හිටපු කතානායක කරූ ජයසූරිය
අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව අටවැනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
ප්‍රකාශ වී ඇති ජනමතය අනුව, උසස් මිනිසුන් ලෙස ජය පරාජය දරා ගනිමින්, මෙතැන් සිට සියලු දේශපාලන වාද භේද අමතක කොට මාතෘභූමිය මුහුණ දී ඇති බැරෑරුම් අභියෝග ජය ගැනීමට කැප වන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවද කරූ ජයසූරිය මහතා පවසයි.
පුරවැසියන් සතු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී ස්වාධීන කොමිෂන් සභාවන්හි වැදගත්කම පිළිබඳ මුළුමහත් ලෝකයටම ආදර්ශයක් වෙමින් ප්‍රසංශනීය කාර්ය භාරයක් ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් වූ බවද හිටපු කතානායකවරයා සඳහන් කරයි.
එමෙන්ම පාලිත කොරෝනා වංසගත තත්ත්වය යටතේ පැවැති විවිධ ප්‍රායෝගික බාධක ජය ගනිමින් අනේකවිධ විවේචන සහ අපහාස ද උපේක්ෂාවෙන් දරා ගනිමින් සිය ජාතික වගකීම විශිෂ්ට අන්දමින් ඉටු කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එම කොමිසමෙහි අනෙකුත් සාමාජිකයන් වන නලින් ජයන්ත අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ට ද සිය ගෞරව පූර්වක ස්තුතිය පුද කරන බවද හිටපු කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
එමෙන්ම මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ ක්‍රියාවලිය සමඟ එක් වූ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ විශිෂ්ට සේවය අගය කරමි. මැතිරවණ ක්‍රියාවලිය ආරම්භයේ සිටම අවසානය දක්වාම නිසි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමට අවකාශ සළසා දීම වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහිලා කටයුතු කළ පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවලට ද මාගේ විශේෂ ගෞරවය පුද කරමි.
ස්වකීය පරමාධිපත්‍ය බලය ඵලදායී ලෙස භාවිත කරමින්, පවතින සෞඛ්‍ය අභියෝග නොසලකා, ඡන්ද පොළට පැමිණ සිය ඡන්ද අයිතිය භාවිත කළ 71%ක් පමණ වූ පුරවැසියෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන්ට මාගේ හෘදයාංගම ප්‍රණාමය හිමි වේ.


0 Comments