2019 පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ නියෝගය මතයි.
තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අද(05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියම කර ඇත්තේ. ඒ ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට නියෝග කර තිබේ.
අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලීසියේ අධ්යක්ෂවරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබුවේය.
මෙම නියෝගය පිටපතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවේය.
මිට පෙර ඉකුත් ජුලි මස 9 වනදා හේමසිරි ප්‍රනාන්දු සහ අනෙක් චුදිත පුජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබුණි.
ප්‍රධාන මහෙස්ත්රාත්වරියගේ එම ඇප නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බල රහිත කරන්නයි නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුවක් ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන දෙදෙනා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව නීති විරෝධී යැයි තීරණය කළේය.
එම තීන්දුව ඉකුත් ඔක්තෝම්බර් මස 09 වනදා ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එදින යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.
The post හෙමසිරිට විතරක් ඇප appeared first on Lanka News Column.
0 Comments