එළඹි ගිවිසුම ක්‍රියාවට නංවමින් එහි ආරම්භක පියවර ලෙස මෙය සිදු කෙරේ.  
 
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානී ට්‍රොවෙල්ස් වෙස්ටර් මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී වැඩසටහන ආරම්භ කෙරුණි. 
 
දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 58 කින් යුත් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලයට අයත් කටුනායක යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය හා එහි කාර්ය මණ්ඩලය පූර්ණ කාලීනව මෙම පුහුණු කටයුතු සඳහා සිය දායකත්වය දක්වනු ලැබේ.
 
නුදුරේදී ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ පුහුණුලාභීන් වෙත පෞරුෂ වර්ධන, මෘදු කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණුව ලබා දීම දීප ව්‍යාප්ත කිරීමේ අරමුණින් සෑම දිස්ත්‍රික්කයකටම එක් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ජාතික යොවුන් සේනාංකය පියවර ගෙන ඇත.  
 
දස දහස් ගණන් තරුණ තරුණියන්ට මෘදු කුසලතා සංවර්ධන පුහුණුව ලබා දෙමින් ඔවුන් නිවැරදිව සමාජගත කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කළ ජාතික යොවුන් සේනාංකයට මෙය අලුත් අත්දැකීමක් වේ. මනා පෞරුෂයකින් යුතුව සමාජයට, වැඩ ලෝකයට රටේ සහ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වීමට ජාතික යොවුන් සේනාංකය කැප වන බැවින් එයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට සියලු දෙනා වගකීමෙන් මේ සඳහා දායකත්වය දක්වන අතරම, මෙම පෞරුෂ සංවර්ධන පුහුණු පාඨමාලාවට සමගාමීව ජාතික යොවුන් සේනාංකය මඟින් ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ විෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත සහතික පත්‍ර දෙකක් පාඨමාලාව අවසානයේ දී පුහුණුලාභීන් වෙත ලබා දීමට තීරණය කර ඇත. 
 
එමෙන්ම, පළමු කණ්ඩායමේ පුහුණුලාභීන් වෙත පාඨමාලාවෙන් පසු තමන් තෝරා ගනු ලබන ඕනෑම වෘත්තීය පුහුණුවක් සඳහා යන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව සඳහා ශිෂ්‍යත්වයක් ජාතික යොවුන් සේනාංකය මඟින් ලබා දෙන බවත්, මූලික අදියර වන මෙහිදී 30 දෙනෙකු මෙම පාඨමාලාවට ඇතුළත් වන අතර, එය ඉදිරි මාස 03 ඇතුළත සංවර්ධනය කර පුහුණුලාභීන් 200 දෙනෙකු බඳවා ගනිමින් පුහුණු කටයුතු සිදු කරන බවද ජාතික යොවුන් සේනාංක සභාපතිවරයා සඳහන් කළේය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();