Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇතුලත විරෝධය මැද මහින්ද – සුමන්තිරන් හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී ඊයේ(12) පස්වරුවේ යි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළේ තම කණ්ඩායම පසුගිය දා අගමැතිවරයා හමුවූ අවස්ථාවේ දෙමළ දේශපාලන සිරකරුවන් ගැන කළ දැනුම්දීමට අදාලව මෙම හමුව සිදුවූ බවයි. අගමැති මහින්ද රාජපක්ෂ විසින් එහි විස්තර ඉල්ලා සිටි අතර තමන් හා අගමැතිවරයා අතර හමුවේදී එම විස්තර ඔහුවෙත ලබාදුන් බව සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසීය.

මෙම විස්තර ලබාගත් අගමැතිවරයා ඒවා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව සුමන්තිරන්ට පවසා ඇති අතර ඔහුටද ජනාධිපතිවරයාට කතා කරන ලෙස අගමැතිවරයා දැනුම් දී තිබේ.

පයක පමණ කාලයක් පුරා සිදුවූ මෙම සාකච්ඡාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ඊට දෙමළ ජනයාගේ ගැටලුව සඳහා වන විසඳුම් ඇතුලත් කිරීම පිළිබඳවද තමන් අගමැතිවරයා  සමඟ කතා කළ බව සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පැවසීය. ඒ අතර කොවිඩ් 19 වසංගතයට එරෙහි කටයුතු වලදී තමන්ගේ සහය දිගටම ලබා දෙන බවට තමන් සහතික වූ බවද ඔහු කීවේය.

“මොන ප්‍රශ්නය වුනත් අපිට සාකච්ඡා කරන්න වෙන්නේ ආණ්ඩුවේ ඉන්න පාර්ශවයත් එක්ක. ඒක අපි දිගටම කරන දෙයක්.  2010 ඉඳන් 2015 වෙනකම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්නකොට අපි එයා එක්ක තමයි සාකච්ඡා කළේ.  2011 අපි දේශපාලන විසඳුමක් ගැන එයත් එක්ක 18 වතාවක් සාකච්ඡා කළා. ඒ නිසා කව්රු වුනත් ආණ්ඩු බලය තියෙන අයත් එක්ක අපි සාකච්ඡා කරන්න සුදානම්…” යනුවෙන් ඔහු පැවසිය.

ඔවුන් සඳහන් කරන ආකාරයට මේ වන විට දේශපාලන සිරකරුවන් ඇත්තේ 90 දෙනෙකි. ඉන් 47 දෙනෙකුගේ නඩු කටයුතු අවසන්ව තිබේ. ඒ අය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ජනාධිපතිවරයා සමඟ බවයි හිටපු මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ. ඒ ඔවුන්ට සමාව දීමේ නෛතික බලය ඇත්තේ ඔහු සතුව බැවිනි. ඉතිරි පිරිස සම්බන්ධව නීතිපති සමඟ සාකච්ඡා කළ යුතුව තිබෙන බවයි ඔහු කියා සිටියේ. මෙම ඉතිරි දේශපාලන සිරකරුවන්ට තවමත් නඩු තිබුණද ඔවුන් දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටින බැවින් ඒ පිළිබඳව සලකා බලා යම් ක්‍රියාමාර්ගයක් මත නිදහස් කළ යු බවයි සුමන්තිරන්ගේ අදහස වුයේ.

“මේ ගැන අගමැතිවරයා හමුවූ මුල් අවස්ථාවේදීම ඔහු කිව්වා මේ ගැන සොයා බලන්න ඕනේ කියලා. එතුමාගේ මතයත් කෙනෙක් අවු.10ත් අවු.15 ටත් වැඩි කාලයක් බන්ධනාගාරගතව ඉන්නවානම් ඒ ගැන සාධනීයව සොයා බලන්න ඕනේ කියන එක. ඒ නිසා තමයි මට ආරාධනා කළේ විස්තර ලබා දෙන්න කියලා..” යි යනුවෙන් දෙමළ ජාතික සන්ධානය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසා සිටියේ.

සුමන්තිරන් ඉවත් කරනු!

හිටපු මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්  විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් වෙත ලිපියක් යවා තිබුණි.

ඒ සුමන්තිරන් විසින් එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අරගලය කිසිවිටක අනුමත නොකරන බවට සිදුකළ ප්‍රකාශයක් මතයි. චාල්ස් නිර්මලනාදන් සිය ලිපියෙන් ඉල්ලා ඇත්තේ  සුමන්තිරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීම සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසයි.

හිටපුමන්ත්‍රී සුමන්තිරන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන ධාරාවෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ යන පක්ෂ නායකයින් හා නියෝජිතයින් ද සිය අප්‍රසාදය පළ කළෝය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අවිහිංසාවාදී අරගලයකින් පසු ආයුධ සන්නද්ධ අරගලයකට උතුරේ දෙමළ තරුණ කණ්ඩායම් ඇද දැමුවේ දකුණේ පාලනය බවයි.

සුමන්තිරන්ට අවබෝධයක් නැහැ

දෙමළ ජනතාවගේ විමුක්තිය හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් එම අරගලය පිළිබද නිසි අවබෝධයකින් තොරව සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇති බවයි සිද්ධාර්ථන්ගේ මතය වන්නේ. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජනයක් වන දෙමළ ජාතික සන්ධානයේ නාමය භාවිතා කරමින් මේ ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීමට මින් ඉදිරියට කිසිදු ඉඩක් නොතැබීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වය කටයුතු කළයුතු යැයිද සිද්ධාර්ථන් කීවේය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්මම් අඩෙයිකලනාදන් අදහස් දක්වමින් සදහන් කළේ කොටි සංවිධානයේ ආයුද සන්දන්ධ අරගලය සම්බන්ධයෙන් සුමන්තිරන් සිදුකළ ප්‍රකාශයට තමන් දැඩි අප්‍රසාදය පළකර සිටින බවයි.

The post ඇතුලත විරෝධය මැද මහින්ද – සුමන්තිරන් හමුවක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();