විවිධ චෝදනා ගොනු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් ක්‍රිකට් ක්‍රීඩාව සහ ඊට අදාළ ක්‍රියාකාරකම් තහනම් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩකයන් තිදෙනකුට සහ ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියකුට සාධාරණය ඉටු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකි ආකාරය සොයා බැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන සැප්තැම්බරයේ දී ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දීමට හැකිවනු ඇතැයි එම කමිටුවේ සභාපති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේය.
එම ක්‍රීඩකයන්ගේ අභියාචනා විභාග කිරිමට වෙන් වෙන් වශයෙන් ලිපි ගොනු අවශ්‍ය බවට ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසුරිය මහතාට දැනුම් දුන් බවත්, එම වාර්තා ලබාගැනීමට සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවත් ‘දිනමිණ’ කළ විමසුමකදී එදිරිසූරිය මහතා කියා සිටියේය.
“මහමැතිවරණයෙන් පසුව සති එකහමාරක කාලයක් ඔවුන් ඉල්ලා සිටියා. ඉන් පසු තමයි නැවත විභාගය ආරම්භ කළ යුතු වන්නේ. ඉන් පසු මේ විභාගය පවත්වා නිමා කොට එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවට තවත් සති තුනක හෝ මාසයක පමණ කාලයක් ගතවේවි.” අමල් එදිරිසූරිය මහතා කීවේය.
අයිසීසී තහනමට ලක් වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන අවිශ්ක ගුණවර්ධන, හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා සහ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ සමග ක්‍රිකට් ආයතනයේ හිටපු දස්කම් විශ්ලේෂක සනත් ජයසුන්දර මහත්වරුන්ගේ තොරතුරු ලබා ගැනීමෙන් පසු එම ගැටලුවට ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් වීමේ හැකියාවක් තිබේදැයි යන්න සොයා බලන බව එදිරිසූරිය මහතා සඳහන් කළේය.
අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ සනත් ජයසුන්දර මහත්වරු පසුගියදා මූලික විභාගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ත්‍රිපුද්ගල කමිටුව හමුවූ අතර තහනමට ලක් වී සිටින අනිකුත් ක්‍රීඩකයා වන දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බැවින් ඔහු එම අවස්ථාවට එක් නොවීය.
වසර 2017 දෙසැම්බරයේ දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘දහයයි10’ ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර බුකීකරුවකු විසින් තරග පාවාදීමකට කරනු ලැබුවේයැයි කියන යෝජනාවක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ වංචා විරෝධී ඒකකයේ නිලධාරීන්ට පැමිණිලි නොකිරිම හේතුවෙන් එම තරගාවලියට සහභාගි වූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ තහනමට ලක් කර ඇති අතර, ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරිමට තමා වෙත අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරනු ලැබුවේයැයි කියන ප්‍රකාශයක් මත දස්කම් විශ්ලේෂක සනත් ජයසුන්දර මහතාට එම ඉරණම අත් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා එක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති අදාළ ‘දහයයි10’ ලීග් තරගාවලියෙන් පසු ක්‍රිකට් ආයතනය කළ යුතුව තිබුණේ එම පුහුණුකරුවන් තනතුරෙන් නෙරපා දැමීම නොව එම තරගාවලියට සහභාගිවීමට එහි හිමිකරු අරාබි ජාතිකයා විසින් ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක මුදලට සිදු වූයේ කුමක්දැයි සොයා බැලීම බව අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා ත්‍රිපුද්ගල කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යවේදින්ට ප්‍රකාශ කළේය.
එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්බන්ධතාවක් නොමැති බවට අදහස් පළවූවද, අයිසීසී දූෂණ වංචා විරෝධී ඒකකයේ නිලධාරීන්ගේ සේවය ලබා දෙමින් සහ අයිසීසී තරග රෙගුලාසිවලට අනුව තරගාවලිය පැවැත්විමේ කොන්දේසිය මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඒ සඳහා අයිසීසීය අනුමැතිය දී ඇතැයි ද වාර්තා වෙයි.
ෆවුස් මොහොමඩ්
0 Comments