![]() |
Add caption |
දේශීය කිරි ගොවීන් සතුව ඇති සම්පත් ප්‍රමාණය සීමිත නිසා, කිරි එක් රැස් කිරීමේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වූ නමුත්, සමාගමේ අවශ්‍යතාවට සරිලන ආකාරයට ප්‍රමාණවත් අමු කිරි සපයා ගැනීම හමුවේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නටද සිදු විය.
කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යමින් තිබූ උග්‍රතම අවදියේ දී පවා,දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාරී වෙමින්, පැල්වත්ත සමාගම අඛණ්ඩව කිරි එකතු කිරීමේ කටයුත්ත සිදු කළේය.
කිරි මිල දී ගැනීමේදී පැවති සෞඛ්‍ය අවදානම පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ සමාගම, රජය විසින් ප්‍රකාශයට පත් කළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් කිරි එක් රැස් කළ අතර, නිෂ්පාදන ක්‍රියාවලියේ දී ද දැඩි සනීපාරක්ෂක විධිවිධාන අනුගමනය කළේය.
එහෙත්, එම ගැටලුවලට සාර්ථකව පිළිතුරු සොයා ගනිමින් ඌව, මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලින් අඛණ්ඩව කිරි එකතු කිරීම සිදු කළ බව, පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, අක්මල් වික්‍රමනායක පවසයි.
"මේ ව්‍යසනකාරී අවස්ථාවේ දේශීය සමාගමක් ලෙස අපගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ, දිනකට අප හා ගනුදෙනු කරන 12,000 ක් තරම් වන කිරි ගොවීන්ගෙන්, අඛණ්ඩව කිරි එකතු කර ගැනීම පිළිබඳවයි. මොකද, අපේ රටේ දෙනුන්ගේ කිරි ඵලදාව වැඩි වීම ඇරැඹෙන්නේ මාර්තු මාසයෙන්. එය ඔක්තෝබර් දක්වා එලෙසමයි. ඉතින්, හදිසියේ පැමිණි වසංගත තත්ත්වය නිසා, මේ සාරවත් කිරි ඵලදාව නැති කරගන්න හෝ දේශීය කිරි ගොවියාගේ ජීවනෝපායට අහිතකර බලපෑමක් එල්ල වන්නට අප ඉඩ තැබුවේ නැහැ.
කිරි මිල දී ගන්නට අප වහා පියවර ගත්තා වගේ ම, නිසි වේලාවට ඔවුන් වෙත ගෙවීම් සිදු කළ නිසා, මුහුණ දෙන්නට සිදු වූයේ කෙතරම් දුෂ්කර කාල පරිච්ඡේදයකට වුවත්, කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සමාගමක් විදියට අප උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඇත්තටම, ඒ පිළිබඳ අපට තිබෙන්නේ නිහතමානී සතුටක්.
ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක වූ පළාත්වල වුවත්, කරදරයක් නැතිව අපේ බවුසර්, එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ගියා. ඒ සඳහා, රජය අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දුන්නා. අපේ බවුසර් සෑම දිනකම ගොවිපළවලින්, එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් කර්මාන්තශාලාවට කිරි රැගෙන ආවා. ඒ කිරි ඵලදාව, දිනක් දෙකක් ඇතුළත නිෂ්පාදන බවට පත් වුණා, බෙදාහැරීමේ ජාලයත් එලෙසම ක්‍රියාත්මක වුණා. ඒ නිසා, ගොවීන්ගේ කිරි අපතේ ගියේ නැහැ. ජනතාවට නිෂ්පාදන හිඟ වුණෙත් නැහැ. ඇත්තටම වෙනදාට වඩා නැවුම්ව පැල්වත්ත නිෂ්පාදන, හැදෙන ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්න අපට හැකි වුණා.
ඒ නිසා, අපගේ අලෙවියේ හෝ ආදායමේ කිසිදු කඩා වැටීමක් සිදු වූයේ නැහැ. පාරිභෝගිකයන්ගේ ආර්ථිකයට ගැළපෙන පරිදි, කිරි ආහාර ඇතුළත් පහසු පැකේජ කිහිපයකුත් කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව, මේ කාලය තුළ හඳුන්වා දෙන්නට අපට හැකි වුණා.ඒ වගේම, පුළුවන් හැටියට මේ ව්‍යසන අවස්ථාවේ සමාජ සත්කාරක වැඩසටහන්වල නියැළුණා.
ඒ අනුව, අපගේ ප්‍රධාන නිෂ්පාදනාගාරය පිහිටා ඇති බුත්තල ප්‍රදේශයේ, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද නොතකමින් සේවයෙහි නිරත වූ පොලිස් නිලධාරීන් හට කිරිපිටි පරිත්‍යාග කිරීම, බුත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත විෂබීජ නාශක යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීම, බුත්තල ප්‍රදේශයේ දෛනික ආදායම් උපයන ගම්වාසීන් වෙත, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් බෙදා දුන් වියළි ආහාර මලු සදහා, කිරිපිටි පැකට් ලබාදීම ඉන් අවස්ථා කිහිපයක්.
පැල්වත්ත සමඟ සිටින බහුතරය, සුළු පරිමාණ කිරි ගොවීන්. සමාගමක් විදියට අපි ඒ අයට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. නමුත් එතැනින් එහාට ඔවුන්ට රජයේ සහයෝගය දැඩිව වුවමනායි . ඒ අයට අලුත් දෙනුන්ගේ අවශ්‍යතාව තිබෙනවා. කිරි ධාරිතාව කිහිප ගුණයකින් වැඩි දියුණු කරගන්න නම්, ඒ අවශ්‍යතාව අනිවාර්යයෙන් සම්පූර්ණ විය යුතුයි. පශු සම්පත් මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට පුළුවන් මේ සඳහා මැදිහත් වන්න.
නවීන තාක්ෂණය භාවිතයෙන් ගව මඩු සකසා ගැනීමටත්, කිරි දෙවීම සදහා මැෂින් භාවිතයට මාරු වීමටත්, සවස් වරුවේ දොවන කිරි ගබඩා කිරීම සඳහා අවශ්‍ය ශීතකරණ මිලදී ගැනීමටත්, අප සමාගම ණය ඇපකරුවන් ලෙස හා මැදිහත්කරුවන් ලෙස ඔවුන්ට සහය දක්වනවා.
වැදගත් ම දේ, මේ රජයටත් අවශ්‍යතාව තිබෙනවා, දේශීය කිරි ගොවියා නංවන්න. ඉතින් රජයේ සැලසුම් අතරට, මේ කිරි දෙනුන් මිලදී ගැනීමේ අවශ්‍යතාවත් ඇතුළත් වුවහොත්, එය සුළු පරිමාණ කිරි ගොවීන්ට විශාල අත්වැලක් වේවි..."
ඔහුට අනුව, කිරි ගොවීන්ගේ ඵලදායිතාව වර්ධනය කිරීම උදෙසා අවධානය යොමු කළ යුතු අංශ කිහිපයකි. රාජ්‍ය මැදිහත්වීම ද ඇතිව එම අංශ සංවර්ධනය කිරීමට හැකි නම්, කිරි අානයනය වෙනුවෙන් වාර්ෂිකව විදේශයන් වෙත ඇදී යන, ඇමෙරිකානු ඩොලර් මිලියන 400- 500 දක්වා මුදල රට තුළ ම ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ.
"අපේ රටේ සුළු පරිමාණ කිරි ගොවීන්ගෙන් බහුතරයකට, කිරි ගවයන් ගේ පෝෂණය පිළිබඳ ඇත්තේ සාම්ප්‍රදායික දැනුමක්. ඔවුන් තම දෙනුන්, තණ උලා කෑම සඳහා කැලයට මුදා හැරීමයි, සාමාන්‍ය පිළිවෙත. ප්‍රමාණවත් ඉඩම් අහිමි වීම තුළ ඔවුන් එසේ කරන්නට පෙලැඹී තිබෙනවා.
නමුත්, සත්වයන් ගේ පෝෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය මීට වඩා වර්ධනය කළ යුතුයි. රජයේ නව සැලසුම්වලට අනුව කිරි ගොවීන්ට ප්‍රමාණවත් ඉඩම් කට්ටි ලබා දීමටත්, මෙකී පෝෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටත් හැකි නම්, එය දේශීය කිරි ඵලදායිතාව නැංවීමට මනා පිටිවහලක් වනවා.
මේ කාරණා දෙකේදී, ගොවීන් වෙනුවෙන් අපට දිය හැකි සහයෝගය වන්නේ, සතුන්ගේ පෝෂණය කියන කාරණාවට මැදිහත්වීම පමණයි. ඒ සඳහා අපගේ ක්ෂේත්‍ර නිලධාරීන් නිරන්තරයෙන්ම කිරි ගොවීන් සමඟ කටයුතු කරනවා. රජයේ පශු වෛද්‍යවරු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ ද සහය ඇතිව නවීන දැනුම ඇතුළත් පුහුණු වැඩසටහන් අප ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා.
ඊට අමතරව, සහන මිලකට උසස් පෝෂණයෙන් යුතු සත්ව ආහාර ලබා ගත හැකි ක්‍රමවේදයක් ද අප සකසා තිබෙනවා. ඒ සඳහා ම ඉදි කළ විශාල සත්ව ආහාර කර්මාන්තශාලාවක් අප සතුයි. ගොවීන්, අපගේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත කිරි රැගෙන ආ විට, ඒ මොහොතේ ම අපගේ නවීන තාක්ෂණය ඇසුරින් ඔවුන්ගේ කිරිවල ප්‍රමිතිය සහ තත්ත්වය පිළිබඳ වටහා දීමක් සිදු කරනවා. එවිට ඔවුන් තේරුම් ගන්නවා, ඔවුන්ගේ කිරිවල වැඩි දියුණු කළ යුතු අංශ සහ එහි ඇති අඩුපාඩු. ඒවා සකසා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ලබා දෙනවා. එමගින්, තමන්ගේ කිරි ඵලදාවට ඉහළ මිලක් ලැබෙන පරිදි ගුණාත්මක බව වර්ධනය කර ගන්නට ගොවීන්ට අවස්ථාව උදා වනවා..."
අක්මල් වික්‍රමනායක පවසන පරිදි, මේ සෑම පියවරක් තුළින් ම ඔවුන් උත්සාහ දරනුයේ, දේශීය සමාගමක් ලෙස, තම රටේ කිරි ගොවියා ඉහළ තලයකට රැගෙන ඒමයි. ජනතාව වෙත වැඩි වැඩියෙන් කිරි පෝෂණය ලබා දීමයි.
2006 වසරේ, ආරියශීල වික්‍රමනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල දී ආරම්භ කරන ලද පැල්වත්ත කිරි කර්මාන්තායතනය, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් අරමුණු ගණනාවකින් සමන්විත වූයේ ද ඒ නිසාමය.
කිරි ගොවියාගේ සැපයුම් ධාරිතාව වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ ආදායම වැඩිකර ගැනීමට සහය වීම... දේශීය කිරි සහ කිරි නිෂ්පාදන සඳහා, දේශීය වෙළෙඳපොළ වැඩි දියුණු කිරීම... වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිට රටට ඇදී යන, කිරි ආනයනය සීමා කිරීමට සහය දැක්වීම... සහ දේශීය කිරෙන් රට ස්වයංපෝෂිත කිරීම, මේ අරමුණු අතර ප්‍රධාන වූයේය.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට බලපාන ප්‍රධාන සාධකය, ඵලදායිතාව ඉහළ නැංවීම සහ සතුන්ගේ පෝෂණය වන හෙයින්, තම සමාගමට කිරි සපයන ගොවීන්ට අවශ්‍ය සත්ව ආහාර අවශ්‍යතාව සපුරා දීම සදහා ම බුත්තල කිරි කර්මාන්තායතනයට යාබදව අක්කර හතරක් තරම් සුවිසල් බිමක, නවීන සත්ව ආහාර නිෂ්පාදනාගාරය ඉදිකරන ලදී. අද එහි මසකට නිෂ්පාදනය වන සත්ව ආහාර ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 2,500 කි.
දිස්ත්‍රික්ක14 ක විහිදුණු තමන්ගේම කිරි සැපයුම් ජාලයට අවශ්‍ය සත්ව ආහාර නිපදවීම, මෙහි ආරම්භක අරමුණ වුවත්, අද පිටස්තර කිරි ගොවීන්ට පවා එම උසස් සත්ව ආහාර සාධාරණ මිලකට ලබා ගැනීමට පැල්වත්ත සමාගම අවස්ථාව සලසා තිබීම, තවත් විශේෂත්වයකි.
කිරි දෙනුන් වෙත උපරිම පෝෂණයක් ලබා දෙනු වස්, බඩ ඉරිඟු, තිරිඟු නිවුඩ්ඩ, සහල්, පුන්නක්කු සහ තවත් විටමින් සහ ඛනිජ ලවණ අඩංගු මෙම ගව ආහාර, වර්ගීකරණ තුනක් යටතේ නිපද වේ.
එනම්, පැටවා කාලයේදී වර්ධනයට අවශ්‍ය, Calf feed, නාඹර දෙනුන් වයසේදී පෝෂණය ලබා දෙන, Heifer feed, සහ කිරි දෙන දෙනුන් සදහාම නිපදවන, පෝෂ්‍ය ගුණයෙන් සපිරි Highyeild feed ලෙසිනි. කිරි කර්මාන්තායතනයේ යෙදෙන ඕනෑම ගොවිපළක මෙම සත්ව කාණ්ඩ තුන ම සිටින අතර, නිසි වයස් කාණ්ඩවලදී ලබා දිය යුතු මෙම ගව ආහාර තුළින්, කිරි දෙනුන්ට අවශ්‍ය පෝෂණය පැටවා කාලයේ පටන් ශරීරයට එක් වේ.
එය, ඉහළ කිරි ඵලදාවක් ලබා ගැනීමට මහත් රුකුලක් වන අතර, මෙම ආහාර සකසා ඇත්තේ තණ කොළ සමග ලබාදිය හැකි සම්මිශ්‍රණයක් ලෙසින් වන නිසා, සතකුගේ දිනකට අවශ්‍ය සියලුම පෝෂණීය සංඝටක මෙමගින් සම්පූර්ණ වන බව, වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
තවද, තරුණ පරම්පරාව කිරි කර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා, විශේෂයෙන්,කිරි ගොවීන්ගේ දරුවන් නවීන තාක්ෂණය භාවිතයෙන් කිරි කර්මාන්තයේ යෙදෙන්නට පසුබිම සාදා දෙන වැඩසටහනක් ද, පැල්වත්ත සමාගම ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, සතුන් හැදීමට, සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු වගා කිරීමට, උසස් වර්ගයේ තණ කොළ වගාවට ආදි වශයෙන් කිරි කර්මාන්තය තුළ විසිරුණු විවිධාංගීකරණය කරා ඔවුන් යොමු යොමු කරලීම සිදු කෙරේ. දේශීය කර්මාන්තයක පැවැත්මට දෙවැනි පරම්පරාවක් බිහි වෙමින් සිටීම, රටක් හැටියට සුබවාදී ලකුණකි.
කෙසේ වෙතත්, සුපිරි වෙළෙඳසල් වෙත පා නඟන සෑම ශ්‍රී ලාංකිකයකුම දේශීය කිරි ගොවියාගේ දහදිය මහන්සිය සහ කැපවීම මතින්, අපේ රටේ කිරි දෙනුන්ගේ රසවත් කිරි සාරයෙන් නිපදවන,පැල්වත්ත කිරිපිටි, බටර්, යෝගට්, අයිස් ක්‍රීම්, දියර කිරි, රස කළ කිරි, එළඟිතෙල් සහ මුදවපු කිරි මිලදී ගන්නේ නම්, තවත් එක් දේශීය කර්මාන්තයක් ඉහළට ඔසවා තැබීමට දායක වූවා වනු ඇත.
0 Comments