Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනාවට මුවා වී කිරීමට ගිය සේවක අයිතීන් කප්පාදුව නවතා ගත්තා

Author(s): 
අනුර ප්‍රේමලාල්

වෘත්තීය සමිති   

නව කොරෝනා වසංගතයට මුවා වී ඇතැම් හාම්පුතුන් සිදු කිරීමට ගිය සේවක අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිළිවෙළ තමන් විසින් යම්දුරකට නවතා ගත් අතර සේවකයන්ට සිදුවෙන අසාධාරණකම් හා වෙනත් අගතීන් ගැන තොරතුරු රැස් කොට වාර්තාවක් රජයට ලබාදීමටද බලාපොරොත්තු වෙන බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

කොවිඩ්19 වසංගතයට මුවාවි සේවක අයිතීන් උදුරා ගැනීමට ඉඩනොදෙනු මැයෙන් පසුගියදා (02) කොළඹ 03, බාලාතම්පෝ සේවක අයිතීන් සුරැකීමේ මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙසේද පැවසීය

නව කොරෝනා වසංගතය නිසා වඩාත්ම අපහසුතාවයට පත්ව සිටින රැකියා අහිමිවීමේ අවධානමක් තිබෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ප්‍රශ්න මාධ්‍ය මඟින් ප්‍රචාරය නොවීම ගැන අපේ කනගාටුව පළ කර සිටිනවා. වසංගතය මර්දනය කිරීමට රජය හා ඊට සම්බන්ධ පාර්ශ්ව ගෙනයන වැඩපිළිවෙල පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. මෙම වසංගතය නිසා ශ්‍රී ලංකාවේ අපනයනයන්ට හා ආදායම්වලට විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. එමෙන්ම අනාගතයේ එය තවත් වැඩිවෙන්න යනවා.

මේවා සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිදුකර තිබෙන කාර්ය භාර්ය මොනවාද යන්න පැවැසුවොත් ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයන් ලෙස මේ කාරණයට අපේ මැදිහත් වීමක් සිදුකර තිබෙනවා. ඒ ගැන සේවකයන්ට තිබෙන අවබෝධය අවමයි. වසංගතය පැතුරුණු වහාම හාම්පුතුන්ගේ සම්මේලනය කම්කරු අමත්‍යවරයාට ඉතා කඩිනමින් සංදේශයක් ලබාදුන්නා මේ වසංගතයට මුහුණ දිය යුතු ආකාරය ගැන. එහිදි කම්කරු නීතිවල බල රහිත කිරීමක් සිදු කිරීම තමයි මෙහිදී ඒ අය බලාපොරොත්තු වුණේ. ඒ අනුව කිසිම නීතියකට රීතියකට යටත් නොවි සේවකයන් හාම්පුතුන්ට රිසිසේ ඉවත් කිරීමට මෙහිදි බලාපොරොත්තු වුණා. එමෙන් ම දින හතළිස් පහේ සතිය දින පනහ කිරීමට ඉල්ලා තිබුණා. ඇඳිරිනීතිය කාලය වෙනුවෙන් ඉදිරියේදී සේවකයන් වැඩකරනවා නම් ඒ අයට නොගෙවන්න අවස්ථාවක් ලබාදෙන ලෙස එහි සඳහන් වුණා. එහිදි මේ වසංගත තත්ත්වයෙන් හාම්පුතුන් අයුතු ප්‍රයෝජන ගන්න යන බව අපට පෙනුනා.

කම්කරු ඇමතිවරයා අපිව කැඳවලා කම්කරු අමත්‍යාංශයට සීමා වූ කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා. මීට අයත් වුණේ මුලින්ම මෙම කැඳවීමට ප්‍රතිචාරයක් දැක් වූ වෘත්තීය සමිති පමණයි. අපි එහිදි මුලින් ම කළේ හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කළ සංදේශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමයි. කිසිම දෙයක් වුණේ නැහැ කියන මිත්‍යාවක සිට අපට මේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. වැඩබිම්වල වසංගතය නිසා යම් අඩාල වීමක් දකින්නට ලැබෙනවා. එය යථාර්ථයට අප මුහුණ දිය යුතුයි. ඇතැමුන් හුදු ජනප්‍රියත්වය සඳහා කුමන් තත්ත්වය මත වුණත් දිගටම වැටුප් ගෙවිය යුතුය කියනවා.

එය යථාර්තය නොවේ. නමුත් සේවකයන්ගේ සුබදායි තත්ත්වය නිසා යම් සම්මුතියක් අවශ්‍ය බව අපිට පෙනුනා. සේවකයන් නි‍වසේ සිටියත් යම් ගෙවීමක් කළ යුතුයි කියලා අපේ ඉල්ලීම වුණා. මේ වසංගතය පැමිණි විගස මේ සමාගම් එකපාරටම බංකොළොත් වු‍ණේ නැහැනේ. ඒ හම්බ කර ගත් තැන්පතු ප්‍රමාණයක් තියෙනවා. යම්කිසි මාස කිහිපයකට හරි සහන දීමේ හැකියාව තියෙනවා. අපි මේ ගැන කේවල් කළා.

ඒ අය කිව්වා වැඩට එන්නේ නැතිව සම්පූර්ණයෙන්ම ගෙදර සිටින අයට දැනට තිබෙන ජාතික අවම වැටුප රුපියල් දසදහසක් ගෙවන්නම් කියලා. ඊට අපි කිසිසේත්ම කැමැතිවුණේ නැහැ. අවසානයේ එය විසිදහසක දීමනාවක් ඉල්ලුවාම ඊට දැඩි විරෝධයක් පැමිණියා විශේෂයෙන් සංචාරක හා ඇඟලුම් ක්ෂේත්‍රයේ හාම්පුතුන්ගෙන්. අපි සමාගම්වලින් ඉල්ලුවා සතියෙන් සතිය මාරු කොට සේවකයන් සේවයට ගෙන්වන්න කියලා. එහිදි තමයි රුපියල් 14.500 හෝ වැටුපෙන් භාගයක් හෝ ඉන් වැඩි ප්‍රමාණය ගෙවන්න තීරණය වුණා. ඒ කාලයට අපිට සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ගෙවන්න ඕනේ කියලා ඉල්ලුවා.

මේ විදියට කොන්දේසි ගණනාවක් දමා මාස දෙකකට එනම් මැයි ජූනි කියන මාස දෙකකට සම්මුතියක් සකස් කළා. ජූනි මාසයෙන් පස්සේ මේ තත්ත්වය කුමන් ආකාරයට වෙයිද කියලා අපිට කියන්න බැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ බෙහෙතක් සොයාගන්න කල් කොරෝනා සමඟ ජීවත් වෙන්න වෙයි කියලයි.

තත්ත්වය දරුණු වුණොත් හාම්පුතුන් වෙනත් යෝජනාවල් ගෙන එන්න පුළුවන්. මෙහි භයානක තත්ත්වය ගැන ඇතැමුන්ට තේරෙන්නේ නැහැ. අපේ සාමාජිකයන් ලක්ෂ ගණනක් සිටිනවා ඒ අයගේ රැකියා රැකගන්න තමයි අපි ක්‍රියා කරන්නේ. අපේ සම්මුතිය පිළි නොගන්න හාම්පුතුන්ද සිටිනවා හාම්පුතුන්ගේ සම්මේලනයේ ‍සාමාජිකයින් නොවන. ඒ අය ගැන කම්කරු දෙපාර්තමේන්තුව බලාගත යුතුයි. අපි කිසිම විරෝධයක් ‍පාන්නේ නැතිව බුද්ධියෙන් කල්පනා කරලා තමයි මේ සම්මුතියට පැමිණියේ ඒ ගැන ගෝලීය වෘත්තීය සමිති සතුට පළ කර තිබෙනවා.

එහි අඩුපාඩුත් ඇති. එහිදි කොන්ත්‍රාත් හා ආදේශක කම්කරුවන්ට මේ සම්මුතිය බලපාන්නේ නැති බව හාම්පුතුන් කිව්වත් එහි සඳහන් වන්නේ සේවකයන් කියලා පමණයි. අනාගතය සොඳුරු නැති බව පෙනෙනවා. අපිට දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. රජය කම්කරුවන් ගැන කතා කරනවා. කාර්ය සාධක බලකායේ කම්කරු ප්‍රශ්න ගැන කතා කරන්න සිටින්නේ කම්කරු කොමසාරිස් පමණයි. ඒ මහතා මේ ප්‍රශ්න ගැන කෙසේ කතා කරනවාද දන්නේ නැහැ. ඒ නිසා කම්කරු වන් ගැන කතා කරන නියෝජිතයෙක් හරි එම ජාතික කමිටුවේ සිටින්න අවශ්‍යයි.

ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සේවක සංගමයේ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා

කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේදි නිශ්ශබ්දව සිට දැන් කයිවාරු ගහන වෘත්තීය සමිති නායකයෝත් මාධ්‍යවේදීනුත් සිටිනවා. මේ වසංගතය කවදා නිමවේද දන්නේ නැහැ.

නිදහස් වෙළඳකලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා

වසංගත තත්ත්ව නිසා සේවකයන් රැකියා අහිමි වීම් සහ වෙනත් අගතියට පත්වීම් ගැන තොරතුරු සෙවීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරන තියෙනවා. ඒ ගැන පුවත්පත් දැන්වීමක් පවා අපි ප්‍රකාශයට පත් කර තියෙනවා. එහිදි ලැබෙන තොරතුරු ගැන වාර්තාවක් ආණ්ඩුවට ලබාදීමට බලාපොරොත්තු නොවන අතර එහිදි ඊට ප්‍රතිචාරයක් නොදැක්කුවොත් අපිට විරෝධතා ක්‍රියා මාර්ගවලට යන්න සිදුවෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();