Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව වටා කොරෝනා ලොව නවවැනි තැන ස්පාඤ්ඤයට

ආසාදිතයෝ 319,501යි  මරණ 28,432යි 150,000ක් සුවය ලබති.

‍ආසාදිතයන් 319,501ක් මරණ 28,432ක් සහ සුව වීම් 150,000ක් වාර්තා වී ඇති ස්පාඤ්ඤය ලෝකයේ කොරෝනා වසංගතය පැතිරීම අතින් 9 වන ස්ථානයේ පසුවේ.

මාස තුනක කාලයකට වසා දැමීම් ක්‍රියාත්මක කළ කාලයේ එරට මිනිසුන්ට එළියට යාමට ඉඩ දුන්නේ එදිනෙදා අවශ්‍යතා මිල දී ගැනීමට සහ සිය සුනඛයන්ව ඇවිද්දවීමට පමණ යැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මාර්තු වන විට උපරිම මට්ටමට ළඟා වූ එරට කොරෝනා ආසාදිතයන් ගණන ක්‍රමිකව අඩු වූවද ඉන්පසු නැවතත් වර්ධනය වෙමින් දෙවැනි රැල්ලක් නිර්මාණය විය. මාර්තු 26 වැනිදා ආසාදිතයන් 9,159ක් එරටින් වාර්තා වූ අතර, ජූනි 8 වැනිදා එය 167 දක්වා පහළ බැස්ස ද ජූනි 24 වැනිදා යළි 2,255ක් වාර්තා විය. යුරෝපයේ කොරෝනා වසංගතයට වැඩියෙන්ම මුහුණ දී සිටි රටවල් අතරින් ඉදිරියෙන්ම සිටි ස්පාඤ්ඤය ජූනි අගභාගයේ වසා දැමීම් ලිහිල් කළේය. සංචාරක කර්මාන්තයට නැඹුරුවක් ඇති ස්පාඤ්ඤයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වෙරළ තීර, සාප්පු, ආපන ශාලා සහ අවන්හල් සියල්ල විවෘත කිරීමට ද අවසර ලබා දුන් අතර, දෙවැනි වර රැල්ල ඇතිවීමට මේ ලිහිල් කිරීම් ද එක් හේතුවක් විය.

එළිමහනේ සිටින සෑම අවස්ථාවක දීම මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන්ම කළ යුතු බව එරට බොහෝ ප්‍රාදේශීය බලධාරීහු අනිවාර්ය කර ඇත. මිලියන තුනක පමණ ජනතාවක් වාසය කරන කැටලෝනියාවේ වසංගතය වේගයෙන් පැතිර යන බැවින් ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙස එම ප්‍රදේශයේ බලධාරීහු දැනුම් දී තිබේ. ස්පාඤ්ඤ බලධාරීහු දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය වරින් වර වෙනස් කර ඇති බැවින්, එරට සැබෑ තත්ත්වය එම දත්තවලින් නියෝජනය වන්නේ දැයි ඇතැම් විචාරකයෝ විමතිය පළ කරති. අනිත් අතට ස්පාඤ්ඤයේ විශේෂත්වය වන්නේ එරට මරණ අනුපාතය සියයට 9ක ඉහළ මට්ටමක පැවැතීමයි. එරට රෝගය වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ මැඩ්‍රිඩ් අගනුවර සහ කැටලෝනියා ප්‍රදේශයෙනි, ඒ පිළිවෙළින් 73,944ක් සහ 72,919ක් වශයෙනි.

 

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();