තමන් දෙන දුරකතන ඇමතුමක් පටිගත කිරීමට විරෝධය දක්වමින් අධිකරණයට යාමට අවශ්‍ය තරම් නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති පද්ධතිය තුළ නොමැති බව වාර්තා වනවා.
මේ නිසා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද පටිගත කිරීම් ගැන අවධානය යොමු කළ යුත්තේ සදාචාරය සම්බන්ධයෙන් වන තත්ත්වයක් මත පිහිටා යැයි තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ දුරකතන සංවාදයක් කතාබහ කරන දෙදෙනාගෙන් එක් අයෙක් පටිගත කිරීම හා තුන්වැනි පාර්ශ්වයක් විසින් අනවසරයෙන් පටිගත කිරීම අතර වෙනසක් තිබෙන බවය.
වෝටර්ගේට් සිද්ධියේදී වූයේ තුන්වැනි පාර්ශ්වයක් විසින් අනවසරයෙන් දුරකතන සංවාදවලට සවන්දීමය. ඇතැම්විට බුද්ධි අංශ මගින් විවිධ පුද්ගලයින්ගේ දුරකතනවලට සවන්දීමද මේ ආකාරයට තුන්වැනි පාර්ශ්වයක් විසින් දුරකතනවලට සවන්දීමට උදාහරණයකි.
“සදාචාරාත්මකව ගත්තම පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවන සංවාදයකදී අනෙක් පුද්ගලයාට දෙයක් කියන්නේ එය රහසක් සේ තබාගැනීමට නොවෙයි. රහසක් සේ තබාගන්නා දෙයක් කියනවා නම් මේක රහසක්, කාටවත් කියන්න එපා කියලා කියනවා. කිසියම් පුද්ගලයෙක්ට දෙයක් කිව්වට පස්සේ ඔහු අහවල් පුද්ගලයා මට මෙහෙම කිව්වා කියලා තවත් අයෙක්ට එය කියනවා. මේකට තාක්ෂණය ආවාට පස්සේ කවුරුන් හෝ දෙයක් කියපු දෙයක් එසේ කීවා කියපු බව පෙන්වීමට දුරකතන ඇමතුම් පටිගත කරගන්න පුළුවන්.
නමුත් මෙතැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. මේ විදියට ගියොත් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග කිසිම දෙයක් විශ්වාසයක් ඇතිව කතා කරන එකක් නැහැ. ලංකාවේ මේ ආකාරයට අනවසරයෙන් දුරකතන ඇමතුම් පටිගත කිරීමට අදාළව නීතියක් නැහැ. නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එවැනි නීතියක් තිබෙනවා. ඒ අනුව තවත් පුද්ගලයෙක්ට තමන් ගන්නා දුරකතන ඇමතුමක් වුවත් අනෙක් පුද්ගලයාගෙන් අවසරයක් ගන්නේ නැතිව පටිගත කිරීම තහනම්” මහාචාර්ය සමරජීව මහතා සඳහන් කළා.
දුරකතන ඇමතුම් පටිගත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ නීතිමය තත්ත්වයක් නොමැති නමුත් එසේ පටිගත කරනු ලබන හඬ පට අධිකරණ නඩු විභාගවලදී භාවිතා කිරීමට තරම් නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති පද්ධතියට ඇතුළු වී තිබෙනවා.
ඒ 1995 සාක්ෂි විශේෂ විධිවිධාන පනත අනුවය. සාක්ෂි විධිවිධාන පනතේ 4,5 සහ 6 වැනි වගන්තිවලට අනුව ඩිජිටල් ආකාරයෙන් පටිගත කර ඇති දුරකතන සංවාද, හඬ පට, අධිකරණයේ සාක්ෂි ලෙස යොදාගත හැකියි. එසේ සාක්ෂි ලෙස යොදා ගැනීමට නම් හඬ පට කිසිදු විකෘති කිරීමකින් තොරව, සංස්කරණය නොකරනු ලැබූ හඬ පට විය යුතුයි.
“රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටය වැනි හඬ පට අධිකරණයේ සාක්ෂි වශයෙන් ගත හැකියි. නමුත් මේ හඬ පට සාක්ෂි ලෙස භාවිතා කිරීම සඳහා ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. දැන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද ලක්ෂයකට වඩා වැඩියෙන් තිබෙන බව පැවෙසනවා. එහෙම වුණොත් මේවා ගැන වෝහාරික පරීක්ෂණයක් කරන්න අති විශාල කාලයක් යනවා. ඒ වගේම තමයි දැන් පොලිසිය සතුව තිබෙන හඬ පට සාක්ෂි ලෙස ගන්නවා නම් ඒ බව විත්ති පාර්ශ්වයට දින හතලිහකට පෙර දැනුම් දිය යුතුයි.
ඒ සාක්ෂි දින පහළොවකට පෙර විත්ති පාර්ශ්වයට පිටපතක් ලෙස ලබාදිය යුතුයි. දැන් මෙතැනදී තිබෙන දේ තමයි මේවා සාක්ෂි ලෙස ලබාගැනීම සඳහා නඩුවක් තිබෙන්නේ කොහේද කියන එක. තවමත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා නෑ” බටහිර ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා ජාතික තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙනවා.
ඔහු පවසන්නේ දැනටමත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට විරුද්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන නිසා අවශ්‍ය නම් මේ සාක්ෂි එහිදී යොදාගත හැකි බවයි.
ජනාධිපති නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා සඳහන් කරන්නේ “නඩු කටයුත්තකට ව්‍යංගයෙන් හෝ සෘජුව බලපෑම් කරන්න හදනවා නම් ඒ පුද්ගලයාට සිර දඬුවම් ලැබෙනවා. ඒ වගේම අවුරුදු හතකට පුරවැසි අයිතිවාසිකම් නැති කිරීමට හැකියි. ඒ කියන්නේ ඡන්දය ඉල්ලීමට, ඡන්දය ලබාදීමට තිබෙන අයිතිවාසිකම් පවා නැති කළ හැකියි” යනුවෙනුයි.
කෙසේ වෙතත් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසන්නේ මේ ගැන කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බවය. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ විනිසුරුවරිය සම්බන්ධයෙන් කටයූතු කර ඇය නිර්දෝශී නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කළ යුතු බව ඔහුගේ අදහසයි.
“රටක පැවැත්ම සඳහා ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍යයි. මේ කරුණු තුනෙන් එක්ක හරි වැටුණොත් රටට ඒක බලපානවා. පොලිසියේ සිටින නිලධාරීන් අනූ හතරදහසකින් එක් අයෙක් වරදක් කළ විට හැමෝම වැරදිකරුවන් සේ සලකන්න හොඳ නෑ. අපේ රටේ 1833 සිට ක්‍රියාත්මක වෙන ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. මේ දුරකතන සංවාදයක් නිසා අධිකරණය ගැන ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳ වැටිලා අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටුණොත් රටට එතැනින් එහාට යන්න බැරිවෙනවා.
හයිටි රාජ්‍යය අරාජික රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඇමරිකාව මුලින්ම කළේ අධිකරණය ගැන ජනතාවට තිබෙන විශ්වාසය නැති කිරීමයි. මේ නිසා අධිකරණ විනිසුරුවන්ගේ සංගම් තිබෙනවා. නීතීඥ සංගම් තිබෙනවා. මේ හැමෝම එකට එකතු වෙලා මේ වෙලාවේ දී වැඩ කළ යුතුයි” මහාචාර්ය මහානාමහේවා සඳහන් කළා.
“පෞද්ගලිකත්වයට තිබෙන අයිතිය පිළිබඳ පනතක් ගෙන ඒම වගේම පෞද්ගලිකත්වය මූලික අයිතිවාසිකමක් බවට පත් කළ යුතුයි. ඒ මගින් පෞද්ගලිකත්වයට හානි වන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කළ හැකියි” මහාචාර්ය මහානාමහේවා සඳහන් කරන්නේය.
0 Comments