Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ කතාව මගේ තෝරා ගැනී­මක් නොවේ

කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ ප්‍රථම සිනමා ප්‍රවේශය අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි’ සිනමා පටයයි. සිය කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩවූ සිනමා නිර්මාණ තිස්පහකින් විසිපහකටම හොඳම කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සම්මානයට පාත්‍ර විය. වර්තමානයේ සිය සිනමා ජීවිතයේ නවතම කඩඉමකට ඔහු ප්‍රවිෂ්ට වී සිටී. එම් එන්ටර්ටේන්මන්ට්ස් නිෂ්පාදනය කළ ‘U Turn’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි ඔහු සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියයි. 

‘U - Turn චිත්‍රපටය සමඟ ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස සිටිනවා. එයට පසුබිම සැලසුණේ කෙලෙසද ?

සිරස මාධ්‍ය ජාලයේ එම් ‘එන්ටර්ටේන්මන්ට්ස්’ ආයතනයට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලෙස සිරස නාළිකා ප්‍රධානී සුසාර දිනාල් සහ අරුණ ජයවර්ධනගෙන් මට ඇර­ියුමක් ලැබුණා. මගේ ප්‍රියතම විෂයය කැමරාකරණය නිසා මට ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් තිබුණේ නැහැ. මෙය බාර ගැනීමට පෙර මගේ හිතවතුන් කිහිපදෙනෙකුගේ මම අදහස් විමසුවා. ඔවුන්ගේ අදහස් ධන සහ ඍණ දෙපැත්තටම බර වුණා. අවසානයේ මා තුළ ගොඩනැඟුණු ආත්ම විශ්වාසය මත චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තීරණය කළා.

‘U - Turn’ ඉන්දියානු චිත්‍රපටයක ප්‍රති නිර්මාණයක් නේද ?

ඉන්දියාවේ විවිධ භාෂාවලින් මෙම චිත්‍රපටය ‘U Turn’ නමින්ම නිර්මාණය වී තිබෙනවා. ද්‍රවිඩ භාෂාවෙන් පවන් කුමාර නමැති ඉන්දියානු අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ U Turn චිත්‍රපටයට අනුකූලව ඒ ආභාසය ලබමින් අපේ රටට ගෝචර වන ආකාරයටයි මෙය නිර්මාණය කළේ.

අපට සිටින ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරුන් බොහෝ දෙනෙක් ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් සිනමාවට ප්‍රවිෂ්ට වුණේ. ඔබ අධ්‍යක්ෂණයට ප්‍රවේශ වන්නේ වෙනත් චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණය කිරීමෙන්. එයට හේතුව?

මෙය මාගේ තෝරා ගැනීමක් නොව එම් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනයේ තෝරා ගැනීමක්. U Turn ඉන්දියාවේ ප්‍රදර්ශනය කර ඇති සාර්ථක ලෙස ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක් නිසා ඔවුන්ට අවශ්‍ය වුණා ‘U Turn’ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ගෝචර වන ආකාරයට නිෂ්පාදනය කරන්නට. මේ චිත්‍රපටය මට තෝරා දුන්නේ ‘එම් එන්ටර්ටේන්මන්ට්ස්’ ආයතනයයි.

ඒත් මේ චිත්‍රපටය ගැන යමක් කිව යුතුයි. පසුගිය දශක එකහමාර තුළ දකුණු ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ව‍ට්ටෝරු සිනමා රාමුවෙන් බැහැරව නව්‍යතාවකින් යුක්තව චිත්‍රපට බිහි වන්නට පටන් ගත්තා. ඒවා නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට බඳුන් වුණා. ‘U Turn’ එවැනි නව ආරක නිර්මාණයක්.

කැමරා අධ්‍යක්ෂවරයකු වීම පමණක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට ප්‍රමාණවත් සුදුසුකමක් යැයි ඔබ සිතනවාද ?

සමස්ත චිත්‍රපටයක අධ්‍යක්ෂණයට, කැමරා අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවට වඩා බොහෝ දේ තිබිය යුතුයි. නමුත් කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස 25 වසරක් පුරා ලද පරිචය, අත්දැකීම් සම්භාරය, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස දායක වීමෙන් ලද ආභාසය යනාදි සියල්ල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සුදුසු තෝතැන්නක් මට නිර්මාණය කර දුන්නා. විවිධ චිත්‍රපට නැරඹීම තුළින් හොඳ අධ්‍යයනයක් ලැබෙනවා. ඒ පිළිබඳ හොඳ දෘෂ්ටියක් තිබේ නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට එය සුදුසුකමක් විය හැකියි. මේ සියල්ලෙන් ලද ආභාසය, දැනුම් සම්භාරය කැටිකොට මට ලැබුණු අවස්ථාව උරගා බලන්න මම යොමු වුණා.

ඇතැම් සිනමා විචාරකයන්, ප්‍රබුද්ධ සිනමා ප්‍රේක්ෂකයන් බොහෝවිට ප්‍රතිනිර්මාණය කරන ලද චිත්‍රපට පිළිබඳ අවතක්සේරු කර විවේචනාත්මක අදහස් දක්වනවා. ඔබගේ නිර්මාණයටත් එවැන්නක් සිදුවේවිද ?

සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට මෙය විචිකිචඡාවක් විය හැකියි. නමුත් මෙය ලෝකයේ තිබෙන නවතම ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාව මත කිසිම අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපට ප්‍රතිනිර්මාණයට නැවතීමේ ලකුණ තබන්නේ නැහැ. මෙලෙස ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. කලාත්මක සහ ගුණාත්මක භාවයෙන් යුතුව ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටවලට අද වෙළෙඳපොළේ හොඳ ඉඩක් තිබෙන නිසා ඒවාට තිබෙන ඉල්ලුම වැඩියි. සිනමා කර්මාන්තයේ පැවැත්මටත් ප්‍රතිනිර්මාණ චිත්‍රපට මඟින් ඍණ බලපෑමක් කළ හැකි නිසා නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු චිත්‍රපට ප්‍රතිනිර්මාණය කිරීම නවත්වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ‘ධර්ම යුද්ධය’ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලද චිත්‍රපටයක්. එයත් ප්‍රතිනිර්මාණය කරන ලද චිත්‍රපටයක්. චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ ප්‍රේක්ෂකයා ඉලක්කගතකොට මිසක් විචාරකයා ඉලක්කගතකොට නොවෙයි.

ඉන්දියාවේ ‘U Turn’ ලද ප්‍රේක්ෂක ප්‍රතිචාරය හා සමාන ප්‍රතිචාරයක් ඔබ අධ්‍යක්ෂණය කළ U Turn චිත්‍රපටයට මෙරට ප්‍රේක්ෂකයාගෙන් ලැබේවි කියලා ඔබ විශ්වාස කරනවාද ?

ඉන්දියාවේ ‘U Turn’ කිහිප වතාවක් මම නැරඹුවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට ඒ අධ්‍යක්ෂවරයා දක්වා තිබූ ශිල්පීය දස්කම් පිළිබඳ මම හොඳින් අධ්‍යයනය කර ඒ ආභාසය ලබා ගෙන චිත්‍රපටය නිර්මාණය කිරීමට හැකි වෙතැයි මා තුළ විශ්වාසයක් ‍‍‍ගොඩ නැඟුණා. ඒ අභියෝගය මම බාර ගත්තා. මෙය සාම්ප්‍රදායික රාමුවට කොටු නොවූ වෙනස්ම වස්තු බීජයක්. මෙය ලාංකික ප්‍රේක්ෂකයන්ට සරිලන ආකාරයට නිර්මාණය කළ නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියා මම විශ්වාස කරනවා.

ඇතැම් චිත්‍රපට විශාල පිරිවැයක් යොදලා නිර්මාණය කළත් ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නේ නැහැ. ඇතැම් චිත්‍රපට අඩු පිරිවැයකින් ප්‍රේක්ෂක ආකර්ෂණයට, ප්‍රසාදයට ලක්වෙනවා. රඳා පවතින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ‍මතයි. ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමට සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවූ නිර්මාණ බිහි කළ යුතුයි.

ඔබ ඉදිරියේදිත් චිත්‍රපට අධ්‍යක්ෂණයට බලාපොරොත්තු වනවාද ?

මගේ ප්‍රියතම ක්ෂේත්‍රය චිත්‍රපට කැමරාකරණයයි. කිසිදිනක කැමරාකරණය අත්හරින්නේ නැහැ. අවස්ථාවක් ලදහොත් චිත්‍රපට අධ්‍යක්ෂණයේ නියැළෙනවා. දැනටමත් මම ස්වතන්ත්‍ර නිර්මාණයක් අධ්‍යක්ෂණය කර හමාරයි. ඊළඟ චිත්‍රපටයේදී පෙර නිර්මාණවල අත්දැකීම් සමඟ ගුණාත්මක නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පෙර කළ වැරදි අවම කරගෙන නවතාවෙන් යුතු දෙයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නටයි මගේ බලා‍පොරොත්තුව.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();