Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රග්බි ක්‍රීඩාව යළි පණ ගැන්වීමට සෞඛ්‍ය - ක්‍රීඩා උපදෙස් පතයි

රග්බි සභාපති රිස්ලි ඉල්යාස් මහතා මාධ්‍ය හමුවේදී. උප සභාපති රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි, තරගාවලි අධ්‍යක්ෂ රංජිත් වීරසිංහ සහ නියෝජ්‍ය සභාපති නසීම් මොහොමඩ් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - රංජිත් අසංක

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 6කට වැඩි කාලයක් වසා දැමූ මෙරට රග්බි ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීම සඳහා ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල උපදෙස් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත. ලබන ඔක්තෝබර් මාසයේදී අන්තර් සමාජ සත් සාමාජික තරගාවලි 4කින් යළි ක්‍රීඩාව පණ ගැන්වීම රග්බි ආයතනයේ බලාපොරොත්තුව වී තිබේ.

මෙරට රග්බි ක්‍රීඩාවේ අනාගත සැලසුම් පැහැදිලි කිරීමට සහ නව පරිපාලනයේ නිලධාරීන් හඳුන්වාදීමට පසුගියදා කොළඹ නාවික හමුදා ‘ලයිට් හවුස් ගැලි’ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව සභාපති රිස්ලි ඉල්යාස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

රග්බි ක්‍රීඩාව යළි ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා සිටීමට පෙර ඒ සඳහා නිශ්චිතව සූදානම් විය යුතු බව මෙහිදී ප්‍රකාශ කළ රග්බි ආයතනයේ සභාපතිවරයා, මේ මස 17 වැනිදා ක්‍රීඩකයන් සහ සෙසු නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි කියා සිටියේය. මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ 8ක් සහ කාන්තා ක්‍රීඩා සමාජ 4ක් සහභාගි කර ගනිමින් අදියර දෙකකින් යුතු සත් සාමාජික රග්බි තරගාවලි දෙකක් පැවැත්වීම සැලසුම වී තිබේ. එහි තරගාවලි කොළඹ, මහනුවර, රදැල්ල සහ දකුණු පළාත කේන්ද්‍ර කරමින් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

සත් සාමාජික රග්බි තරගාවලිය කෙටි කාල සීමාවක තරග මුහුණුවරක් බැවින් එය සෞඛ්‍ය අංශයේ කෝවිඩ් නීති රෙගුලාසිවලට අනුකූලව පැවැත්වීම පහසු බව මෙහිදී අදහස් පළ කළ සත් සාමාජික නව තරගාවලි අධ්‍යක්ෂ රංජිත් වීරසිංහ මහතා පැවැසීය. එමෙන්ම සත් සාමාජික තරගවලින් නැවැත රග්බි ක්‍රීඩාව ඇරැඹීමට තීරණය කරනු ලැබුවේ ඊට සහභාගි වන ක්‍රීඩකයන් ප්‍රමාණය අඩු වීම කෙරෙහි ද අවධානය යොමු කරමින් බව ඔහු කීවේය.

මීට අමතරව ලබන දෙසැම්බරයේදී අවුරුදු 24න් පහළ 15 සාමාජික තරගාවලියක් පැවැත්වීමට ද අවධානය යොමු වී ඇතැයි මෙහිදී අදහස් දැක්වූ රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති නසීම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලිය ලබන වසරේ පෙබරවාරියේ ආරම්භ කිරීමට තීරණය වී ඇතැයි ද ඔහු කියා සිටියේය. දැනට මෙරට ස්ථාපිතව ඇත්තේ කාන්තා ක්‍රීඩා සමාජ 4ක් පමණක් බව කී නසීම් මොහොමඩ් මහතා, එම සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමීම නව පරිපාලනයේ අරමුණ බව ද පැවැසීය.

රග්බි ආයතනයේ ලේකම් ජූඩ් පිල්ලේ, උප සභාපති සහ කාන්තා රග්බි කමිටුවේ සභාපති රියර් අද්මිරාල් එච්.ඒ.යූ.ඩී. හෙට්ටිආරච්චි, විධායක අධ්‍යක්ෂ කෙවින් හර්ෆ්ට් සහ උපදේශක ඩිල්රෝයි ප්‍රනාන්දු මහත්වරු ද මාධ්‍ය හමුවට එක් වූහ.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();