Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආදරේ අලු­තින් කිය­ව­මුද ?

සුරේකා නිල්මිණි ඉංගකෝන්

ආදරය කියන්නේ විශ්ව භාෂාවක් වගේ හැම හදවතකටම දැනෙන, වැටහෙන අපූර්වතම හැඟීමකටයි. ආදරයේ ප්‍රභේද ගණනාවක් පවතින අතර මනෝ විද්‍යාත්මකව අන්තර් පුද්ගල ආදරය ලෙස විග්‍රහ කරන්නේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැඳීමක්. ආදරය යනු කුසගින්න, පිපාසය මෙන් තවත් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවත්, එය ඇති වීමට බලපාන්නේ සිරුර තුළ නිපදවන හෝමෝන බවත් ජීව විද්‍යාඥන්ගේ අදහසයි.

වත්මන් සමාජය තුළ ප්‍රධානම තැනක් හිමි වන්නෙත් වැඩිපුර කතාබහට ලක් වන්නෙත් ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමයයි. අනුරාගය, ආකර්ෂණය සහ බැඳීම කැටි කරගත් එම ආදරය මානව සංහතියේ දිගුකාලීන පැවැත්මට හේතු වන ප්‍රබලම සාධකයයි. හොඳම ආගම ආදරය වන අතර හැම ආගමක් විසින්ම එම හැඟීමේ උත්තරීතර බව පසක් කර දී තිබෙනවා.

සරාගී සිතිවිලිවලින් පමණක් ගොඩනැඟුණු ආදරය වෙනුවට, ශික්‍ෂණයක්, ප්‍රතිපත්තියක් ඇති ආදරය ගැන බුදුදහමේ සඳහන් වෙනවා. බුදුදහමේ එන හොඳම ආදර කතාව ලෙස සැලකෙන්නේ සිද්ධාර්ථ කුමරු සහ යශෝධරා දේවිය අතර වූ බැඳීමයි. එය සසරෙන් සසරට පතා ආ සුන්දර, අව්‍යාජ ආදරයක් බව සඳකිඳුරු ජාතකය වැනි ජාතික කතාවලින් ද තහවුරු වනවා. නකුලමාතා, නකුල පිතා ආදර කතාව මඟින් පසක් වන්නේ ආදරයේ උත්තරීතර ඵලය වන විවාහ බැඳීම දිවි දිමියෙන් රැකගත් ආදරවන්තයන් සංසාරය පුරාවට ඒ ආදරයම පතා එන බවයි.

කිතුනු දහමට ප්‍රේමය යනු පරාර්ථකාමී පාරමිතාවක්. ඉවසීම සහ කරුණාව වැනි මෘදු ගුණ කැටිකරගත් ආදරය කිසිවිටෙක නපුරු හෝ ආත්මාර්ථකාමී හැඟීමක් නොවන බව ශුද්ධවූ බයිබලයේ 'ප්‍රේම පාරමිතාව' තුළ සඳහන් වනවා. විවාහය යනු ආදරයේ අපූර්වතම ඵලය බවත් දෙවියන් විසින් එක්කළ අය මිනිසුන් විසින් වෙන්නොකළ යුතු බවත් පවසන බයිබලය නිතරම විවාහ ජීවිතයේ පාරිශුද්ධ භාවය පිළිබඳ කතා කරනවා.

හින්දු ආගමට අනුව විවාහයෙන් කෙළවර වන ආදරය දෙදෙනකුගේ එකතුවක් පමණක් නෙවෙයි පරම්පරා දෙකක එකතුවක් ලෙසටයි සැලකෙන්නේ. මුස්ලිම් ආගමට අනුව කුරාණයේත් ආදරය උත්තරීතර සහ පිරිසුදු හැඟීමක් ලෙස සලකනු ලබනවා. නමුත් විවාහ වීමට පෙර සිපගැනීම, ස්පර්ශය වැනි දේවල් මුස්ලිම් ආගම සලකන්නේ “හරාම්” හෙවත් ආගමට පටහැණි දේවල් ලෙසටයි. එවැනි දේවල් සිදුවිය යුත්තේ විවාහයෙන් පසුව බවයි ඔවුන්ගේ අදහස.

ආදරය ගැන ඒ අදහස් කවුරු කොහොම කුමන විදිහට පිළිගත්තත් ආදරය කියන්නේ උපත ලැබූ දා සිට මියෙන තෙක්ම අප කාගෙත් හදවතට දැනෙන හැඟීමක් වගේම අපි කවුරුත් ලෝබකමින් හදවතට තුරුලු කරගන්න හැඟීමක්. ඒත් ආදරය ගැන මෙතරම් ප්‍රසිද්ධියේ කතාබහ කරන්නට නම් බොහෝ දෙනා පෙලඹුණේ ආදරවන්තයන්ගේ දිනයක් ලොව ප්‍රචලිත වීමත් සමඟයි. වැලන්ටයින් දිනයේ ඇරඹුව අතීත බටහිර සමාජය තුළ දිළිඳු ජනතාවට අසරණ සරණ සේවයක් ඉටුකළ වැලන්ටයින් නම් සාමිවරයා දක්වා දිවෙන්නක්. එතුමාගේ මානව හිතවාදී සේවය සැමරීම වෙනුවෙන් ආරම්භ වූ වැලන්ටයින් දිනය පසුකලෙක පෙම්වතුන්ගේ දිනය ලෙස නම් කෙරුණා. අධිරාජ්‍යවාදී පාලනය තුළින් ගලා ආ බොහෝ දේවල් ලාංකේය සංස්කෘතිය තුළ ස්ථාපිත වූ අයුරින්ම එම දිනයද ලාංකේය සංස්කෘතිය තුළට ඇතුළත් වුණා.

විද්යුත් මාධ්‍ය හා ඇතැම් පුවත්පත් සහ සඟරා තුළින් සමාජය තුළ ඇති කළ ආකල්ප මෙන්ම වාණිජවාදි අලෙවිකරණ ආකල්ප මූලික කරගත් වෙළෙඳ සමාගම් ලාබ ඉපයීමේ පරමාර්ථයෙන් වැලන්ටයින් දිනය අලෙවිකරණ උපක්‍රමයක් ලෙස යොදාගැනීෙමන් මෙරට තරුණ ප්‍රජාව අතරද මෙම දිනය ප්‍රචලිත වී තිබෙනවා.

එහෙත් ඉහත කී ආකාරයට මාධ්‍ය හා වෙළෙඳ ප්‍රචාරණ තුළින් ඒ පිළිබඳ නිසි ආකල්ප සමාජයට ලබාදී නැති බව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා වරක් ඒ පිළිබඳ දැක්වූ අදහසක් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.

"බොහෝදෙනා මේ පිළිබඳ විවිධ විවේචන කළත් එයත් ඵල රහිත ක්‍රියාවක් බවයි මගේ අදහස. අර්ථාන්විත ආකාරයට මෙම දිනය සැමරීම වරදක් ලෙස මා දකින්නේ නැහැ. මූලිකම කරුණ තමයි මෙම දිනය පෙම්වතුන්ගේ දිනය ලෙස සුවිශේෂ විය යුත්තේ පෙම්වතුන්ට පමණක් නොවෙයි. ආදරය, කරුණාව වැනි මානුෂික හැඟීම් ඇති සෑම වයසකම, තරාතිරතම පසුවන සියලු දෙනාටම අන්‍යයන් සමඟ තිබෙන බැඳීම් ශක්තිමත් කරගත හැකි දිනයක් ලෙස මෙම දිනය යොදාගන්නවා නම් එය ඉතා අර්ථවත්. වර්තමාන සමාජයේ බොහෝ වියපත් මවුපියන් දරුවන් නැතිව හුදෙකලා වී සිටිනවා. ඒ වගේම කාර්යබහුල මවුපියන්ට තමන්ගේ දරුවන් සමඟ රැඳෙන්න, ඔවුන් සමඟ කතාබහ කරන්න, ඔවුන්ට ආදරය සෙනෙහස දෙන්න වෙලාවක් නැහැ. ඒ නිසාම මේ සමාජය තුළ මවුපිය, දරු සබඳතා බොහෝදුරට දුරස් වී තිබෙනවා. ඒ වගේම කාර්යබහුලත්වය හෝ වෙනයම් හේතු නිසා විවාහක යුවතිපතීන් අතර පවා බැඳීම, ආදරය ලිහිල් වී තිබෙනවා. වසරකට වරක් එළඹෙන දිනයකින් එම බැඳීම් රැකගන්න බැරිවුණත් තමන්ට ආදරය කරන හදවත් වෙනුවෙන් ආදරය, කරුණාව, සෙනෙහස දක්වන්න මේ දිනය හෝ අවස්ථාවක් කරගැනීම සුදුසුයි. වර්තමාන සමාජයේ මිනිසුන් තුළ අකාරුණික බව වැඩි වී තිබීම අපරාධ වැඩි වීමට එක්තරා හේතුවක්. එම තත්ත්වය වෙනස් වීමට නම් සෑම පුද්ගලයකු තුළම ආදරය වැනි මෘදු හැඟීම් සඳහා ද ඉඩක් තිබිය යුතුමයි."

ඉතින්, මෙවර පෙම්වතුන්ගේ දිනයේදී ඔබටත් හදවතින් දුරස් වී ගෙන යන ආදරණීය බැඳීම් යළි හදවතට සමීප කරගන්න අවකාශ සලසාගත හැකි නම් එම දිනයට පමණක් නොව ඔබේ ජීවිතයටද අරුත්බර බවක් එක් වේවි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();