නම තිබ්බේ අරීසෙන් අහුබුදු සූරීන්
මතකද 1982 අවුරුද්ද? මම එහෙම ඇහුවේ ඒ වසර ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇවිත් අපේ රටේ පේ‍්‍රක්ෂකත්වය පුදුම විදිහට වෙනස් වෙන්න ගත්ත අවුරුද්දක් නිසා. සමහර විට මේ ලිපිය කියවන අය ඉපදෙන්න ඇත්තේ අසූ දෙකේ. අලූත් පරපුර නම් වැඩිය මේ ගැන දන්නෙත් නැතුව ඇති. අපේ පරපුරට අයත් අයට නම් ළා මතකයක් ඇති මුලින්ම අඟල් 12ක කළු සුදු මැජික් පෙට්ටිය ගෙදරට ආපු වෙලාවේ ඉඳන් අහල පහළ කොල්ලො කුරුට්ටෝද, නැන්දලා මාමලාද, ආච්චිලා සීයලාද කියලා වයස් භේදයක් නැතුව මේ අපූරු රූප පෙට්ටිය බලන්න හවස් වරුවේ ගෙදර පිරුණු හැටි ගැන. අද වගේ නම් ඡුන්දේ ඉල්ලන මන්ත‍්‍රී කෙනකුගේ නිවෙසක් වගේ කරදරයක්ද කියලා හිතෙන්න තරම් සෙනඟක් වුණත් ඒ කාලේ නම් අනේ එහෙම හිතිවිල්ලක් ටීවී තියෙන ගෙවල්වල අයගේ තුන් හිතකවත් තිබුණා කියලා කියන්න අමාරුයි. කොහොම වුණත් රූපවාහිනිය ඇවිත් මාස අටකට පස්සේ ගමේ තොවිල්පොළකට වගේ ගෙදරට සෙනඟ පිරෙන දවසක් මාසෙකට වතාවක් ආවා. ඒ ‘නන්දන වින්දන‘ මාසික විවිධප‍්‍රසංගය විකාශය ඇරඹීමත් සමඟ. මේ අවුරුදු 38ට කලින් දුටු වැඩසටහන ආයෙමත් අපේ ආලින්දයට ඇවිත්. හැබැයි එදා වගේ සූ ගාලා සෙනඟ නම් නැහැ. ඒත් සරසවිය හිතුවා අද තිබෙන විවිධ ප‍්‍රාසංගික වැඩසටහන්වලට පුරෝගාමී වූ නන්දන වින්දන නැවත විකාශය වන මොහොතේ එහි ආරම්භය වගේම වැඩසටහන පිළිබඳ රසවත් මතකයන් අවුස්සන්න. එය නන්දන වින්දන විඳපු නොවිඳපු සැමට ඒ ගැන දැනගැනීමට අවස්ථාවක් වන නිසා. ඒ පිළිබඳ කතාකරන්න සුදුසුම කෙනෙක් සොයමින් දුරකථන පණිවිඩ ඔස්සේ අතීතය පීරාගෙන යද්දි අපට මුණගැසුණා ජයශ‍්‍රි විජේරත්න මහත්මයා. මේවන විට සියත රූපවාහිනියේ අධ්‍යක්ෂ ලෙස සේවය කරන ඔහු ජාතික රූපවාහිනියෙන් විශ‍්‍රාම ගියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - වැඩසටහන් ලෙස. මේ ගැන නිල වශයෙන් තොරතුරු දැනගත හැකි හොඳම කෙනාත් ජයශ‍්‍රි විජෙරත්න මහතාමයි. ඒකට හේතුවත් දැනගනිමින්ම අපි දැන් එක්වෙමු රසවිඳින්න නන්දන වින්දන...
අපට කියන්නකෝ මෙහි ආරම්භය ගැන?
නන්දන වින්දන පටන්ගත්තේ 1982 සැප්තැම්බර් මාසයේ. එය මාසික විවිධප‍්‍රසංගයක් ලෙසනේ විකාශය වුණේ. මේ නම හැදුවේ අරීසෙන් අහුබුදු මහත්මයා. නන් + දන කියන්නේ නේක ජනයා වින්දනයට පත්කරන කියන අදහසින් තමයි ගණ එහෙම පිහිටවලා නම දුන්නේ. මේ සංකල්පය අප අතරින් වියෝ වුණු ප‍්‍රවීණ ගායක අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ. ඒ නිසි ගෞරවය එතුමාට දීලා තමයි මේ කතාව පටන් ගන්න ඕනේ.
ඉතින් නන්දන වින්දන විකාශය වන දවසට අනිවාර්යයෙන් මහපාරවල් හිස්වෙනවා. චිත‍්‍රපට ශාලා වහනවා. එවකට හිටිය අපේ සභාපති එම්.ජේ. පෙරේරා මහත්මයා අපට කීවා දවසක්, එතුමා ගෝල්ෆෙස් එකේ ඉද්දි ටිකෙන් ටික සෙනඟ හිස්වෙලා කවුරුත්ම නැති වුණාලූ. අන්තිමට යන කට්ටියකගෙන් මොකද කියලා අහනකොට කීවාලූ ඒ නන්දන වින්දන යන වෙලාව ළං වෙන නිසා කියලා. ඒ තරම් අතිශයින්ම ජනප‍්‍රිය වූ වැඩසටහනක් තමයි නන්දන වින්දන. මට මතකයි ගම්වල වැඩිය ටීවී නැති නිසා මිනිස්සු ගෙදරකට හරි, පන්සලක බණ මඩුවට හරි එකතු වෙනවා ඒ වෙලාවට. සමහරු හුළුඅතු පත්තු කරගෙන ඈත ගෙදරක ටීවී එක බලන්න ගිය අවස්ථා තියෙනවා. මේ වැඩසටහනේ විශේෂත්වය එය විවිධප‍්‍රසංගයක් වීම. ඒ කියන්නේ ගීත පමණක නෙවෙයි වෙනත් අංගත් තිබුණා. අපි ඉස්සර දැකලා තිබුණේ ගායකයකු විදිහට ජෝතිපාල හරි එම්.එස්. ප‍්‍රනාන්දු හරි විතරයි චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා රූප මාධ්‍යයෙන්. ඒත් නන්දන වින්දන ලංකාවේ ගීත රසිකයන් සියලූම දෙනාගේ සිත්ගත් ගායක ගායිකාවන් හැමකෙනාම වගේ ඉතාම ළඟට සජීවීව වගේ දකින්න පුළුවන්කම ලැබුණා. සංගීත සන්දර්ශනවල ගායක ගායිකාවන් දකින්න ලැබුණත් මේ තරම් සමීපව තමන්ගේ ගෙදර ඉඳන් පවුල පිටින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ගුවන්විදුලියේ ඒ කාලේ අතිශයින්ම ජනප‍්‍රිය වුණු ‘විනෝද සමය‘ වැඩසටහන ඒ ශිල්පීන්ගේ රූප සමඟ නන්දන වින්දන ඔස්සේ දැකගන්නට ලැබීම. මේ රටේ ජනප‍්‍රිය වුණු වේදිකා නාට්‍යවල ගීතත් මේ වැඩසටහනෙන් දැකගන්න ලැබුණා. නැටුම් අංගයක් එකතු වෙනවා. ඒ වගේම මැජික් සන්දර්ශන, ගිනි සන්දර්ශන, තව අලූත් වාදක කණ්ඩායම් සහිතව විවිධත්වයකින් යුතුවයි වැඩසටහන මේ තරම් පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තේ.
ඔබ මේ වැඩසටහනට එකතු වුණේ?
මම මේ වැඩසටහනට එකතු වුණේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයකු ලෙස 1983 වසරේ දොළොස්වැනි වැඩසටහනේ ඉඳන්. පළමු වතාවට ලංකාවේ රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායමක් කියලා පත්තරේ දැන්වීමක් දාලා ඉල්ලූම්පත‍්‍ර කැඳවලා, සම්මුඛ සාකච්ඡුාවකින් සමත්වෙලා යන කණ්ඩායම තමයි අපි. මාත් එක්ක එකට ගිය පිරිස තමයි අතුල රන්සිරිලාල්, දයාරත්න රටගෙදර, විමලරත්න අදිකාරී, සුරම්‍යා මාපිටිය, සුනන්ද හෙට්ටිආරච්චි, සුදත් දේවප‍්‍රිය, සුදත් සේනාරත්න, අජිත් ජයවීර, පාලිත සෙනරත්යාපා, ෂර්ලි අනිල් ද සිල්වා, අජිත් ජිනදාස, අනුර ජයසේකර, අරුණ තන්තිලගේ වගේ 24 දෙනකුගේ පිරිසක්. ටයි අංකල්ගේ (ටයිටස් තොටවත්තයන්* පැත්තට වැටුණේ අතුල රන්සිරිලාලූයි, මෑතදි අප අතරින් වියෝ වුණු අනුර ජයසේකරයි. මම වැටුණේ අබේවර්ධන බාලසූරිය මහත්තයා නිෂ්පාදනය කරන නන්දන වින්දන පැත්තට. කාලෙකදි මම ක‍්‍රම ක‍්‍රමයෙන් තනතුරු ඔස්සේ ඇවිත් නිෂ්පාදක බවට පත්වෙනවා. අබේවර්ධන මහත්තයා අධ්‍යක්ෂ වෙනවා. තව කාලෙකදි ජේවීපී ප‍්‍රශ්නත් එක්ක පේ‍්‍රමකීර්තිද අල්විස් මහත්තයා එහෙම ඝාතනය වුණාට පස්සේ බාලසූරිය මහත්තයා රට යනවා. එතකොට තනිකරම වැඩසටහන මම කරගෙන යනවා කාලයක්.
ලස්සනම අත්දැකීම වුණේ අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රූපවාහිනී වැඩසටහන්වල විවිධ ආකෘතීන් ගැන ඉගෙන ගන්නවා. ලංකාවේ ජනප‍්‍රියම වැඩසටහනක් විදිහට නන්දන වින්දන උදාහරණයට ගන්නවා. එතකොට අපේ සුගත් හේවාවිතාරණ දේශකතුමා කියනවා මේ වැඩසටහනේ නිෂ්පාදකවරයාත් මෙතන ඉස්සරහ පේළියේ වාඩිවෙලා ඉන්නවා කියලා. ඉතින් සියුම් ආඩම්බරයකුත් නැතුවම නෙවෙයිනේ නේද? මමත් හිනාවෙවී ඉන්නවා අහගෙන.
විනෝද සමය සමඟ නිෂ්පාදන කණ්ඩායමත් සෑහෙන විනෝද වන්න ඇති?
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් සමඟ මර්සි එදිරිසිංහ ගෙනා විනෝද සමයට පසුව ගැමුණු විජේසූරිය එකතු වුණා. තවත් කාලයකදි නිහාල් සිල්වාත්, පාලිත සිල්වාත් සම්බන්ධ වුණා. සාමාන්‍යයෙන් ගුවන්විදුලියෙන් ඇහෙනකොටත් විනෝද සමය කොයිතරම් විනෝදයිද? ඉතින් රූපගත කරද්දි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
නැටුම්, නාට්‍ය අංගවල මතක හිටි අවස්ථා තිබෙනවාද?
මට හොඳටම මතක ‘මගෙ මල් එතනෝ සුරතල් එතනෝ‘ ගීතයට කුලසිරි බුධවත්ත සමඟ උපේඛා ගංගොඩවිල නැටුවා. ඒ දෙන්නාමත් ඒ කාලේ බොහොම තරුණයි. සචී ද්‍රපදී , ප‍්‍රදීපා ආරියවංශ, පද්මිණි දහනායක ඒවගේම දුව රංගනා දහනායක වගේ අයගේ නැටුම් අංග නන්දන වින්දන වැඩසටහනට ඇතුළත් වෙලා තිබුණා. මට මතක නෑ හරියට පොකුරු වැස්ස වගේ ලියෝනි කොතලාවල එහෙම හිටිය නාට්‍යයකට අපි ගියා මුහුදු වෙරළකටත්. ඒ කියන්නේ නාට්‍යයේ තේමාවට අදාළ පසුතලයක් තියෙනවා නම් එවැනි පසුතලයක් ස්වභාවිකව පිහිටන තැන්වල නාට්‍යය රූපගත කරන්න අපි කටයුතු කළා. ඒ වගේ නාට්‍ය විශාල සංඛ්‍යාවක් එක්කෝ වේදිකාවට ගිහින් නැත්නම් පසුතලයකට ගිහින් රූපගත කළා. හැබැයි නන්දන වින්දන කියන්නේ වැඩිපුර මැදිරිය තුළ කළ වැඩසටහනක්, වෙනසකට බාහිරයට ගියා වුණාට.
එතකොට මැජික්?
මැජික්වල කවදාවත් ස්ලෝ මෝෂන් හෝ කැමරා කීපයකින් විවිධ කෝණවලින් රූපගත කිරීම් යොදන්න බැහැ. හේතුව ට‍්‍රික් එක අහුවෙනවානේ. අපි මැදිරියට ගෙන්නුවේ ලංකාවේ ජනප‍්‍රියම ශිල්පීන්. ඒ නිසා ටේක්ස් කීපයකට යන්න නම් වුණේ නැහැ.
වාදක කණ්ඩායම්වල විශේෂත්වය?
ඒකෙදි අපි කළේ පෙරදිග අපරදිග කණ්ඩායම් දෙවර්ගයම එක්ක සින්දු වෙන වෙනම රූපගත කරගන්න එක. පොල් අතු හෙවිල්ලපු වහල එක්ක මුහුදු වෙරළක ඉඳගෙන සින්දු කියන ඒවා පෙරදිග ක‍්‍රමයට. බෑන්ඞ් එකක් එක්ක ගන්නවා තව සින්දු සෙට් එකක්. ඒකත් ෆෝචූන්ස්ලාගේ කණ්ඩායම එක්ක වෙනම, සුපර්ස්ටාර්ස්ලා එක්ක තව ගීත පහළොවක් විතර, සියැක් එක්ක වෙනමම. සංස්කරණයේදී කලවමට එකතු කරන නිසා වැඩසටහන බලන පේ‍්‍රක්ෂකයාට වෙනස් වෙනස් ඇඳුම් එක්ක වෙනත් පසුතලවල විවිධ අංග තමයි දකින්න ලැබෙන්නේ. ඒක ඒ කාලේ ලොකූ දෙයක්. වැඩසටහනේ දැවැන්ත බවක් පෙනෙනවා. අපි කැලිප්සෝ බෑන්ඞ් කරන අයත් එක්ක ගෝල්ෆෙස් එකේ ඉර බැහැගෙන යන වෙලාවේ ගත්තා. ඒවා පේ‍්‍රක්ෂකයන් බොහොම ඇඳබැඳගත් දේවල් වුණා. හැබැයි කියන්නම ඕන දෙයක් තියෙනවා. ෆෝචූන්ස් කණ්ඩායම තමයි පුදුම විදිහට ජනප‍්‍රිය වුණේ නන්දන වින්දන වැඩසටහන නිසා.
ගායක ගායිකාවන් ගැන දශක හතරකට ආසන්න අතීත මතකයන් මොනවගේද?
ඇත්තෙන්ම ඒ කාලේ ගායක ගායිකාවන් ගීත ගයද්දි අද වගේ නෙවෙයි හෙල්ලෙන්නේවත් නැහැ. අපි එපා කියලත් නැහැ. ඒත් ඒක තමයි විදිහ. ඒ අතරින් මිල්ටන් මල්ලවආරච්චි බින්දුවක්වත් හෙල්ලෙන්නේම නැහැ. ඒ කොච්චරද කීවොත් අපට පේන්නේ ඇස් පිල්ලන් ගහන එක විතරමයි. ඒක ප‍්‍රසංග කලාව කොහොම ආවත් වෙනස් වුණෙත් නැහැ. හැබැයි ඒ ගායන ශෛලියෙම හිටියා කියලා ඒ ගීතවල ජනප‍්‍රියත්වය කිසිම විදිහකින් අඩු වුණෙත් නැහැ.
ආයෙ මට මතකයි මයිකල් පීරිස් ගීත ගයද්දි ඇඟ හෙල්ලෙන්නේ නැහැ. හැබැයි මහපටැඟිල්ල විතරක් හෙලවෙනවා පේනවා. ගායක ගායිකාවන් විතරක් නෙවෙයි බෑන්ඞ් එකේ වාදකයන් පවා හෙල්ලෙන්නේ නැහැ. හරියට ප‍්‍රතිමා වගේ ඉන්නේ. හැබැයි අර්නස්ට් සොයිසා ගිටාරය වයද්දි ටිකක් පැද්දෙනවා. ඒ නිසා ඒ ගැන පත්තරවල පවා ලිපි පළවුණා. හරියට අර්නස්ට් ලොකු වැරැුද්දක් කරනවා, නැත්නම් ඕනෑවට වඩා දඟලනවා මේ වැඬේට හරියන කෙනෙක් නෙවේ වගේ දැඩි විවේචනවලට ලක් කරමින්. එහෙමයි ප‍්‍රසංග කලාව තිබුණේ ඒ කාලේ.
පත්තරවල ගිය තවත් කතාවක් තමයි හොඳම රූපරචනය තිබුණේ ඕයේ ඔජායේ සින්දුවට කියලා. ඇත්තටම ඒ සින්දුව රූපගත කරන්න අපි දවස් දෙකක් මහන්සි වුණා. මම සුනිල්ට (සුනිල් පෙරේරා* කීවා ඕජායේ ගීතයට රූපරචනා කරන්නම්, හැබැයි අපට තිබෙන ප‍්‍රතිපාදන එක්ක ලොකු පසුතලයක් හදන්න බෑ. ඒ නිසා පසුතලය අපට අවශ්‍ය විදිහට නිර්මාණය කරලා දෙන්න කියලා. කල්වරි කන්දෙ තමයි දැවැන්ත නිෂ්පාදනයක් විදිහට කළේ. පසුදා ගෙදර ඒවාත් රූපගත කරලා දවසක්ම සංස්කරණයත් කළා නන්දන වින්දන මගේ අත්දැකීමේ හැටියට වැඩිම කාලයක් ගතවුණේ ඒ ගීතයට.
(ඒ කතාවට හේතු වුණේ ජයශ‍්‍රි මහතාගෙන් නන්දන වින්දන කළ යුගයේ ඡුායාරූප තිබේදැයි විමසූ විටයි. ඔහු මිතුරු කැලකට කතා කොට අවසානයේ සොයාගත හැකිව තිබුණේ ඕජායේ ගීතයේ රූපගත කිරීම් අවස්ථාවේ ගත් සේයා රූ කීපයක් පමණි.*
ඊට කලින් මුලින්ම රූපරචනා (විෂුවලයිසිං* කළ සින්දුව තමයි කැරකෙන රෝදේ පුංචි කරත්තේ. හැබැයි ඒ ගීතය ගුවන්විදුලියේ තිබුණු සරල ගීයක්. නන්දන වින්දන සඳහාම සැදුණු ගීතයක් තමයි ‘බැරිබර කරේ තියන් දෙපයට වාරු ඇරන්‘ ගීතය. ඒකෙ රූපරචනය කරලා ගීතය විකාශය වුණාට පස්සේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනා ගවමස් කෑම නතර කළා. පත්තරවල සෑහෙන ලිපි පළ වුණා. පේ‍්‍රක්ෂකයෝ ලියුම් තොග ගණන් එව්වා.
නාට්‍ය ගීත අතර මට හොඳටම මතක එක වතාවක් මම ජයසේකර අපෝන්සුගේ තටු නාට්‍යයේ ‘අපි කිරිල්ලියෝ රඟන රඟ මඬලේ‘ කියන ගීතය රූපවාහිනී මාධ්‍යයට ගැළපෙන විදිහට ෆ‍්‍රීස්කරලා එහෙම අරගෙන පොඩි පොඩි වැඩකෑලි ටිකක් එක්ක විකාශය කළා. අදටත් ජයසේකර අපෝන්සු කියනවා මේ කතාව. නන්දන වින්දන ගිය දවසට පහුවෙනිදා ඉඳන් තටු නාට්‍යය බලන්න රසිකයෝ දොරවල් කඩාගෙන, රණ්ඩු කරගෙන ශාලාව ඇතුළට එන්න පොරකනවාලූ. පාලනය කරගන්න බැරි වුණාලූ. ඒ තමයි වැඩසටහනේ ජනප‍්‍රියතාවක තරම.
අපි එක සෙට්එකක් ඩිසයින් කරගත්තාම ඒකේ සින්දු පහළොවක් විස්සක් විතර ගන්නවා. තව එකකත් එහෙමයි. පස්සේ සංස්කරණයේදි තමයි විවිධත්වය ඇතිවන්න වෙනස් කරගන්නේ. මිදුලේ වැලි මාළිගාවේ ගයද්දි මුතුබෙල්ලෙකුගේ කටුවක් වගේ දර්ශන තලයක් තිබුණා මතක ඇති ගොඩක් දෙනාට. හැබැයි මේවා අපි කවුරුත් ඒ කාලේ ලොකුවට දැනගෙන කරපුවා නෙවෙයි. විවිධත්වය දනවන්න හිතාගෙන නිර්මාණය කරපුවා තිබුණා. ඊට පස්සේ රූපවාහිනී තාක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න ලෝකේ හොඳම රටවල්වලට යන්න වාසනාව ලැබුණු ලංකාවේ එකම කණ්ඩායමත් අපි, රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ජර්මානු විශාරදයන්ගෙන් ඉගෙන ගන්නත් වාසනාව ලැබුණා.
ආත්මා, රූකාන්ත වගේ ගායක ගායිකාවෝ බොහොමයක් දෙනාගේ පළමුවැනි රූපවාහිනී ගීත ප‍්‍රචාරය සිදුවුණේ නන්දන වින්දන ඔස්සේ. සමන් ද සිල්වාගේ ‘අයිරින් ජොසපින් රොසලින්‘ ගීතය මේ වැඩසටහනටමයි නිර්මාණය වුණේ. කීර්ති පැස්කුවල්ට කියන්නේ එකරැුයින් ජනප‍්‍රිය වුණු ගායකයා කියලා. ඒ නන්දන වින්දනවලට කියපු ගීතයෙන් පස්සෙනේ.
(එහෙත් මේ බොහෝ දෙනාගේ පළමු රූපවාහිනී ගීත මේ දිගු කාලය තුළදී ජයශ‍්‍රි මහතාගේ මතකයෙන් ගිලිහී ගොසින් තිබීම අරුමයක් නොවේ)
මට මතක හැටියට නන්දන වින්දන වැඩසටහනකට කවදාවත්ම සහභාගී නොවුණ පිරිසක් හිටියා. ඒ අතරින් ලතා අක්කාගේ (ලතා වල්පොල* නමෝ මරියනී ගීතය නත්තල් වැඩසටහනකට වෙනත් රූප රචනා මඟින් පුරවා යොදා ගත්තත් අපට කිසිම විරෝධයක් නම් දැක්වූයේ නැහැ. ධර්මදාස වල්පොල, එච්.ආර්.ජෝතිපාල, නන්දා මාලනී, නිහාල් නෙල්සන්, ජී.එස්. බී. රාණි පෙරේරා වගේ ගායක ගායිකාවන් සහභාගී වුණේම නැහැ. වික්ටර් රත්නායක වැඩිම වාර ගණනක් නන්දන වින්දනවලට සහභාගී වූ ගායකයා ලෙස නම් දරනවා.
ඔන්න එක සැරයක් එම්. එස්. ප‍්‍රනාන්දු ආවා මලකින් බේරෙන පැණි බින්දු ගීතය ගයන්න. සාමාන්‍යයෙන් අපේ ක‍්‍රමය තමයි එක ගායකයෙක් හෝ ගායිකාවක් ගීත ගයලා අවසන් වනතුරු මේක්අප් එහෙම දාලා අනෙක් ගායකයන් ස්ටූඩියෝ එක ළඟ අසුන්පනවලා තියන එක. ඒත් මොකක් හරි හේතුවකට එම්.එස් අය්යාට කලින් කෙනා ගීත ගයනවා දකින්න ලැබුණේ නැහැ. ඒ වෙද්දි අපේ නිමල් බුලත්සිංහල ස්මෝක් මෙෂින් එකක් (කෘත‍්‍රිම දුම් යන්ත‍්‍රයක්* ගෙනල්ලා පළමු වතාවට අපි හැම සින්දුවකම මැද හරිය වෙද්දි දුමාරයක් එන්න සලස්වනවා. ඉතින් අපි එම්එස් අය්යාගෙත් රිහර්සල් එක බලලා පටිගත කරන්න පටන්ගත්තා. මේ ගීත කිසි එකක් සජීවීව කියන්නේ නැහැ. බොහෝ විට තැටිවාදනය කරලා රූපගත කරන්නේ කටහොල්ලන එක, නැත්නම් මයිමිං විතරයි. මුල් සංගීත කොටස ගියා, සින්දුවේ ස්ථායී කොටස ගත්තා දෙවැනි කොටසට එද්දි අපි ස්මෝක් මෙෂින් එක ඔන් කළා. ඒකෙන් කූෂ් කූෂ් ගාලා දුම පිඹිනවා දැක්කා විතරයි මීට කලින් ජීවිතේට එහෙම දෙයක් දැකලා නොතිබුණු එම්එස් අය්යා මයික්එක විසි කරලා දාලා දිව්වානේ ගිනිගන්නවා කියාගෙන.
(අපේ කතාව සෑහෙන වෙලාවකට ඇනහිටියේ ඒ දර්ශනය මා දුටුවා හා සමානව මවා කීම නිසා ඇති වූ හාස්‍යයෙන් පසු දෙදෙනාගේම සිනාව නතර කරගන්නට කාලය ගත වූ බැවිනි. මට මැවී පෙනුණේ දෑත් නවා තටු මෙන් යන්තමින් ගස්සමින්, දණහිස් නවමින් නටා ගයන එම්. එස්. ප‍්‍රනාන්දු මහතා එකවර දුවන්නට වූ විට නිෂ්පාදන කණ්ඩායම කෙබඳු ආකාරයෙන් හැසිරෙන්නට ඇතිද යන්නයි*
අවුරුදු අටක් තිස්සේ වෙනස්කම්වලටත් මුහුණ දෙන්න ඇති?
ඔව්. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. හැබැයි නන්දන වින්දන ආකෘතියේ වෙනසක් නොවුණට අපි රාජ් සෙනෙවිරත්නගේ සිලි සිලි සීතල ඇල්ලේ වගේ ගීත එකතු කළා. මුල් කාලේ ශිල්පීන් පවා තරුණ නිසා හුඹහෙන් ඇදලා ගත්තා වගේ හිටියට අවුරුදු අටක් යද්දි ඒ අයත් ඇඟපත පිරිලා දකින්න ලැබුණා. රූපවාහිනී තාක්ෂණයේ ලොකු තාක්ෂණික වෙනසක් නොවුණට, මැදිරි අංක එකේ ඉඳන් තුනට අපි මාරු වුණා. ඒ නිසා දෘශ්‍ය ප‍්‍රයෝග (විෂුවල් ඉෆෙක්ට්ස්* හොඳට යොදා ගන්න පුළුවන් වුණා. කැරකිලා යන මෝස්තර එහෙම පෙන්වන්න පුළුවන් වුණා. මුල් කාලේ මට මතකයි සියැක් බෑන්ඞ් එක සමඟ මංගල නැකතේ චූටි නංගි මගෙ ගීතය එහෙම චන්ද්‍රලේඛා නැතුව රූගත කරලා පසුව ඒ රූප එකතු කළා. තුන්වැනි මැදිරිය ලොකු නිසා පසුතල නිර්මාණය වැඩි වුණා.
තාමත් අර පරණ විදිහට බලන්න පුළුවන් කියලා සමහරු මට කතා කරලා කීවා නම එහෙම යනවා දැකලා. අපි ඒ වැඩසටහන කළේ පේ‍්‍රක්ෂකයන් ගැන හිතලා. රසිකයන් බොහෝ ආදරය කළ ගීත සහ වැඩසටහන් යොදාගත්තේ පවුලම එකට ඉඳගෙන බලන්න පුළුවන් වන්නයි. ඒ කාලේ හැටියට ඒක බොහොම ජනප‍්‍රිය වුණෙත් ඒ නිසයි. ඒකක ප‍්‍රධානී විවිධාංගීකරණ ලෙස කටයුතු කළ අබේවර්ධන බාලසූරිය මහත්තයා ඇතුළු සිසිර කොතලාවල වැනි අප අතරින් වෙන්වූවන් වගේම, ජයතිස්ස බොරළුගොඩ, ජනක මල්ලිමාරච්චි වැනි මෙකී නොකී බොහෝ දෙනෙක්, තාක්ෂණික ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, කැමරා ශිල්පීන්, පසුතල ශිල්පීන් රැුසක් හිටියා. රූපවාහිනී වැඩසටහනක් කියන්නෙම ටීම්වර්ක් එකක්. අපි සියල්ල එකතුවෙලා කළ අත්හදාබැලීම් වගේම සිතා මතා කළ දේවල් බොහෝ සාර්ථක වුණා. ප‍්‍රාසංගික කලාව බොහෝ වෙනස්ව ගිය අද වැනි යුගයකත් මේ වැඩසටහන යළි විකාශය කිරීම මඟින් සහ එයට ලැබෙන ප‍්‍රතිචාර නිසා එවැනි වැඩසටහනකට සම්බන්ධ වීම වගේම පසුකාලීනව කරට ගෙන එය කිරීම පිළිබඳ තෘප්තිමත් හැඟීමක් ඇතිවෙනවා.
කළු ජූලිය, 88/89 කලබල කාලවල පවා නොනැවතී විකාශය වුණු වැඩසටහන අවුරුදු අටකට පසුව විකාශය නතර වුණේ ආයතනික හේතුවක් මතයි. ඒත් ඒ වනවිටත් තවත් වැඩසටහන් කීපයකට එකතු කරගත් අංග ඉතිරිව තිබුණා. වසර අටක් තිස්සේ වේගයෙන් වෙනස්වන සමාජ ක‍්‍රමයක ජනප‍්‍රියත්වය නොබිඳී පවත්වා ගැනීමට ප‍්‍රවණතාවන් සමඟ වැඩුණු නන්දන වින්දන වැඩසටහන සමත් වුණා. අප දැනුම් තේරුම් ඇති යෞවනියන් බවට පත්වද්දී මාසික වැඩසටහනක් වූ නන්දන වින්දන යෙදුම කාන්තාවන්ගේ තුඩතුඩ රහසේ රැුව්දුන්නේ වෙනත් සංඥාර්ථයක් සමඟ බව මතක් වුණේ මේ ලියන අතරතුරයි. කෙසේ වෙතත් ඒ යුගයේ ගඩොල්බාග තරම් ජංගම දුරකථන හෝ නොතිබුණු නිසා අද මෙන් නන්දන වින්දන සෙල්ෆී තියා දළ සේයාපටවල රැුඳුණු ඡුායාරූපයක් වත් නැත. ඒ කාලයේ කැපවීමෙන් වැඩ කළා මිස ඒවායේ සමරු තබමින් වැඩි වැඩපෙන්වීම ප‍්‍රචලිත කාලයක් නොවූ බැවින් විය හැකිය. කෙසේ වෙතත් කාලය මැවු වෙනසක අරුමය තවදුරටත් පුදුමයක් කරමින් අපට ඒ යුගයේ වැඩසටහන් කිසිදු අපහසුවකින් තොරව යළි රසවිඳීමට හැකිව තිබීම ඉඟි කරන්නේ වෙනස මැවූයේ ද ඒ වෙනසේ ගිලී ගියේද කාලය නොව මිනිසාම බව නොවේද?
0 Comments