Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මට ඕන හොඳ අම්මා කෙනෙක් වෙන්න

දමිත්‍රි සුබසිංහ
ජනවාරි 2, 2020

දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලැඳි ඇය රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරය සරසන්නීය. ඒ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ උදාරා සහ මදාරා යන ද්විත්ව චරිත රංගනයෙනි. එලෙස ආකර්ෂණය දිනාගත් ඇය දමිත්‍රි සුබසිංහ වන්නීය.

ඔබ අධ්‍යාපනය ලැබුවේ?

මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයට තමා ගියේ. උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරලා සමත් වුණා.

පාසලේ කලා කටයුතුවලට දායක වුණාද?

පාසලේදී කලා කටයුතු ලෙසින් නර්තනයෙන් ජනප්‍රිය වෙලා හිටියේ. ගුරුවරුන් මගේ පන්තියේ සමකාලීන යාළුවන් පාසලේ අනෙකුත් ළමයින් ඇතුළු බොහෝ අය මගේ නර්න්නය ගැන කතා කළා, හොඳට නටන්න පුළුවන් කියලත් කීවා.

පවුලේ විස්තර කියමු?

මමයි, අම්මයි, තාත්තයි. මම තමා පවුලේ එකම දරුවා. පවුලේ අපි ඔක්කොම තුන්දෙනයි. අම්මා ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්.

ඔබ 2019 දෙරණ අවුරුදු කුමරිය වෙනවා නේද?

ඔව්. අවුරුදු කුමරිය ප්‍රථම ස්ථානයට පත් වෙනවා. ඒක එහෙම වුණත් අවුරුදු කුමරිය තරඟයට මම අහම්බෙන් තමා අයදුම් කළේ. එයින් ජයග්‍රහණය හිමිවීමත් අහම්බයක්. මොකද තරඟයේ අවසන් වටයට තේරුණාට ජයග්‍රහණය ලබයි කියලා හිතුවේ නෑ. එතැනින් පස්සේ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවෙත් නෑ. අහම්බෙන් තමයි ඒ සියල්ලම සිද්ධ වුණේ.

ප්‍රථමයෙන් රඟපාන්නේ මේ යන නාට්‍යයේද?

නැහැ. මගේ පළමු රංගනය දෙරණ රූපවාහිනි සේවයෙන් විකාශනය වුණ ‘නොනිමි’ කියන ටෙලි චිත්‍රපටය. දිලුක ගුණතිලක මහතාගේ තමයි ඒ නාට්‍යය. ඊට පස්සේ තමයි පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ උදාරා සහ මදාරා කියන ද්විත්ව චරිත රංගනයට අවස්ථාව ලැබෙන්නේ. නාට්‍යයේ හැටියට මදාරා හදිසි රිය අනතුරකින් මිය ගිහින්. දැන් උදාරා කියන චරිතයෙන් විහඟි දුවගේ පුංචි අම්මා ලෙසින් තමා ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ.

නාට්‍යයේ හැටියට ඔබ අනාගතයේදී දේවකගේ බිරිඳ වෙයිද?

නැහැ. චරිතයේ මූලික අරමුණ වෙන්නේ විහඟි දුවට හොඳ අම්මා කෙනෙක් වීමයි. ඒ අම්මාගේ අඩුව පුරවමින්. මොකද ඇයගේ අම්මා හදිසි අනතුරකින් මිය ගියාම පුංචි අම්මා තමා අම්මා ලෙසින් මේ විදිහට එන්නේ. අපි දෙන්නම නිවුන් සහෝදරියන්. මේ චරිතය තුළින් අම්මා නැති අඩුව දුවට කොහොමටවත් නොදැනෙන අයුරින් කරන්න තමා එහි චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ චරිතයට උපරිම සාධාරණත්වය සපුරාලීමට තමා මම මේ චරිතය තුළින් පේ‍්‍රක්ෂකයින් හමුවට එන්නේ. නාට්‍ය දිගටම නරඹන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. බොහෝ දෙනෙක් මා හඳුනාගෙන මඟ තොටේදී කතා කරනවා.

හොඳට චරිතය කරනවා කියලත් කියනවා.

 

නාට්‍ය කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ඒ ගැන මතක් කරන්නම ඕනෑ. එයට දායක වන ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනින්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් දේවල් කියලා දෙනවා. අපි නොදන්න ඒවා ඉගෙන ගනිමින් තමයි ඒ අය දෙන උපදෙස් අනුව තමා මම මේ විදිහට කරන්න කීවාම එය හරියට කරනවා. විශේෂයෙන් මෙහි විහඟි දුවගේ චරිතය රඟපාන කෙනා සනුජි ලියංසා එක්ක වැඩේ කරන්න ගොඩක් ලෙසි වුණා. එයා මගේ කෙනෙක් වගෙයි. ගොඩක් මට ළං වුණා. ඒ වගේම අනිකුත් සියලු දෙනාගෙනුත් එහෙමයි. ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නෙවෙයි නේද?

නැහැ. මම පෞද්ගලික බැංකුවක රැකියාව කරන්නේ. එහි කළමනාකාරිත්වය ඇතුළු සියලු දෙනා

මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනෑ. එකට වැඩ කරන ඒ සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් මට ලැබෙනවා. එහෙම සහයෝගයක් මට නොලැබුණා නම් අද මේ විදිහට රඟපාන්න වෙන්නේ නෑ.

ඔබට පෙම්වතෙක් ඉන්නවා නේද?

ඉන්නවා. ඔහු ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්.

ඉදිරියේදී විවාහයෙන් පසු රංගනයෙන් ඔබ ඈත් වේවිද?

එහෙම වෙන්නේ නෑ. මට ඔහුගෙන් මේ සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. ඔයා මේ වැඩේට මට කතා කරන විටත් ඒ වැඩේ සම්බන්ධීකරණය කළේ එයා තමා. මට රූගත කිරීම් තියෙන හැම විටකම ඔහු මගෙත් එක්ක ඉඳිමින් සහය වෙනවා. විවාහය නිසා ඉදිරියේදී රැකියාවෙන් හෝ කලාවෙන් මම ඈත් වෙන්නේ නෑ. ඔහු මට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා ඒ කටයුතුවලට. ඉදිරියේදී විවාහ ජීිවිතයත් බැංකු රැකියාවත් රංගන කලාවත් සමබරව කරගෙන යෑමට තමයි බලාපොරොත්තු වෙන්නේ.

රංගනය ගැන වැඩිදුර හැදෑරීමක් කරන්න අදහසක් නැද්ද?

මම එහෙම කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් ඒ ගැන ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා.

ධනුෂ්ක සුමනසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();